Back to Top

කෝප් වාර්තාව යටගහන්න හදනවා

August 18, 2016  



 ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් පසුගිය සඳුදා පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී රැස්වූයේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය. එහිදී ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ පසුගිය 09වෙනිදා පාර්ලිමේන්තුවේ සභාගත කළ කෝප් වාර්තාව පිළිබඳව සහ අතුරුදන් වූවන්ගේ තොරතුරු සේවීමේ කාර්යාල පනත පිළිබඳවය.

”අපි කෝප් වාර්තාවෙන් ආයතන 19ක් ගැන කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. කෝටි ගාණක අයථා ගනුදෙනු සිදුවෙලා තියෙනවා. මේ ආයතන 19න් බොහොම සුළු ප‍්‍රමාණයක් විතරයි අපිට හරියටම තොරතුරු දීලා සහයෝගයෙන් වැඩ කළේ. අනෙක් ආයතන මගහරිනවා. ඒ ආයතනත් ඉදිරියේදී කැඳවනවා. ඇවන්ට් ගාඞ් සමාගමෙන් රක්නා ලංකා එකට අයවිය යුතු කෝටි ගාණක් මේ ආණ්ඩුවෙන් කපා හැරලා තියෙනවා. කෝටි ගානක ඖෂධ විනාශ කරලා. විදුලි බල මණ්ඩලේ කෝටි ගාණක අයථා ගනුදෙනු කෙරෙනවා. මේ හැම එකක්ම කොප් කමිටු වාර්තාවේ තියෙනවා.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. ”කෝප් කමිටුවේ වාර්තාව තමයි පහුගිය සතියේ ප‍්‍රධාන නිවුස් එක වෙන්න තිබුණේ. ඒත් කෝප් සභාපතිට වාහනයක් දෙනවා කියලා වෙනත් නිවුස් පැළ කරනවා. මේක ආණ්ඩුවේම වැඩක්ද දන්නේ නැහැ.” බිමල් රත්නායක කීවේය. ”අපිට වාහන දෙන්න අපෙන් අහන්නත් කලින් පත්තරවලට නිවුස් එක දීලා.” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”අපි මේ ගැන සම්පූර්ණ විස්තර ඇතුව මාධ්‍ය සාකච්ඡාවක් කරමු. එතකොට කෝප් වාර්තාව ගැන සමාජයේ කතාබහක් ඇති කරන්න පුළුවන්” අනුර දිසානායක කියා සිටියේය.


රාජපක්ෂ කණ්ඩායමේ කඩාකප්පල්කාරී වැඩෙන් පනත හරියට සාකච්ඡා වුණේ නැහැ

මේ අතර අතුරුදන් වූවන් පිළිබඳ පනතද ජවිපෙ නායකයින්ගේ අවධානයට යොමු විය. ”පනත ගැන ලොකු සංවාදයක් ඇතිවෙලා තියෙනවා. රාජපක්ෂ කණ්ඩායමෙන් මේ ගැන වැරදි මතයක් තමයි හදන්න උත්සහ කරන්නේ. ආණ්ඩුවටත් මේක තකහනියෙම ගේන්න උවමනාවක් තිබුණා. අපි මැදිහත් වුණ නිසා තමයි දවස් දෙකක් විවාදය දාගන්න පුළුවන් වුණේ.” විජිත හේරත් කීවේය. ”අපි අපේ සභාව කල්තැබීමේ යෝජනාවත් ඉල්ලා අස්කරගන්න එකඟ වුණා, මේ පනත ගැන හොඳ සංවාදයක් පාර්ලිමේන්තුවේ කරන්න  ඕන නිසා. ඒත් රාජපක්ෂ කණ්ඩායම කරපු කඩාකප්පල්කාරී ක‍්‍රියාවෙන් සිද්ද වුණේ පනත සාකච්ඡා වුණෙත් නැතිව ආණ්ඩුව ලේසියෙන්ම සම්මත කරගත්ත එක. දැන් බොරුවට කෑ ගහනවා වෙලාව මදි කියලා.” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

”පනත ගෙනාවේ ආණ්ඩුවෙන් වුණාට දිනේෂ්ලා විමල්ලා ගහන්නේ ජවිපෙට. පනත සම්මත වුණාට පස්සේ රනිල් එක්ක මලික් සමරවික‍්‍රම එක්ක ගම්මන්පිලලා කරට අත දාගෙන සුහද සාමීචියේ යෙදෙනවා. කරපු උදව්වට ස්තූති කරන්න. ඒ විතරක් නෙවෙයි. තම කණ්ඩායම කළේ වැරැද්දක් කියලා වාසුදේව මන්ත‍්‍රීවරයාට කණගාටුව පළකරන්න වුණා ජනතා විරෝධය නිසා.” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

