Back to Top

මාධ්‍යයට පාට් දමන්නට පොලීසියට හැකිද?

June 27, 2016  


ශිෂ්ට සම්පන්න සමාජයක් සහතික කර ගැනීම සඳහා  තවත් යා යුතුව ඇති දුර කෙතරම්දැයි විදහා දැක්වෙන ඇඟ හිරිවට්ටනසුළු උදාහරණයක් පසුගියට සතියේ අපට දක්නට ලැබුණි. ඒ මත් ද්‍රව්‍ය ගෙන්වූ කන්ටේනරයක් අත් අඩංගුවට ගැනීම ගැන වූ පුවතකට ප‍්‍රතිචාර දක්වන පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානියාගේ හඬ පටයකිනි. තනතුරින් ගත් කල ඔහු පොලිසියේ දෙවන පෙළ එනම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මට්ටම දරන්නෙකි. එහෙයින් ඔහුගේ මුවින් පිටවන වදන් යනු ලෙහෙසියෙන් අත්හැර දැමිය හැකි ප‍්‍රලාප නොවේ.


 හඬ පටයට අනුව ඔහු එක් අතකින් මාධ්‍ය තම මෙහෙයුම පිළිබඳව නිසි අවධානයක් දැක්වුවේ නැතැයි චෝදනා කරයි. එහෙයින් තම නිලධාරීනට අසාධාරණයක් වී යැයි කියයි. ඒ සමග ඔහු මාධ්‍යයන්හී ඇතැම් අය වංචනිකයන්ගේ සාක්කුවේ ඉඳිමින් මාධ්‍ය මෙහෙයවන බව කියයි. විශේෂයෙන්ම අදාළ මෙහෙයුමේදී පොලිස් විශේෂ කාර්ය බලකායට නිසි පිළිගැනීම හිමිනොවූ බව ඔහුගේ චෝදනාවයි.  කිසියම් මෙහෙයුමක් සාර්ථකව නිම කළ පසු ඊට හිමි ගෞරවය නොලැබීයාම යමකු ගේ සිත තුළ ඇති කරන වේදනාව සාධාරණය. විශේෂයෙන්ම රටට බරපතළ තර්ජනයක්ව පවතින මත්ද්‍රව්‍ය වැනි උවදුරක් තුරන් කිරීම සඳහා කරන ලද මෙහෙයුමකදී ඊට නායකත්වය දුන් සහ සහභාගී වූ පාර්ශව වෙත සමාජයෙන් ලැබිය යුතු ඇගයුම නොලැබී යනසේ ඔවුන් පිළිබඳ ජනතාව දැනුවත් නොකිරීම අදාළ පාර්ශවයන්ගේ අභිපේ‍්‍රරණයට බලපෑමක් එල්ල කරන බව පිළිගත හැකි සත්‍යයකි.

 
    ප‍්‍රශ්නය ඇත්තේ එහි නොවේ. ඔහු මාධ්‍යයන්ට පාඩම් උගන්වන විනය පාලක තනතුර දරන්නටද ඒ සමග ඉදිරිපත් වීමයි. එහිදී ඔහු එක් අතකින් වැදගත් හෙළිදරවුවක් කරයි. ඒ ත‍්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් බලපෑම් එල්ලවන තොරතුරු මාධ්‍ය මගින් හෙළිදරවු කළ හොත් ඔවුන් පැමිණ අදාළ මාධ්‍යවේදියාගේ අඬු කඩන බවට වන ප‍්‍රකාශයයි. ඒ සමගම ඔහු තවත් ප‍්‍රකාශයකින් පවසන්නේ තමන්ද මාධ්‍යවේදීන්ට දඬුවම් කරන හැටි දන්නා බවයි.  බරපතළ වන්නේ ඔහු මෙසේ කරනා ප‍්‍රකාශයන්ය. ඒ තුළින් අපට කරන ඇඟවුමය. මෙය ඉතා බරපතල තත්ත්වයකි. ලසන්ත වික‍්‍රතුංග, ප‍්‍රගීත් එක්නැගිගොඩ සිදුවීම් තවමත් නොවිසඳුන තත්ත්වයක පවතිද්දී, පෝද්දල ජයන්ත වැනි හිංසාවට ලක්වූවන්ට තවමත් සාධාරණයක් ඉටුනාවී පවත්නා තත්වයකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා කරන ප‍්‍රකාශය ඉතා බරපතලය. එහෙයින් අදාල බලධාරීන් මෙය පොලිසියේ මතය නොවේ යැයි පැවසීම කෙසේවත් ප‍්‍රමාණවත් නොවේ.

