Back to Top

ගංවතුරේ උණුසුමෙන් බැස ගිය නවකවදය ගැන පසු සටහනක්

May 23, 2016  

පසුගිය දිනවල සියළුම මාධ්‍යයන්හී ප‍්‍රධාන මාතෘකාව බවට පත්වෙමින් පැවති එක් කතාබහක් දැන් යටපත්ව ගොසිනි. ඒ මෑත ඉතිහාසයේ හටගත් බලවත්ම ගංවතුර සහ නායයාම් ඇතුළු ස්වාභාවික ව්‍යසනය මාධ්‍ය මෙන්ම දේශපාලන පාර්ශවයන්හී උණුසුම් පුවත බවට පත්වීමෙනි. එසේ යටපත්ව ගිය මාතෘකාව අන් කිසිවක් නොව නවකවදය පිළිබඳ විවේචනයයි. මහ වැසි පටන් ගන්නාවිට තිබුනේ නවක වදයට එරෙහි විවේචන වැසි වසිමිනි. දේශපාලකයන් මෙන්ම විවිධ පාර්ශව උණුසුම් අදහස් දක්වමින් පැවති එහි තත්වය තීව‍්‍ර කරමින් සරසවි සිසු සිසුවියන් රිමාන්ඞ් බන්ධනාගාරගත කෙරෙමින් පැවති අතර ඒ සම්බන්ධයෙන් අදහස් පල කිරීමට අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලයද ඉදිරියට පැමිණෙමින් සිටිනු දක්නට ලැබුණි.
 
    මේ සියළු අදහස් මැද වෙනස් අදහස් දැක්වීමක් දක්නට ලැබුණේ චින්තන ධර්මදාස සහ සුමනසිරි ලියනගේ වෙතින් පමණි. අන් සියළුම අදහස් විසින් කෙරුණේ සරසවි සිසුවා ම්ලේච්ඡයෙක් මට්ටමට පත්ව ඇති බව තහවුරු කිරීමට තැත් දැරීමකි. කෙසේ වෙතත් අපගේ අදහස වන්නේ මේ මාතෘකාව යටපත් නොකර විවෘත සංවාදයක් ලෙස ගත යුතු බවයි. නවකවදය යන්න සරසවි ඉතිහාසය තුළ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ විවාදයට ලක්ව පවතින්නක් වන අතර සෑම වසරකම එය නවක සිසුන් බඳවා ගන්නා කාලයට ඉස්මතුව මද කලකට පසුව යට යයි. ඉන් පසු ඒ ගැන කිසිම පාර්ශවයක් උනන්දු නොවෙන අතරම කිසිවකුට හෝ එවන් මාතෘකාවකට තමන් මැදිහත් වුන බවට මතකයක් පවා ඉතිරි වන්නේ නැති. එහෙයින් මෙවර හෝ මෙය එසේ යට යාමට නොදී විසඳුමක් දක්වා ඉදිරියට ගෙනයාම වැදගත් වෙයි.

    මේ ලියුම්කරුද ලංකා ඉතිහාසයේ ඉතාම දරුණු අවධියක් වූ අසූව දශකයේ සරසවි දිවිය ගත කළ එසේම නවකවදයට ද බඳුන් වූ අයෙකි. මා ලද අත්දැකීම් මත පදනම්ව කිව හැක්කේ නවකවදය යනුවෙන් නවක සිසුන් ඇතුළත් කෙරෙනා කාල වකවානුව තුළ සරසවි තුළ හටගන්නා ක‍්‍රියා දාමය තුළ බැහැර කළ යුතු අංග බොහෝ පවතින බවයි. එහෙත් නවකවදය යනු ජවිපෙට- දැන් පෙරටුගාමීන්ට කණ්ඩායම් දිනා ගැනීමට කෙරෙනා උපාය මාර්ගයකි යන්න අර්ධ සත්‍යයක් පමණි. මේ අපේ සරසවි දිවිය තුළද එල්ලව පැවති චෝදනාවකි. සරසවි නවකවදයට ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ සිසුන් මෙන්ම ඊට බැහැර අයද සම්බන්ධ වන අතර නවකවද මානසිකත්වය පිටුපස ඇත්තේ දේශපාලනයට සිසුන් අල්ලා ගැනීම නැතිනම් කොක්ක ගැසීමය යන්න හුදෙක් ඉතා සරලමතික නිගමනයක් පමණි. නවකවදය යනු ඊට වඩා බෙහෙවින් පුළුල් ලෙසින් සලකා බැලිය යුතු සමාජ විද්‍යාත්මක කාරණයකි. විවිධ සමාජ දේශපාලනික මෙන්ම සංස්කෘතික හා ආර්ථික කරුණු මේ පිටුපස තිබේ. අනෙක් අතින් සරසවියට එන පළමු වසර සිසුන්ගෙන් සැලකිය යුතු කොටසක් දෙවන වසර වන විට පෙර වසරේ තමන්ගේ විවේචනයට ලක්වූ ක‍්‍රියාවලියේ ප‍්‍රබල සාමාජිකයන් බවට පත්ව ඉන්නා ආකාරයද දැකිය හැකිය.
 
