මුදල් ඇමතිගේ වැඩ ගැන ආණ්ඩුවේ ඇමතිලටත් පුදුමයිලූ...
August 26, 2016
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පිළිබඳ පනත 24වෙනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිණි. එම විවාදය වෙනුවෙන් අදහස් දැක්වූ ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස අපූරු හෙළිදරව්වක් කළේය.
“පසුගිය කාලේ රාජපක්ෂ ආණ්ඩුව යටතේ දේශපාලන බලය යොදාගෙන ආණ්ඩුවේ හිටපු ඉහළ ඇමතිවරු තමන්ගේ ව්‍යාපාරික කටයුතු දියුණු කර ගත්තා. එදා මහින්ද චින්තනය යටතේ කරපු ව්‍යාපාර අද යහපාලන බෝඩ් එක යටතේ මේ ආණ්ඩුවේ ඇමතිවරු ඒ විදියටම කරනවා. රේගු ආඥා පනත යටතේ භාණ්ඩ ආනයනකරුවන්ට ගුදමක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒක නියමිත පරිදි මුදල් ගෙවලා ඇපයක් තියලා කරගන්න පුළුවන්. පොදු ගුදම් පවත්වාගෙන යන්නේ ආණ්ඩුවෙන්. ඒකෙන් ආණ්ඩුව ආදායමක් ලබනවා. දැන් වෙලා තියෙන දේ තමයි මුදල් ඇමති රවී කරුණනායකට අයිති ග්ලෝබල් ට්රාන්ස්පොටේෂන් ආයතනයට අයිති පෞද්ගලික ගුදමක් පොදු ගුදමක් ලෙස පවත්වාගෙන යනවා දේශපාලන බලය යොදාගෙන. ඒකෙන් ආණ්ඩුවට ලැබෙන්න ඕනෙ ආදායම මුදල් ඇමතිගේ සමාගමට ගන්නවා. ලැජ්ජා නැති වැඩ මේවා. ඒ ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ ඉන්නේ රවී කරුණානායක මහත්තගේ නෝනයි, දුවයි. 2015 ජනවාරි 12 වෙනකම් රවී කරුණානායකත් හිටියා.” නලින්ද ජයතිස්ස කීවේය.
“මේකේ පුදුම වැඩේ කියන්නේ මුදල් ඇමති තමයි මේ සඳහා අනුමැතිය දෙන්න ඕනෑ. ඒත් කරලා තියෙන්නේ මුදල් ඇමති රටේ නැති වෙලාවක මුදල් රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා මේකට අනුමැතිය දීලා. එජාප ශ්‍රීලනිප කට්ටියම එකතු වෙලා හොරකම ජයටම යනවා.” නලින්ද ජයතිස්ස වැඩිදුරටත් කීවේය.
මන්ත්‍රීවරයාගේ කතාවෙන් අනතුරුව ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ඔහු ළඟ පැමිණ කියා සිටියේ ”අපේ ආණ්ඩුවේ මුදල් ඇමති මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන කෙනෙක් කියලා අපි දැනගෙන හිටියේ නෑනේ” යනුවෙනි.