Back to Top

මාධ්‍ය ප්‍රචාර ගැන සැලෙන්න එපා - ජනපති රංග කලංසූරියට කියයි

July 26, 2016  



රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය රංග කලංසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් උත්සාහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26) ප්‍රතික්ෂේප කර තිබේ.

කැබිනට් රැස්වීම අවසන්වීමෙන් පසු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී තමන් ඉල්ලා අස්වන බව ආචාර්ය කලංසූරිය මහතා ජනාධිපතිවරයාට පවසා තිබුණි.

මින් පෙර පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් දැඩි විවේචනයක් සිදුකළ බව ඇතැම් මාධ්‍යමගින් ප්‍රචාරය කෙරිණ.

එවැනි මාධ්‍ය ප්‍රචාරයන් හි දැක්වූයේ රජයේ නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ගැන තමන් නොදන්නා බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ බවයි. 

මේ හේතුවෙන් තමන් ඉල්ලා අස්වන බව ආචාර්ය කලංසූරිය මහතා විසින් පැවසීමෙන් පසු ජනාධිපතිවරයා කියා සිටියේ ඔබ පත්කරන ලද්දේ මා විසින් බවත්, මාධ්‍යවලින් එල්ලවන ප්‍රහාරයන් හා විවේචන ගැන කලබලා නොවී කටයුතු කරගෙන යන ලෙසත්ය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී  මෙසේ ද පවසා ඇත.

‘‘ ඔයාව පත් කළේ මම. ඒකට ඔබ සුදුසු නිසා. මාධ්‍ය මගින් විවිධ දේ කරාවි. නමුත් ඒවා ගණන් ගන්න එපා. මේ මාධ්‍ය ක්ෂේත්‍රය ගොඩනගන්න අවශ්‍යයි. රට ගොඩනගාගෙන අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේ දී කකුලෙන් අදින අය ඉන්නවා. අකුල් හෙළන අය ඉන්නවා. මම දන්නවා පසුගිය සති කිහිපයේ දී ඔබ පත්වුණාට පස්සේ සිද්ධි දෙකක් තුනක් වුණා. ඒ ගැන මා කැබිනට් රැස්වීමේ දී හොයලා බලලා වැඩ කරන්න ඕන කියලා කිව්වා. දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ ඔබ වැනි වෘත්තීය ප්‍රවීණයෙක් සිටිය යුතුයි. ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රයට තවත් වෘත්තීය ප්‍රවීණයන් අවශ්‍යයි. අගමැතිතුමාත් මමත් එකට වැඩ කරගෙන යද්දී අපි ගැනත් විවිධ ප්‍රචාරයන් කරනවා. මාධ්‍යයේ ප්‍රචාරයන් ගැන සැලෙන්න එපා. ඉල්ලා අස්වීම අපිට පිළිගන්න බැහැ. ඔබ වැඩ කරගෙන යන්න. අගමැතිතුමා සමග සාකච්ඡා කරලයි මා ඔබව මේ තනතුරට පත් කළේ. අපිට මාධ්‍යයෙන් පහර ගහන හැටියට අපි මොන වගේ තීරණ ගන්න ඕනෑ ද ?

මේ රැස්වීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, දක්ෂිණ සංවර්ධන, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරු ද සහභාගී වූහ.

ආචාර්ය රංග කලංසූරිය මහතාගෙන් මේ පිළිබඳ විමසීමේ දී ඔහු කියා සිටියේ අද කැබිනට් රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡා කිරීමෙන් පසු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ දිගටම රැඳී සිටීමට තීරණය කළ බවයි.


MOST VIEWED VIDEO STORIES

MORE >>