    සරසවියේ නවකවදය යන්නට එල්ලවන දේශපාලක විවේචනය බොහෝ විට  තම දේශපාලන ක‍්‍රියාමාර්ගයන්ට එරෙහිව වීදි බසිනා සරසවි සිසුනට එල්ල කරනා යෝකර් පන්දුවකි. නවක වදයේ ගොදුරු බවට පත්වන සිසු සිසුවියන් වෙනුවෙන් කිඹුල් කඳුළු හලනා ඔවුහු ඉතා ඉක්මනින් එය අමතක කර දමා වෙනත් මාතෘකා කරා යොමු වෙති. මේ නිසාම සරසවි සිසුන් විශේෂයෙන් මේ මාතෘකාවට විවෘතව මුහුණ දිය යුතුව තිබේ. මන්ද යත් නවකවදයට එරෙහි චෝදනා වලට උත්තර බඳිනා සිසුන්ගෙන් අප සරසවි සිසුවකු වෙතින් අපේක්ෂා කරනා තාර්කික හෝ පරිණත බව නොදකින හෙයිනි. සැබැවින්ම නම් ඔවුන් වටහා ගත යුතුව ඇති සත්‍යය වන්නේ අතීතයේ සිට පැවතෙන සම්ප‍්‍රදායන් වෙනුවට නව සම්ප‍්‍රදායයන් හඳුන්වා දෙන ශිෂ්‍ය ව්‍යාපාරයක් වෙනුවෙන් තමන් ක‍්‍රියාත්මක විය යුතු බවයි.

 සිසුන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම මෙන්ම සිසුන් හෙට දවසට ඇවැසි බුද්ධිමය බලකාය බවට පත් කිරීමට ඇවැසි නව සම්ප‍්‍රදායන් නිර්මාණය කිරීම යනු ඩිප්ස් ගැසීමට, බකට් කිරීමට වඩා බරපතළ කරුණකි. විශේෂයෙන්ම ගිරාපෝතක අධ්‍යාපන ක‍්‍රමයක ගොදුරු බවට පත්, උසස් පෙළ පංතිය දක්වාම අම්මා තාත්තාගේ අතේ එල්ලී යන යෞවන පරපුරක් සැබෑ පුරවැසියන් බවට පත් කිරීම යනු සැබැවින්ම අද දවසේ අභියෝගයකි. සාහිත කලා ක‍්‍රියාකාරකම් නොතකන, සංවාදයට බිය, අභියෝගයන් හමුවේ පැකිලෙන තරුණ පරම්පරාවක් නිර්මාණය කිරීම සඳහා අපේ අධ්‍යාපන ක‍්‍රමය විසින් දමා ඇති විෂ රසායන්යන් රජරට වකුගඩු රෝගයට හේතු වන්නේ යයි කියනා රසායනයන්ටද වඩා බරපතළය.
 
    අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයට මෙන්ම , අනෙක් සරසවි ජ්‍යෙෂ්ඨයන්ටද තමනට එල්ල වන නවකවද චෝදනාවට නිවැරදි පිළිතුරු දිය හැක්කේ සැබැවින්ම නවකවදය වෙනුවට සරසවි සිසු සහයෝගීතාව වර්ධනය කෙරෙනා වඩා නිර්මාණාත්මක උපාය මාර්ගයන් වෙත යොමු වීමෙන් පමණි. ඔවුන් වටහා ගත යුත වන අනෙක් සත්‍යය වන්නේ මැතිවරණයක් එන විට කිසියම් පෙරමුණක් දිනවීම සඳහා ඇවැසි වන විට සෑම දේශපාලකයකුටම වරෙක තම හතුරා වන සරසවි සිසුවා රටේ අනාගත ජීවනාලිය වන බවයි. මෙය ජේ.ආර්ගේ සිට මෛත‍්‍රී දක්වා එකසේ අදාළය. අනෙක් අතින් වමේ දේශපාලනයට ඇති නැඹුරුව ගැන කියන්නේ නම් සරසවි සිසුවා එහිදීද හැදෑරීම යන්න ගැන බරපතළ ලෙස සිතිය යුතුව ඇති බවයි. මේ තීරුවෙන්ම මීට පෙරද සඳහන් කර ඇති පරිදි අද සරසවි සිසුවාගේ එක් වගකීමක් වනුයේ අධ්‍යාපනයේ සැබෑ ඛේදවාචකය පිලිබඳ විධිමත් ගවේෂණයක් කිරීම සඳහා අදාළ සියළු පාර්ශව හරහා  උත්සාහ දැරීමයි. රජයේ සරසවි සහ පාසල් වල වත්මන් ඛේදවාචකය හරිහැටි ගවේෂණය කිරීම යනු වත්මන් අධ්‍යාපන අර්බුදයෙන් පාලකයනට පලා යාමට ඇති ඉඩ ඇහිරීමකි.

    අද වන විට පෞද්ගලික අධ්‍යාපනය යනු නවතාලිය නොහැකි ප‍්‍රවාහයක් බවට පත්ව හමාරය. එය වෙනස් කළ හැක්කේ වෙනස් දේශපාලන ක‍්‍රමයක් තුළින්ම පමණි. ඒ සඳහා සටන් කිරීම යනු සරසවියෙන් බොහෝ එහාට යන ක‍්‍රියාවලියකි. පවත්නා තත්ත්වය යටතේ කෙසේ වෙතත් අප කවුරුත් මැදිහත් විය යුතු පැත්තක් තිබේ. ඒ රජයේ සරසවි සහ පාසල් වල ඉහළ අධ්‍යාපන මට්ටමක් පවත්වා ගැනීමයි. මේ වන විට රජයේ සරසවි වලින් නිවාඩු ලබා බොහෝ ඇදුරන් පුද්ගලික සරසවිවල ඉහළ වැටුප පතා යන බව ප‍්‍රකට කරුණකි. ඉතා මෑතක මට හමුවූ වරෙක සරසවි උපකුලපතිවරයෙක් ලෙසද සිටි මහාචාර්ය වරයෙක් කීවේ තමන් පෞද්ගලික සරසවියක වැඩි වැටුපකට සේවය කරන බවයි. තවත් සරසවියක අධ්‍යානාංශ ප‍්‍රධානියෙක් මට වරෙක පැවසුවේ මේ තත්ත්වය පැවතිය හොත් තව වසර පහක කාලයක් යන විට සරසවි පද්ධතියේ පූර්ණ විනාශය දැකගත හැකිවනු ඇති බවයි. මේ එක් ප‍්‍රශ්නයක් පමණි. ඉදින් නවකවදය වෙනුවට මේ සැබෑ වදය අප සාමූහිකව ඉදිරියට ගත යුතු නොවන්නේද?

     නවකවදයට එරෙහිව ඉතා සැර ප‍්‍රකාශ නිකුත් කරන කිරිඇල්ල සහ ගේ‍්‍රරෝ යන දේශපාලකයන්ටද මේ මොහොතේ යමක් කිව යුතුව තිබේ. සරසවි සිසුන් විනය විරෝධීවීම ප‍්‍රශ්නයක් බව සැබැවි. එහෙත් අපේ දේශපාලකයා ඊටත් අන්ත තත්ත්වයකට පත්ව සිටියදී ඔබ සිසුනට ඇඟිල්ල දිගු කරන්නේ කෙසේද? සරසවි සිසුනටත් අන්ත භාෂාවක් මැති සබය තුළ භාවිතා කරන අයි ආර් සී හැසිරීමක් පලකරන දේශපාලකයා අපට නම් සරසවි සිසුවාටද වඩා අන්තය.




- නුවන් උදය වික‍්‍රමසිංහ


MOST VIEWED VIDEO STORIES

MORE >>