ඉන්දියාවෙන් ඔෆර් එකක් ඇවිදින් නේද?
August 26, 2016
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග රාජ්‍ය ආයතන විකිණීමේ මාතෘකාව නැවතත් කරළියට පැමිණ තිබේ. මේ ආකාරයට අලූතෙන්ම විකිණීමේ මාතෘකාව අදාළ වූ ආයතනය කොළඹ වරායයි. මේ සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති කිහිපයක් ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති වෙත කරුණු හෙළිදරව් කර සිටියේය. සුනිල් හඳුන්නෙත්ති සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ සභාපතිවරයාය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම පිළිබඳ කරුණු හෙළිදරව් වීමත් සමඟ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායමද මේ ගැන අවධානය යොමු කළේය.
“වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්න කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ 2015 ජූනි 22වෙනිදා. ඒ අවුරුද්දෙම ජූලි 03වෙනිදා මුදල් ඇමති නිර්දේශ කරලා තියෙනවා.” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”මුලින් ආණ්ඩුව තීරණය කරලා තියෙන්නේ 51% කොටස් රජය යටතේ තියාගන්න. නමුත් පස්සේ ඒක 15%ක් තියාගෙන 85%ක් විකණන්න තීරණය කරලා තියෙනවා. මේවා කතා වෙලා තියෙන්නේ ‘කුස්සි කැබිනට්’ එකේ. රනිල්, මලික්, චරිත රත්වත්තේ වගේ ඉහළම නායකයෝ තමයි ඒවා තීරණය කරන්නේ.” අනුර දිසානායක කීවේය. ”මේ තීරණයෙන් පස්සේ 2016 ජුනි 06වැනිදා ඒක විකුණන්න ටෙන්ඩර් කෝල් කරලා. ඊටත් පස්සේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම නැගෙනහිර පර්යන්තය විකුණන්න තීරණය කරලා ටෙන්ඩරය කල් දාලා. මේක බරපතළයි.” වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය.
කෙසේ වෙතත් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවකදීත් සාකච්ඡාවට බඳුන් වී තිබේ. පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී තේ විවේකයේදී කැන්ටිමේදී ජවිපෙ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගෙන් මේ පිළිබඳව විමසීමක් කළෝය.
“ඇත්තටම ඇයි ඇමතිතුමා මේ වරාය පර්යන්තය විකුණන්න යන්නේ?”ජවිපෙ මන්ත්‍රීවරයෙක් විමසීය. ”අපිට ආර්ථික ප්රශ්නය කළමනාකරණය කරගන්න ඕනෑ. ආණ්ඩුවට සල්ලි නැහැ.” ඇමතිවරයා පැවසීය. ”එතකොට ඇමතිතුමා කාටද මේක දෙන්න යන්නේ. අපි දන්න හැටියට ඉන්දියාවෙන් ඔෆර් එකක් ඇවිදින් නේද?” ජවිපෙ මන්ත්‍රීවරයෙක් විමසීය.
“අපේ කොන්දේසිය තියෙන්නේ දැනටත් අපේ වරායට 20%ක පමණ භාණ්ඩ එවන දකුණු ආසියානු කලාපයේ රටක් කියන එක” ඇමතිවරයා කීවේය. ”ඒ කියන්නේ ඇමතිතුමා ඉන්දියාවනේ. වෙන රටවල් ඕක ගන්න එන්නේ නෑ. දැන් අපිට තේරෙනවා; චීනෙට පෝර්ට් සිටිය දුන්න නිසා දේශපාලනය කළමනාකරණය කරන්න ඉන්දියාවට වරාය දෙනවා. ඒකනේ ඇත්ත කතාව ඇමතිතුමා.” ජවිපෙ මන්ත්‍රීවරයා කීවේ ඇමතිවරයාට හංගන්න දෙයක් නැති බව අඟවමිනි.