Back to Top

ලොවම වෙළාගත් කාන්තා හිංසනය

August 4, 2016  

 ලොවම වෙළාගත් කාන්තා හිංසනය




සෑම වසරකම නොවැම්බර් 25වෙනිදා කාන්තාවන්ට සිදු වන හිංසා පිටු දැකීමේ ජාත්‍යන්තර දවසක් ලෙස නම් කර තියෙනවා. මේ දිනය 1999 එක්සත් ජාතීන්ගේ මහ සභා රැස්වීමේදී අනුමත කරනු ලැබුවේ කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් ගැන ලොවටම හෙළි කිරීමට.

බොහෝ සමාජවල කාන්තාවන්ව සළකන්නේ පහත් අය ලෙසයි. මෙය වර්තමානය වන විට වෙනස් කළ නොහැකි තත්ත්වයක් බවට පත් වී තිබෙනවා. මේ නිසා නොදියුණු රටවල පමණක් නොව දියුණු රටවල පවා කාන්තාවන් දිගටම හිංසා පීඩාවලට ලක් වෙනවා.



“කාන්තාවන්ට සිදුවන හිංසා ලෝක ව්‍යාප්තව පවතින ප්‍රශ්නයක්. මෙය සෑම සංස්කෘතියකම හා සමාජයකම දැකිය හැකියි. එමෙන්ම මෙම ප්‍රශ්නයට කාන්තාවන්ගේ පවුල් පසුබිම, ඔවුන්ගේ සමාජය, ජාතිය හා කුලය වැනි කිසිම දෙයක් බලපාන්නේ නැහැ” යැයි එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆි අනන් පවසනවා.

“බොහෝ කාන්තාවන්ට සිදු වන හිංසා ගැන කවුරුත් දන්නේ නැහැ. ඒ ගැන කතා කිරීමෙන් පලක් නැති බවත් එවැනි දේවල් කාටවත් වැළැක්විය නොහැකි බවත්” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසමේ විශේෂ වාර්තාකාරිණියක්ව සිටි රාධිකා කුමාරස්වාමි පෙන්වා දෙනවා.



දකුණු අමෙරිකානු රටවල කාන්තාවන්ගෙන් සියයට 23ක් හෝ එසේත් නැත්නම් කාන්තාවන් හතර දෙනෙක්ගෙන් එක්කෙනෙක් නිවසේදී යම් ආකාරයක හිංසාවලට ගොදුරු වන බව ඕලන්දයේ අපරාධ පිළිබඳව සොයා බලන එක් ආයතනයක් මගින් කරන ලද සමීක්ෂණයකින් සොයා ගෙන තිබෙනවා.

 යුරෝපීය කාන්තාවන් හතරදෙනෙකුගෙන් එක්කෙනෙක් තම නිවසේදී හිංසාවලට ලක් වන බව යුරෝපා කවුන්සලයෙන්ද සොයාගෙන තිබෙනවා.



 මෑත වසරවලදී කාන්තාවන් මුහුණ දෙන තවත් කටුක අද්දැකීම් පිළිබඳව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙන ආකාරය පිළිබඳව විදෙස් වාර්තා මෙලෙස පෙන්වා දෙනවා,

 මෑත කාලවලදී එංගලන්තයේ හා වේල්ස්හි සෑම සතියකම කාන්තාවන් දෙදෙනෙක් පමණ තමන් දැන් ජීවත් වන පුරුෂයා අතින් හෝ කලින් ජීවත් වූ පුරුෂයා අතින් මරණයට පත් වෙනවා.

ඉන්දියාවේ පළ වන එක් සඟරාවක (India Today International) මෙසේ වාර්තා වුණා. “ඉන්දියාවේ කාන්තාවන් නිතරම ජීවත් වෙන්නේ බියෙන්. කොයි මොහොතේ අතවරයක් වෙයිද යන බිය ඔවුන්ට තිබෙනවා.” කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට සිදු වන හිංසා “කොතරම් ප්‍රචලිතව පවතිනවාද කියනවා නම් එය ලොකු අභියෝගයක්” කියා මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන  Amnesty Internationalනම්  සංවිධානය පවසනවා.



