Back to Top

ජනවාරි 08 ගැන දැන් පසුතැවිය යුතුද?

June 9, 2016  


යළිදු ලියමි. රාජපක්ෂවරුන්ගේ දඬු අඬුවට හසුව ජාතිවාදයෙන්, අගමික අන්තවාදයෙන් සහ රාජෝන්මාදයෙන් මිරිකෙමින් පැවති ලාංකීය සමාජය ගලවා ගැනීමේත් ප‍්‍රජාතන්ත‍්‍රවාදට රටෙහි යළි ස්ථාපිත කිරීමේත් අරමුණින් ජනවාරි අටවෙනිදා පොදු අපේක්ෂකයා දිනවීම සඳහා මැදිහත්වීම ගැන අපට අදත් පසුතැවීමක් නැත. ඒ අවස්ථවේ පැවති රජය පරාජය කිරීම යනු අනිවාර්ය කොන්දේසියක් බවට විවාදයක් නැත. ඇතැම් අය දැන් අවඥාව මුසු ස්වරයකින් වෙනස සැපයිද යනුවෙන් අසන හෙයින් පළමුවෙන්ම එය ලිවිය යුතුය. එනමුදු දැන් ප‍්‍රශ්නයක්ද තිබෙන බව ඒ සමග පිලිගත යුතුව තිබේ. ඒ පවත්නා පාලනය ගැන ලියන විට "එහෙත්" යන යෙදුම සහිතව ලියන්නට සිදුව තිබෙන බැවිනි. එසේම එහෙත් යන්න නිතර ලියන්නට සිදුවෙමින් තිබෙන හෙයිනි.

     වනචර පාලනයක් ඉවත්කීරීම සඳහා මැදිහත්වීම හරහා කෙසේවත් ඊට විකල්ප ලෙස ඉදිරිපත්ව සිටි අපේක්ෂකයා හෝ දේශපාලන සංධානය විශිෂ්ටතම පාලනය වනු ඇතැයි අපි විශ්වාස නොකළෙමු. එහෙත්  අවම තරමින් ශිෂ්ටත්වය කරා යන ගමනකට අවශ්‍ය සහය බාධා මධ්‍යයේ වුව ඉන් ලබාගත හැකියයි අපි සිතුවෙමු. මෛත‍්‍රී යනු මෙතේ බුදුන් වැන්නකු නොවන බවත් රනිල් වික‍්‍රමසිංහ යනු සුසමාදර්ශී ප‍්‍රජාතන්ත‍්‍රවාදියකු වනු ඇතැයි යන්නද අපේ විශ්වාසය නොවීය. ඒ සියල්ල මධ්‍යයේ වුව පුරවැසි මැදිහත් වීමද මගින් අපට යම් ප‍්‍රගතියක් කරා රට ගෙන යාමට හැකි වෙතැයි යන්න අපේ විශ්වාසය විය . එසේම අපි ඒ මාවතෙහි යම් දුරක් පැමිණීමටද සමත් වීමු. අවම තරමින් අද අප විඳින මානසික නිදහස එහි ඵලයයි. පසුගිය සතියේ රාවයෙහි පලව ඇති පෝද්දල ජයන්තගේ ලිපිය අප පසුකර ආ දුෂ්කර මෙන්ම ම්ලේච්ඡ මාවත ගැන විවරණයක් සපයයි. ලංකාවේ මිනිසාට අත්ව පැවති ඉරණම ගැන හොඳම උදාහරණයකි ඔහුගේ සිදුවීම.