”අතුරුදහන් වූවන් ගැන විතරක් නෙවෙයි යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ගේ දුක්ගැනවිලි හොයන්න සත්‍ය හා ප‍්‍රතිසන්ධාන කොමිසමක් පත්තරන්න කියලා රාජපක්ෂ ආණ්ඩුවට අපි කිව්වේ 2009 මැයි යුද්ධය අවසන් වෙලා සතියක් යන්න කලින්. ඒ විතරක් නෙවෙයි. ජාතිකත්ව ආගමික වෙනස්කම් නිසා ජනතාවට ඇතිවන පීඩාවන් අසාධාරණයන් වළක්වන්න වෙනස්කම් වැළැක්වීමේ කොමිසමක් දාන්න කියලත් අපි යෝජනා කළා. ඒ කිසි දෙයක් නොකරපු නිසා තමයි මේ ප‍්‍රශ්නය දිග්ගැස්සුනේ. ආණ්ඩුව තියෙන කාලේ කරන්න  ඕන දේවල් නොකර දැන් කෑ ගහලා වැඩක් නැහැ. අපි මේ පනතට පක්ෂ වුණේ එදා ඉඳලා හිටපු ස්ථාවරය නිසයි.” ටිල්වින් සිල්වා කියා සිටියේය.

”මේ පනතෙන් කතා කරන්නේ යුද්දය සමයේ අතුරුදහන් වූවන් ගැන පමණක් නෙවෙයි. 71, 88-89 කාලෙත් අතුරුදහන් වූවන් ගැන මේ කාර්යාලයට පැමිණිලි කරන්න පුළුවන්. අනෙක් එක මේ පනතට අධිකරණයට යන්න බලයක් නැහැ. මේකෙන් කරන්නේ වාර්තාවක් ඉදිරිපත් කරන එක පමණයි. කලබලේ අස්සේ අපි අපේ සංශෝධන තුන ඉදිරිපත් කරලා සම්මත කරගත්ත නිසා අයහපත් කරණු කිහිපයක් පනතෙන් ඉවත් කරගන්න පුළුවන් වුණා. කිසිම දෙයක් නොකර හිටපු කණ්ඩායම දැන් බොරුවට බිල්ලෝ මවන්න හදනවා. ආණ්ඩුව ගේන පනතට සහය දෙනකොට අපි ආණ්ඩුව එක්ක ඞීල් කියනවා. රවීට එරෙහිව ගෙනාපු විශ්වාසභංගයට අපි සහය පළකරන කොට අපි මහින්ද එක්ක ඞීල්ද? මේවා බංකලොත්කමට කියන කතා” අනුර දිසානායක කීවේය.

ධීවර සමිතිවලින් මානව හිමිකම් පැමිණිල්ලක්

ඉන්දියානු ධීවරයින් ශ‍්‍රී ලංකාවේ උතුරු මුහුද තුළ සිදුකරන ධීවර කටයුතුවලින් සහ ලංකාවේ ධිවරයින්ට සිදුකරන බලපෑම්වලින් ශ‍්‍රී ලංකාවේ ධීවරයින්ගේ මානව හිමිකම් උල්ලංඝනයවීම් වැළැක්වීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබේ. පසුගිය සඳුදා ඉදිරිපත් කළ මෙම මානව හිමිකම් පෙත්සම මන්නාරම, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත‍්‍රික්ක නියෝජනය කරන ධීවර සමිති නායකයින් හතරදෙනකු සහ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරණි. පෙත්සම භාරදීමෙන් අනතුරුව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිහාල් ගලප්පත්ති, රත්න ගමගේ ඇතුළු පිරිසක් 16-18 දිනයන්හි මන්නාරම, කිලිනොච්චි සහ යාපනය ප‍්‍රදේශවල ධීවර සමුපකාර සමිති සහ ධීවර වරායන්වලට ගොස් ධීවරයින් හමුවී මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡුා කළහ. ඉන්දියානු ධීවරයින්ගේ බලපෑම නිසා උතුරු පළාතේ ධීවරයින් ලක්ෂ දෙකකට අධික පිරිසක් ධීවර කර්මාන්තය කරගත නොහැකිව පීඩාවට පත්ව සිටිති.


MOST VIEWED VIDEO STORIES

MORE >>