කෙසේ වෙතත් අද වන විට කාන්තාවගේ ස්‌වාධීනත්වය, නිදහස වැනි පරම අයිතිවාසිකම් නැති වෙමින් හා නැති කරමින් පවතින කාල පරාසයක අප ජීවත් වෙමු.

මේ පිළිබඳ විමර්ශනය කිරීමේදී කාන්තා හිංසනය, අතවර හා ප්‍රචණ්‌ඩත්වය ඇතිවීමට මූලික හේතු කාරණා සොයාබැලිය යුතු බවද බොහොමයක් විද්වතුන් පෙන්වා දෙයි.

හිටපු ඊජිප්තු ජනාධිපතිවරයෙකු වන අද්ලි මන්සුර් විසින් කාන්තා හිංසනය අපරාධ වරදක් බව ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව කාන්තා හිංසනය ඔප්පු වුවහොත් පුද්ගලයකුට මාස හයේ සිට වසර 5 දක්වා සිරදඩුවමක් හෝ පවුම් 400 සිට 7,000 දක්වා දඩයක් හෝ නියම වනු ඇත.



 ඊජිප්තුවේ කාන්තා හිංසනය වසංගතයක් බවට පත් ව තිබිණි. අනවශ්‍ය දෑ පැවසීම, අයුතු යෝජනා, අතපතගෑම් සිට දූෂණය කිරීම දක්වා පුඵල් පරාසයක කාන්තා හිංසන පිළිබඳව හිංසකයන්ට දඩුවම් පැමිණවීමක් ගැන ඊජිප්තුවේ අසන්නට වත් නොලැබිණි.

හිංසනයට පත් කතුන්ට නීතියේ පිළිසරණ සඳහා ගත හැකි කි‍්‍රයාමාර්ග අල්ප වූ අතර සාධාරණය ඉටුකරවා ගන්නට බොහෝ කල් බලා හිඳින්නට සිදුව තිබිණි. එවැනි අවස්ථාවක පැමිණිල්ලක් ඉදිරිපත් වූයේ නම් පොලීසිය මතු නොව සමස්ත සමාජය ම ගත්තේ වින්දිතයාගේ පැත්ත නොව හිංසකයාගේ පැත්තයි.

එක්සත් ජාතීන්ට අනුව ඊජිප්තුවේ කාන්තාවන්ගෙන් 99.3% ජීවිත කාලයේදී කවරාකාර හෝ හිංසනයකට ලක් වූ තැනැත්තියකි.



හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ට එරෙහිව 2011 පෙබරවාරි සිට කයිරෝ හි තහ්රිර් චතුරස‍්‍රයේ පැවැති උද්ඝෝෂණ සමයේ පවා බරපතළ කාන්තා හිංසන වාර්තා විය. එවකට ඊජිප්තු හමුදා ප‍්‍රධානියාව සිටි ෆීල්ඞ් මාෂල් අල්-සිසි යෝජනා කළේ සිද්ධි පිළිබඳ පැමිණිලි විභාග කළ යුතු බව නොව පැමිණිලි ඉදිරිපත් කළ ස්තී‍්‍රන්ගේ කන්‍යාභාවය පරීක්‍ෂා කළ යුතු බවයි.

කාන්තා හිංසනයට එරෙහි නීති පනවන්නැයි ඉල්ලමින් එරට කාන්තා සහ කාන්තා මිත‍්‍ර සංවිධාන විසින් පසුගිය වසර කිහිපයක් පුරාම උද්ඝෝෂණවල නිරත වූහ. I saw Harassmentඉන් එකකි. එම සංවිධානයේ සමාරම්භකයකු වන ෆාති ෆහිඞ් පවසන්නේ ඊජිප්තුවේ පැවැති තත්ත්වයේ හැටියට මෙය යම් ප‍්‍රමාණයක ඉදිරි පියවරක් වන නමුත් එහි අගයක් නොමැති බවකි.

 මන්දයත් දඩය නොගෙවන්නේ නම් පමණක් සිරදඩුවම නියම කරන්නට විනිසුරන්ට බලය පවරා ඇති බැවිනි. එවිට ඕනෑම කෙනෙකුන්ට මේ දඩය ගෙවා දමා නිදහස් විය හැකිය.
 
අනුවාදයකි











MOST VIEWED VIDEO STORIES

MORE >>