    එසේනම් දැන් අපට එහෙත් යනුවෙන් ලිවීමට සිදුව ඇත්තේ ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව වත්මන් පාලනයද ශිෂ්ටත්වයේ මගින් බැහැරව අශිෂ්ටත්වය කරා ගමන් කරන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව පැහැදිලි වෙමින් පවතින හෙයිනි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ලවෙමින් පවතින කර්කශ විවේචනයන් එහෙම පිටින්ම අසාධාරණ හෝ අයුක්ති සහගත යයි කීමට අපට හැකියාවක් හෝ අවශ්‍යතාවක්ද නැත. එහිදී ආණ්ඩුව බිම දැමීමට සහ නැවත රට ජාතිවාදයේ ගොහොරුවට ගෙන යාම සඳහා අර අඳින රාජපක්ෂ රූකඩයන් හී විවේචනද පදනම් විරහිත යයි කීමට අප ඉක්මන් වන්නේ ද නැත. විශේෂයෙන් විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම මෑතක සිට අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළුව විවිධ සිදුවීම් ගැන ඉදිරිපත් කරන විවේචනයන් අසාධාරණ හෝ ඒ සඳහා ඔවුනට අයිතියක් නැතැයි කීමට  අප ඉක්මන් වන්නේද නැත. එනමුදු මේ කරුණෙහිදී රාජපක්ෂ රූකඩ සහ අප අතර ඇති පැහැදිලි වෙනසෙහි ඉර තීරණාත්මකවම යළි සලකුණු කිරීම අත්‍යවශ්‍යව පවතී. විවේචනයේදී අප සහ ඔවුන් අතර ඇත්තේ අහසට පොළව මෙන් වෙනසකි. ඔවුන් යළි තම ජනතා විරෝධී බලය වෙනුවෙන් විවේචන කරන විට අප ඉන්නේ රාජපක්ෂ සංස්කෘතිය මුළුමනින් අහෝසි කර දමා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙනි. එසේම බුදු වූවන් මෙන් රාජපක්ෂ කල්ලිය විවේචනයන් එල්ල කරන විට අපේ ස්ථාවරය වන්නේ එසේ විවේචන කරන්නන් ගේ අතීත භාවිතාවද නිර්දය ලෙස විවේචනය කරමින් මිස ඔවුන්ට පාර්ශවික විවේචනයන් සඳහා සදාචාරමය අයිතියක් නැත යන්නයි.

    අද දවසේ අප නව ආණ්ඩුවෙන් දකිනා බරපතළම ගැටළුව වන්නේ එයද රාජපක්ෂ සංස්කෘතියේ පැවති අගතීන්ට ගොදුරුවන ප‍්‍රවණතාව වැඩි වෙමින් පවතින ආකාරයයි. එහිදී මෛත‍්‍රි පාර්ශවය මෙන්ම රනිල් පාර්ශවයටද ඒ පිළිබඳ විවේචනයෙන් ගැලවිය නොහැකි. පසුගිය දිනවල සිදුවූ බොහෝ සිද්ධි වලදී පෙනී ගිය කරුණ වූයේ දෙපාර්ශවයම ජනතා අභිලාෂයන්ට වඩා තම පෞද්ගලික න්‍යාය පත‍්‍ර කෙරේ සැලකිලිමත් වන බවයි. එහිදී ඉදිරියෙන්ම ඇති එක් සිදුවීමක් වන්නේ අර්ජුන් මහේන්ද්‍රන් සිද්ධියයි. මෛත‍්‍රීපාල  සිරිසේන ජනපතිවරයා තමන්ට ජනතාව දුන් වගකීම වෙනුවට කුණු වෙමින් පවතින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට විමුක්තිය ලබාදීම සිය පරම වගකීම ලෙස ගැනීමත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා තම පිලේ ඉන්නා ජරාජීර්ණ සහ අකාර්යක්ෂම දේශපාලන පිළිල ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීමත් යන දෙකම එක සේ හානි කරන්නේ පොදු ජනතා අභිලාෂයන්ට බව අපට අමතක කළ නොහැකිය.  රනිල් වික‍්‍රසමසිංහ පාර්ශවයේ දේශපාලන අඥානකම පිළිබඳ පැහැදිලි සාක්ෂි දෙකක් මෑතම අපට ලැබී තිබේ. ඉන් එකක් වජිර අබේවර්ධන ඇමති ගේ ක‍්‍රියා කලාපයයි. අනෙක ජෝන් අමරතුංග ඇමති ගේ සිදුවීමයි. මෛත‍්‍රී  පාර්ශවයෙන් ගත් කල එහි ඉන්නා දේශපාලන කවටයන් ගැනද  උදාහරණ හිඟ නැත. ඩිලාන් පෙරේරාගේ සිට කට අරිනා දේශපාලකයන් ගැන විමසීමක් කළහොත් ඔවුන් පොදු ජනතා අනාගතයට කරමින් ඉන්නා හානිය වටහා ගැනීමට විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීමට එරෙහිව ඉන්නා අත්තනෝමතික තැන විචාරයට ලක් කිරීමම ප‍්‍රමාණවත්ය.
 
