මැයි මස 18 වන දින හිරු උදාවූයේ රටම කම්පා කරවන ඛේදජනක ආරංචියක් සමගිනි. කෑගල්ල,බුලත්කොහුපිටිය නායයාමක් හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදහන්වීමත්,අරණායක ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන් පුද්ගලයින් 13 දෙනෙකුගේ මළ සිරුරු හමුවීමත් අසුබ දිනයක පෙර නිමිති පළ කිරීමක් බඳුවිය.දහවල්වන විට සිදුවූයේ සොයා ගන්නා මළ සිරුරු සංඛ්‍යාව සංඛ්‍යාත්මක ලෙස ඉහළයාමත්,ධාරාණිපාත වර්ෂාවෙන් දිවයිනේ තැන තැන සිදුවන ජලගැලීම් හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්වීමත්ය.මැයි 19 වන දින වන විට තත්ත්වය වඩාත් දරුණු අතට හැරිණි.ඒවන විට ලක්ෂ සංඛ්‍යාත සංඛ්‍යාවක් අවතැන්ව සිටි අතර විශේෂයෙන්ම කොළඹ හා ගම්පහ දිස්ත්‍රීක්කවලට අයත් නගර ගණනාවක් ජලයෙන් යටවිය.බොහෝ පිරිසක් අනාරක්ෂිත තත්ත්වයට ඇදවැටී පණ ගැටගසා ගැනීම වෙනුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවූහ.බැලූ බැලූ අත දිස්වූයේ දුක් කඳුළුය.සෝ සුසුම්ය.අදෝනාය.මනුසත්කම හඳුනන "මනුසත් දෙරණ"මේ ජනයාට අතදෙන්නට නොපැකිළිව ඉදිරිපත්වීම දෙරණ මාධ්‍ය ජාලය කෙරෙහි විශ්වාසය තබා ඇති ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ හදගැස්ම හඳුනාගැනීමක් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ.
වහා කළ යුතු කාර්යය වූයේ ආරක්ෂක අංශ විසින් මැදිහත්ව මුදවා ගනු ලබන ජනයාට ආහාර පිළිබඳ ගැටළුව විසඳීමයි.
19 වන දින හදිසියේ රැස්වුණු මනුසත් දෙරණ මෙහෙයුම් කමිටුව කළ යුත්තේ කුමක්දැයි වහා තීරණයකට එළඹිණි. ඒ අනුව ටී.වී දෙරණ,එෆ්.එම් දෙරණ,අදදෙරණ පුවත් වෙබ්,කෙටිපණිවිඩ සේවාව වහාම ක්‍රියාත්මක වී තමා කෙරෙහි විශ්වාසය තබා ඇති ජනයාට ආමන්ත්‍රණය කරන ලදී.
"ඔබ හෙට දිනයේ රාජකාරිය සඳහා කොළඹ පැමිණෙන විට දිවා ආහාරයට ගෙන එන ආහාර පාර්සලයට අමතරව තවත් වැඩිපුර බත් පාර්සලයක් ගෙනවිත් විපතට පත් ජනයාට ලබාදීම සඳහා අපට දෙන්න"
වචන වෙනස් විය හැකිය.හඬ වෙනස් විය හැකිය.දසුන් වෙනස් විය හැකිය. එහෙත් සංවිධිත මාධ්‍ය ජාලයක් වන අප සතු සියලුම මාධ්‍ය හරහා අපදුන් පණිවිඩය වූයේ එයයි.
ආහාර පාර්සල් බාර ගැනීම සඳහා ස්ථාන කිහිපයක අපගේ මනුසත් දෙරණ කණ්ඩායම් ස්ථාන ගත කර තිබිණි.
කොටුව දුම්රියපළ ඉදිරිපිට
මරදාන දුම්රියපළ ඉදිරිපිට
මහලේකම් කාර්යාල දුම්රියපළ ඉදිරිපිට
බම්බලපිටිය දුම්රියපළ ඉදිරිපිට
කොටුව බෝගහ අසළ බස් නැවතුම්පළ
කොටුව ප්‍රධාන බස් නැවතුම්පළ අසළ
ආදිය එකී ස්ථාන විය.
ඒ මොහොතේ රටක්,ජාතියක් ලෙස දුකට පත් ජනයාට සහයවන්නේ කෙසේදැයි සියලුම දෙනා පෙරට ආ බැවින් ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය ආයතනද දෙරණ සමග අත්වැල් බැඳගන්නා ලදී.ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මෙහිදී කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ බව අමතක කළ නොහැකිය.