    අනෙක් අතින් මෙය රටේ නීතිය ක‍්‍රියාත්මක කරනා ආයතනයන්හී පවත්නා විකෘති ස්වභාවය ගැන රතු එළියක් දල්වයි. මෙය ඒ ආයතනවල පමණක් නොව රටේ බොහෝ ආයතනවල දක්නට ලැබෙන්නකි. මීට ඇති එක් සමීපම උදාහරණයක් වන්නේ විජිත හේරත් මන්ත‍්‍රීවරයා ගේ මුවින් මත්පැන් සුවඳ වහනය වන්නේ යයි දී ඇති වෛද්‍ය වර්තාවයි. මෙහිදී අදාළ වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය කළ යුතුව තිබුනේ එසේ රියදුරා වෙතින් මත්පැන් සුවඳ වහනය වන්නේ නම් ඔහු නිසි වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමයි. එහෙත් ඒ වෙනුවට සිදුව ඇත්තේ අසම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් වීමයි. මෙය නිලය දරන්නා සිය ආචාර ධර්ම සහ වෘත්තීය වගකීම නොසලකා හැරි අවස්ථාවකි. (මත්පැන් පානය සම්බන්ධයෙන් ජවිපෙ දරන ආගම්වාදී මත ගැන කළ යුත්තේ වෙනම සංවාදයකි. එහිදී ඔවුන් අදාළ සිදුවීම ගැන කළ ප‍්‍රකාශද වඩා ගැලපෙන්නේ බාලාංශයට බව කිව යුතුය.)

 අද අපට දක්නට ලැබෙන බරපතළම තත්ත්වය වන්නේ මෙසේ රටේ විවිධ අංශවල පවත්නා විකෘතිතා මෙන්ම තමනට අදාළ නැති ක්ෂේත‍්‍ර වලට පිවිසීමට ඇතැම් අංශ දරන උනන්දුවයි. මාධ්‍යවේදීන්ට පාඩම් ඉගැන්වීමට පොලිසිය දරන උත්සාහය එවැන්නකි. අප මෙය සැලකිය යුත්තේ අදාළ නිලධාරියාගේ පුද්ගලික අඩුපාඩුවකටත් වඩා දීර්ඝ කාලයක් ක‍්‍රියාත්මකව පැවති විකෘති සහගත ක‍්‍රමයක ඵලයක් ලෙසිනි. එසේ මේ ගැන නොබලා අපට ස්ථිරසාර විසඳුමක් ලැබිය නොහැකිය. අවස්ථාවන් අනුව පුද්ගලයන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගතයුතු බව සත්‍යයකි. ඒ සමගම අප අමතක නොකර ගත යුතු ඊලඟ පියවර වන්නේ එසේ නිලධාරීන් පීලි පනින්නට හේතුවන ක‍්‍රමය ගැන මනා සමාලෝචනයක් සිදුකර වැරදි තත්ත්වයන් නිවැරදි කිරීමට පියවර ගැනීමයි. අප රට තුළ සිදු නොවන්නේද එයයි.

 මෙය පොදු සමාජ නොදැනුවත් බව පිළිබඳ ප‍්‍රශ්නයක්ද වෙයි. සමාජය එවන් දැනුවත්භාවයක සිටියේ නම් අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප‍්‍රකාශය සමග ඊට සමාජයෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි. නමුදු ලංකාවේ එවැන්නක් සිදුවන්නේ නැති. එක් පසෙක නොදැනුවත්කමත් අනෙක් පස ඇති බියත් ඊට හේතුවෙයි. විශේෂයෙන්ම ආරක්ෂක අංශ කෙරේ සමාජය තුළ පවත්නා බිය බොහෝවිට ඔවුන් අතින් සිදුවන වැරදි වලදී ජනතාව නිහඬවතින් තැබීමට හේතු වෙයි. පසුව කරන ලද ප‍්‍රකාශයක් මගින් අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා තම ප‍්‍රකාශය ගැන පශ්චාත්තාපී ස්වරයකින් කතා කරනුද අපට මාධ්‍ය හරහා දක්නට ලැබුණි. මෙහි ඇති ප‍්‍රශ්නය වන්නේ අප ඒ සමග මෙය එක් නිලධාරියකුට අදාළ සිදුවීමක් ලේ ලඝු කර සමස්තය අමතක කර දැමීමට පෙළඹීමයි. එහෙයින් නැවත එවන් සිදුවීමක් වන තුරු අප බකල ගමනකට ඇද වැටීමයි.