    අප ජනවාරි අටවෙනිදා වෙනස් කිරීමට තැත් කළේ ඔළු ගෙඩි නොවේ. අපට අවශ්‍යව තිබුණේ ජරපත් දේශපාලන සංස්කෘතියක් කනත්තට ගෙන යාමයි. එය පොදු අපේකෂකයාට සහය පිණිස ආ පුරවැසි බලය,සාධාරණ සමාජයක් ඇතුළු සියළුම සංවිධානයන් ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කර තිබුණ කරුණකි. ඉදින් ඒ වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට නව ආණ්ඩුවද වර්ණයෙන් පමණක් වෙනස් වෙමින් රාජපක්ෂ සංස්කෘතියේම හලාහල විෂ සිය බඳුන් හී පුරවා ගනිමින් ඉන්නේ නම් පොදු ජනයා ලෙස අප ඊට එරෙහි වීමේ ශුද්ධ අයිතිය පාවිච්චි කිරීමට මොහොතකුදු පැකිලිය යුතු නැත.
 
    දිගින් දිගටම පීලි පනිමින් සිටින ආණ්ඩුව හමුවේ අපේ අනාගත වැඩ පිළිවෙළ විය යුත්තේ කුමක්ද? අද අප ඉදිරියේ පැන නැගී ඇති ප‍්‍රශ්නය එයයි. රාජපක්ෂ පාලනයට එරෙහිව වීදි බට පළමු මොහොතේ පටන් අප ඉදිරියේ තිබුණ එක් අභියෝගයක් වූයේ අනාගතය උදෙසා දේශපාලනික එහෙත් නිර්පාක්ෂික ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. එහෙත් පසුගිය කාලය පුරාම නව ආණ්ඩුව නිසි මගෙහි රඳවා ගැනීම පිණිස දරන ලද ව්‍යායාමයන් අතරේ අපට මග හැරුණ කටයුත්ත බවට එය පත්ව තිබුණි. දැන් අප යළි පෙරට ගත යුත්තේ ඒ මග හැරුණ කාර්යයයි. දේශපාලකයාගේ අත්තනෝමතික බවට එරෙහිව දැඩිව මැදිහත්විය හැකි ජනතා බලයකින් හැර හෙට දවසේදී අපට ජනතා ජයග‍්‍රහණයන් අත්කර ගත හැකි වෙන මගක් ඉතිරි වන්නේ නැති. ජනවාරි අටවෙනිදා අපට යාවජීව රජ සිහිනයක් බොඳ කර හැරීමට හැකි වූයේ ඒ ජනතා බලයේ පිහිටෙනි. ඉදින් අප දැන් නැවතුණ තැන සිට ඇරඹිය යුත්තේ ඒ කටයුත්තයි. තව දුරටත් ජනපතිට හෝ අගමැතිට සිදුවීමෙන් සිදුවීමට විවේචන එල්ල කිරීම හෝ නිවැරදි පියවර ගැනීමට සාකච්ඡා පැවැත්වීමට වඩා අද දවසේ වැදගත් වන්නේ ඔවුනට මග හැර යානොහැකි ජනතා පවුරක් ඉදිකිරීමයි.
 
    මෙහිදී අපෙන් නව ආණ්ඩුව හොඳදැයි අසනා රාජපක්ෂවාදී ගැත්තන්ට දීමට අපට පිළිතුරක්ද තිබේ . ඒ අපටද ආණ්ඩුව ගැන විවේචනයක් ඇති බව සත්‍යයක් යනුවෙනි. ඒ සමග යළිත් අර "එහෙත්"යන යෙදුමද සමගින් ඒ පිලිතුර මෙසේ සංවිධිත කළ යුතුය. ඒ විවේචනයට එක් පදනමක් වන්නේද අන් කිසිවක් නොව රට විනාශය කරා ගෙන ගිය රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ ඇට්ටඹි සට්ටඹියන්ට තව දුරටත් නීතියේ යදමින් ගැලවී සිටීමට නව ආණ්ඩුව ඉඩ හැර තිබීම බවද අමතක නොකරන්න යනුවෙනි.



 
-නුවන් උදය වික‍්‍රමසිංහ 


MOST VIEWED VIDEO STORIES

MORE >>