Back to Top

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිහඬව පිළිගත යුතුද?

August 17, 2016  

 ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිහඬව පිළිගත යුතුද?



ලොව පුරා සිදුවන කාන්තා සහ ළමා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා අන්තර්ජාලය භාවිත කළ හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම සංවිධානය පෙන්වා දෙන්නේ එය තරමක් සම්ප්‍රදායෙන් බැහැර වුවත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව අන්තර්ජාලය භාවිත කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

කාන්තා හා ළමා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට ලොවම එක්වී ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් අවධාරණයකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



කාන්තාවන්ට එරෙහි  ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අරමුණක් වනවාසේම එම සංවිධානයේ සමීක්ෂණවලට අනුව ලොව කාන්තාවනගෙන් 35%ක් ප්‍රචණ්ඩත්වයට ගොදුරුවන බව වාර්තා වී තිබේ.

දෙමාපියන් හා දරුවන්, සහොදර-සහෝදරියන්, අඹු-සැමියන් ආදී වෛවාහික ඥාතීන් හෝ වෙනත් පවුල් නෑ සබඳතා ඇති පුද්ගලයන් හෝ සහවාසයේ යෙදෙන සහකරු ආදීන් අතර ප‍්‍රචණ්ඩත්වයන් හා හිංසනයන් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය ලෙස පිළිගැනෙයි.

විශේෂයෙන්ම කාලාත‍්‍රයන් හෝ සහවාසයේ යෙදෙන සහකරුවන්, හා එකට ජීවත් වන හෝ කලින් සිටි සහකරුවන් යන මේ ආදීන් අතර සිදුවන හිංසනයන් ගෘහස්ථ පීඩනයට ඇතුළත් වෙයි.



ගෘහස්ථ පීඩනයට කාන්තාවෝ ද අපරාධකරුවන් විය හැකිය. එහෙත් දැනට මෙහෙයවා ඇති පර්යේෂණවලින් නම් හෙළි වී ඇත්තේ අපරාධකරුවන්ගෙන් වැඩි දෙනා පිරිමි බවත්, හිංසනයන්ට ලක්වන වැඩි දෙනා ගැහැණුන් හා ගැහැණු ළමුන් බවත් ය.

ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන්ට යහළු මිත‍්‍රාදීන්ගේ හා පවුලේ සෙසු අයගේ සහාය ලැබිය යුතුමය. එවැනි තත්ත්වයකට මුහුණ පා සිටින කාන්තාවකට එම තත්වයේ රැඳී සිටීමට බල නොකළ යුතුයි. සෑම විටම එම තත්ත්වයෙන් මිදීමට උදව් කළ යුතුය.බටහිර විවිධ රටවල් තුළ ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය බහුල වශයෙන් දැකිය හැකි බව විදෙස් වාර්තා පෙන්වා දී තිබේ.



හිංසනය කරන්නා කාලත‍්‍රයා නම් හෝ එකට වාසය කරන සහකරුවෙක් නම් ඔහු සිය වරද පිළිගෙන එවැනි හිංසන නැවත සිදු නොවීමටත්, එවැනි ප‍්‍රචණ්ඩත්වයන් නවතාලීමට නිසි පියවර ගන්නා බවටත් එකඟවන්නේ නම් පමණක් හිංසනයට පත්ව සිටින කාන්තාවට එම සම්බන්ධතාවයෙහි ඉදිරියට රැඳී සිටීම අනුමත කළ හැකිය.

එමෙන්ම  මේ සම්බන්ධයෙන් සිදු කරන ලද බොහෝ පර්යේෂණයන් මගින් පෙන්වා දෙන්නේ දරුණූ සාහසික සහකරුවෙකු සමග රැඳී සිටීමට බල කිරීම හෝ අනුබල දීම ඇය උග‍්‍ර ශාරීරික පීඩාවන්ට හෝ මානසික අසහනයකට පත් කෙරෙන අවදානමක් විය හැකි බවයි.



ගෘහයේ ප‍්‍රචණ්ඩත්වය හේතුවෙන් කාන්තාවන්ගේ ශාරීරික හා මානසික යහපතට දැඩි අවදානමක් විය හැකි බව වෛද්‍ය පර්යේෂණවලින්ද පෙන්වා දී ඇත.

නිවස තුළ ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය දකින ළමයි විටෙක හුදෙකලාව සිටීමට මුළු ගැන්වෙයි. එසේත් නැතහොත් සමූහයන් අතර දී හා සමාජය තුළ දරුණු ලෙස හැසිරෙයි. එසේම අනාගතයේ දී සිය පවුල් තුළ දරුණු චරිත බවට පත්වෙයි. එහෙයින් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය නිහඬව පිළිගත යුත්තක් නොවන බව බොහොමයක් ලෝකවාසී විද්වතුන් පෙන්වා දී තිබේ.



සිය පවුල තුළ ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රථම වතාවට නිහඬව විඳ දරා සිටින කාන්තාව ඊට එරෙහිව නැගී නොසිටින්නේ නම් ඉදිරි අනාගතයේ දී තව තවත් හිංසනයන්ට ගොදුරු වන්නේමය. "භින්න වූ පවුලක" කිසියම් කාන්තාවක් හෝ ළමයෙක් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයට ලක්වේ නම් එම සිද්ධීන් වහා වාර්තා කළ යුතුය. ප‍්‍රචණ්ඩත්වය නැවැත්වීමට ගන්නා වූ සියලූ පියවර අස්වාභාවික වේ නම් කාන්තාව හෝ එම දරුවාට සහනය ලැබෙන පියවර ගත යුතුය.

මත්ද්‍රව්‍ය, මත්පැන් පරිහරණය හෙවත් බීමත්කම හෝ මානසික අසහනය නිසා ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය සිදුවන බව මිථ්‍යා විශ්වාසයකි. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයට ප‍්‍රධාන හේතුව පීඩාවට පත්කරන්නා හිංසනයට භාජනය වන අය කෙරෙහි හිංසාකාරී ලෙස ප‍්‍රචණ්ඩ ලෙස හැසිරීමට තෝරා ගැනීමයි.



ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයට හේතුව බැටකන කාන්තාවගේ වරද නොවේ. පර්යේෂණවලින් පෙනී යන්නේ ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය පිළිගත යුතු සාධාරණ සිදුවීමක් ලෙස පිළිගෙන එවැනි සිද්ධීන්ට විරුද්ධව නීතියේ සහාය ලබාගැනීමට කාන්තාවන් අදිමදි කරනා බවයි.

කෙසේ වුවත් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. එය නීති විරෝධීව සමාජය විසින් පිළිගත නොහැකි අපවාදාත්මක හැසිරීමකි. එසේම කාන්තා මානව අයිතිවාසිකම් කඩ කිරීමකි.



එමෙන්ම ශී‍්‍ර ලංකාව තුළද  ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව පුළුල් කතා බස් කාලයෙන් කාලයට ඇති වෙයි. ශ්‍රී ලංකා ජනරජයේ 2005 අංක 34 දරන ගෘහස්ථ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැළැක්වීමේ පනතට අනුවද ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය යනු පෞද්ගලික ස්වභාවයේ සමීප සම්බන්ධතාවකින් බැඳි පුද්ගලයන් අතර නිවසේ පරිසරය තුළ දී හෝ ඉන් පිටත දී හටගන්නා හිංසනයයි. මෙම ප‍්‍රචණ්ඩකාමී කි‍්‍රයාවන් ශාරීරික, ලිංගික හෝ උද්වේගශීලී හිංසන විය හැකියි.

අනුවාදයකි

MOST VIEWED VIDEO STORIES

MORE >>