"අහවල් වේදිකාවට දැන් පැමිණි දුම්රිය.."යයි ගමනාන්ත විස්තර සඳහන් කරන ඉහත දුම්රිය
ස්ථානයන්හි විස්තර කථකයන් එදින තම විස්තර කථනයට තවත් දෙයක් එකතු කර තිබුණේය.
"ඔබ විසින් විපතට පත් ජනයාට ලබාදීම සඳහා කෑම පාර්සල් ගෙන ආවේ නම් දුම්රිය ස්ථානය ඉදිරිපිට අහවල් ස්ථානයේ සිටින මනුසත් දෙරණ කණ්ඩායමට ලබාදීමට කටයුතු කරන්න" යන්නද ශබ්ද වාහිනියෙන් නිරන්තරයෙන්ම කියැවිණි.ඒ විතරක්ද නොව මෙම ආහාර පාර්සල් ප්‍රවාහනය කිරීමටද දුම්රිය කාර්ය මණ්ඩලයේ සහය නිරන්තරයෙන් ලැබුණු බව කිව යුතුමය.
විශේෂයෙන්ම මරදාන දුම්රිය ස්ථානයේ සිට කැලණිය දක්වා ආහාර පාර්සල් ප්‍රවාහනයට දුම්රිය සේවකයින් විසින් නොමිලේම ඉඩහසර ලබාදෙන ලදී.ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔවුන් සතු විශාල ලොරි රථ මාර්ගයෙන් ආහාර බෙදාහරිමින් මෙම කටයුත්තට දායක වූ අතර ගොඩබිමින් ළඟා විය නොහැකි ඇතැම් ස්ථාන කරා හෙළිකොප්ටර් මාර්ගයෙන් ආහාර බෙදාහැරීමට තරම් ඔවුන් පරිත්‍යාගශීලි විය.නාවික හමුදා ස්වකීය බෝට්ටු මාර්ගයෙන් ජලයෙන් කොටුවී සිටි ජනයාට ආහාර බෙදාදීමට ඉදිරිපත් වූ අතර පොලිස් ස්ථාන බොහොමයක්ද මෙම කාර්යයේදී යුහුසුළුව දායකත්වය දැක්වූ බව නොකියා බැරිය.ප්‍රාදේශීය සංවර්ධන බැංකුව,ඩී.එස්.අයි ආයතනය,ඩියුලක්ස් පේන්ටින් ආයතනය,මොරටුව එනිස් ඒජන්සීස් සහ ලයන්කෝ ආයතනය ඇතුළු ආයතන ගණනාවක් ද මෙම සත් කාර්යයේදී ලොරි රථ ආදිය ලබාදෙමින් නොමසුරුව දායක විය.විශේෂයෙන්ම කොටගල වැවිලි සමාගම මැදිහත්වී එම සමාගම යටතේ සේවය කරනු ලබන වතු කම්කරු ජනයාගේ දිනක වැටුප පරිත්‍යාග කිරීමෙන් ලක්ෂ 30ක පමණ වටිනාකමකින් යුතු වියළි ආහාර මලු හා පාසල් උපකරණ,ඖෂධ පටවන ලද විශාල ලොරි රථ දෙකක් පරිත්‍යාග කරන ලදී.
එම පරිත්‍යාගයන් බෙදාහැරීම සඳහා සහයවීමට එම වැවිලි සමාගමේ කළමනාකරුවන් කිහිපදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ විසි දෙනෙකු පමණ ශ්‍රමයෙන්ද දායකත්වය දැක්වීම අගය කළ යුතුමය.මීට අමතරව නම් සඳහන් කළ නොහැකි තරමට බොහෝ පිරිසක් රට වටා ඈත ගම් දනව්වල සිට තම තමන්ගේ රථයකින් හෝ කුලියට ලබාගත් රථයකින් දෙරණ ප්‍රධාන කාර්යාලය වෙත පරිත්‍යාගයන් ලබාදීම නිරන්තරයෙන් සිදුවිය.එසේම මෙම පරිත්‍යාගයන් බෙදාහැරීම සඳහා දෙරණ ආයතනය සතු රථ වාහනවලට අමතරව ලොරි රථ,ජීප් රථ,ඩබල් කැබ් රථ,වෑන් රථ ආදියෙන් සහය වුණු පුද්ගලයින් හා කුඩා සමාගම් ගණනාවකි.ඒ අයුරින් පිසින ලද ආහාර හා වියළි ආහාර පාර්සල් මෙන්ම ඇඳුම්,ඖෂධ ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 20 වන සිකුරාදා රථවාහන 55 කින්ද,21 වන සෙනසුරාදා දින රථ වාහන 69කින්ද,22 වන ඉරිදා දිනයේ වාහන 69 කින්ද ප්‍රවාහනය කොට මධ්‍යස්ථාන ගණනාවක් හරහා බෙදාහැරීම සිදුවිය.