 
    අදාළ නිලධාරියාගේ ප‍්‍රකාශය හරහා මාධ්‍ය සිය වගකීම නිසි ලෙස ඉටු නොකළේය යන චෝදනාව සම්බන්ධයෙන් අනෙක් අතින් මාධ්‍යයද නිසි සමාලෝචනයක් කළ යුතුය. ඒ තමන් මාධ්‍යකරණයේදී නිවැරදි ලෙස සිය භූමිකාව ඉටු කරන්නේද යන්න පිළිබඳවයි. පොලිසියේ අත්තනෝමතික ප‍්‍රකාශ හෙලා දකිනා මාධ්‍ය තම මාධ්‍ය ක‍්‍රියාකාරකම්හී සදාචාරමය සහ ආචාරධාර්මික පාර්ශවය මෙන්ම වෘත්තීය වගකීම ගැනද මෙලෙසම විවේචනාත්මක වන්නේද යන්න ඉදිරියේ ඇත්තේ ප‍්‍රශ්නාර්ථයකි. පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේද මේ ගැන අපට සිතන්නට පොළඹවන උදාහරණ සංඛ්‍යාව ඉතා විශාලය. මෙහිලා සෘජු දේශපාලන නොවන එහෙත් අපේ අවධානයට ලක් විය යුතු එක් සිදුවීමක් උදාහරණ ලෙස දැක්වීමට මෙය අවස්ථාවක් කර ගත යුතු යයි මට සිතෙයි. වරෙක එක් ජාතික යයි කියාගන්නා දිනපතා පුවත් පතක පළවූ ප‍්‍රවෘත්තියකින් කියවුනේ බීමතින් පාරේ සූර් නැටූ තරුණියන් දෙදනකු පොලිසියට කොටුවූ බව පැවසෙන පුවතකි. ඒ ප‍්‍රවෘත්තියට අනුව සාදයකට සහභාගිවූ තරුණියන් දෙනෙකු ස්කූටරයකින් පාරේ ගමන් කරද්දී පොලිසිය විසින් පරික්ෂාවට ලක්වූ බවක් සහ එහිදී ඔවුන් තමන් යායුතු දිශාවට නොව ඊට විරුද්ධ දිශාවට ගමන් කරමින් සිටි බවත් ආදී වශයෙන් විස්තර කෙරුණද සිරස්තලයේ තිබූ බීමතින් සූර් නැටීම ගැන හෝ ඔවුන් බීමතින් සිටි බව ගැන කිසිදු සඳහනක් එහි නොවිණි. මේ බීමත් කතාව සිරස්තලයට එක් වන්නේ අදාළ දෙදෙනා කාන්තාවන් වීම සහ බීමතින් පිස්සු නැටීම යන්න පාඨක අවධානය දිනා ගැනීමට තුරුම්පුවක්වීම බව ඉතා පැහැදිලිය. මේ ඉතා සුළු උදාහරණයක් පමණි.


    මේ තත්ත්වය අපට සිහිපත් කරන වැදගත් කාරණයක් තිබේ. ඒ පොදුවේ අප සියල්ලෝම විවේචනය තරමටම ස්වයං විවේචනය ගැනද සිතිය යුතුව ඇති බවයි. මාධ්‍යයද පොලිසිය තරමටම පොලිස් වැඩ කරනා අවස්ථා අපට දිනපතා මාධ්‍ය කටයුතු විමසීමේදී දැකිය හැකිය. පක්ෂග‍්‍රාහීවීම්, වාසිය තකා කරන කටයුතු, පුද්ගලික උවමනා වෙනුවෙන් කෙරෙන මාධ්‍ය ආවරණ මෙන්ම ප‍්‍රහාරද මීට ඇතුළත්ය. එහෙයින් වඩා නිවැරදි සමාජයක් උදෙසා මේ දෙපාර්ශවයම එකසේ අනෙකා ගැන මෙන්ම තමා ගැනද විමර්ශනාත්මකව බැලීම අත්‍යවශ්‍යව තිබේ. අද අපට අවශ්‍යව ඇත්තේ එවන් දියුණු සම්ප‍්‍රදායන් ගරු කරන ආයතන ව්‍යුහයකි. එය සාර්ථක කර ගැනීම සඳහා විවේචනය තරමටම ස්වයං විවේචනයද අත්‍යවශ්‍ය බව පිළිගැනීමට අප නොපැකිළිව ඉදිරිපත් විය යුතුය.

  
- නුවන් උදය වික‍්‍රමසිංහ 





MOST VIEWED VIDEO STORIES

MORE >>