බෙදා හරින ලද ස්ථාන දල වශයෙන් පහත පරිදිය.
හංවැල්ල ප්‍රා.ලේ කාර්යාලය,හංවැල්ල පොලීසිය,වත්තල පොලීසිය,බෝමිරිය,බියගම,සියඹලාපේ,වැල්ලම්පිටිය,කැලණිය ප්‍රා.ලේ,ගම්පහ ප්‍රා.ලේ,කඩුවෙල-කොතලාවලපුර,මුල්ලේරියාව,ජාඇළ,මුල්ලේරියාව,මානිකමුල්ල,පොකුණුගොඩ,අඹතලේ,අංගොඩ,අකුරුගොඩ,කඩුවෙල-වැලිවිට,පූගොඩ,රණාල,වෙලේ හංදිය,වැලිහිඳ,පිට්ටුගල,පට්ටිය(බටහිර),වනවාසල(බටහිර),අවිස්සාවේල්ල,වැල්ලම්පිටිය,අංගොඩ පොලීසිය ඇතුළුපාර,කැලණිය-පෙතියාගොඩ,බියගම,පහළ බෝමිරිය,අතුරුගිරිය,අංගොඩ-ගහවත්ත පාර,බෝවිල පාර,කොළොන්නාව,හැඳල,නවගමුව,ග්‍රෑන්ඩ්පාස්,දිසාහේන,කළුපැලැල්ල,කොරතොට,යකාල,වෙළේ හංදිය,හිඹුටාන,
හලාවත,පරන්තන්මුල්ල,මහවිලත්තාව,දැදුරුවැව,පිඹිල්ල,මනුවන්ගම,පිස්සෝගම,
මල්වාන,කණුකැටිය,මාපිටිගම,දොම්පෙ,පට්ටියගම,හල්දුම්මුල්ල,උසක,මට්ටක්කුලිය,අංගොඩ-බුලත්සිංහල,කොස්හේන,මාළඹේ වැවපාර,කැළණිමුල්ල,සේදවත්ත,මිලේනියම් සිටි, අතුරුගිරිය(පනාගොඩහංදිය)කොරතොට,කොටිකාවත්ත,වීරමාවත,මාබිම,වල්පොල,මහබුත්ගමුව,මිනුවන්ගොඩ,කෙරවලපිටිය,වනාත,ෆාතිමා පාර,සිංහලේ පන්සල කැලණිය,රණාල,හබරකඩ,ගැමුණුපාර,වෑවල හංදිය,මීතොට රාහුල විද්‍යාලය,කැකිරිවල පාර,නාගහවත්ත පාර,අඹගහවත්ත
මෙම ස්ථානයන්ට දින තුනක් පුරා උදේ,දිවා රැයේ පිසින ලද ආහාර පාර්සල් මෙන්ම වියළි ආහාර ද්‍රව්‍යයද,ඖෂධ හා ඇඳුම්,ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට වලින් යුතු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම සිදුවිය.මෙහිදී පීඩිත ජනයාගේ සංඛ්‍යාත්මක වශයෙන් හා අවශ්‍යතාවන් සලකා ඇතැම් ස්ථානයන්ට කිහිපවරක් බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීම සිදුවිය.ඒ අනුව කැලණිය ප්‍රා.ලේකම් කාර්යාලයට අවස්ථාවන් 8කදීද,ජාඇළට අවස්ථාවන් 5කදීද,හංවැල්ලට අවස්ථාවන් 7කදීද භාණ්ඩ ප්‍රවාහනය කරන ලදී.
මෙවර ආපදා සහන සැලසුම් දින 3ට සීමා කරන්නට සිදුවුවද,ජනතාව අප කෙරෙහි තැබුවාවූ විශ්වාසය හේතුවෙන් එයින් පසුවද පරිත්‍යාග ලබාදීමට උනන්දුවිය. හුදු පුද්ගල හෝ ව්‍යාපාරික ලාභ ප්‍රයෝජන නොතකා මෙවන් සත් කාර්යයන් ඉටුකිරීමට ආයතනයේ සේවක/සේවිකාවන් ස්වේච්ඡාවෙන් තමන්ගේ නිවාඩු දිනද කැප කොට දායකවීම පැසසිය යුත්තකි.