විදුහල්පතිවරයෙක් නොව දෙවියෙක් ගැනයි
April 25, 2016
පසුගිය සති දෙක ඇතුළත ලංකාවේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයකු සම්බන්ධයෙන් පුවත් පත් ඇතුළු මාධ්‍යයන්හි සැලකිය යුතු ඉඩක් වෙන් කරනු ලැබිණි. ඒ ඔහුගේ අධ්‍යාපන පරිපාලන සුරු විරුකම් ගැන විස්තර කිරීමට නොව පාසලේම තවත් විවාහක ගුරුවරියක සමග පවත්වාගත් අනියම් සම්බන්ධයක් පිලිබඳ පුවතකටය. මේ විදුහල්පතිවරයා එකී ගුරුවරිය සමග පළාගිය බවත් ඉන් දින කිහිපයකට පසුව නැවතත් පාසලේ සේවයට ආ බවත් මේ සම්බන්ධයට පාසලේම තවත් ගුරුවරුන් පිරිසකගේ නොමද අනුග්රහයද ලැබුණ බවත් එකී පුවත් මගින් පැවසිණි. මේ විදුහල්පතිගේ "වීර ප්රයාණය"ගැන වාර්තා ලැබෙන්නට පෙර තවත් එවැනිම ක්‍රියාවක් ගැන අපට අසන්නට ලැබී තිබුනේ මීට පෙර ගුරුවරියක දණ ගැස්වූ තක්කඩි පළාත් සභා නියෝජිතයා සිය පාසලේ ක්‍රීඩා උත්සවයට ගෙන්වූ විදුහල්පතිවරයා පිළිබඳවය.
කෙසේ වෙතත් මේ සිදුවීම් දෙකම තවත් විදුහල්පතිවරයකු ගැන සටහන් කිරීම සඳහා මා පෙළඹවීය. මා ලියන්නට යන විදුහල්පතිවරයා සහ ඉහත සඳහන් බාන අතරේ ඇත්තේ අහසට පොළොව මෙන් පරතරයක් වීම ඊට හේතුවයි. මුල් දෙදෙනා පාසල නම් දෙවොලෙහි පැහැරූ දෙදනකු වෙද්දී මා පවසන විදුහල්පතිවරයා පාසල සිසුනගේ සැබෑ තක්සලාව බවට පත්කිරීමට සිය දිවිය කැප කළේය. පසුගිය අප්‍රියෙල් විසි එක්වෙනිදා වරෙක ඔහු සේවය කළ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේදී තක්ෂිලාවේ මෙන්ම විවිධ යුගවල විවිධ පාසල්වල ඔහුගෙන් ඉගෙනුම ලැබූ ආදි සිසුන් සහ තක්ෂිලාවේ ආදි ගුරුවරුන් හමුවේ මේ යුග පුරුෂයාට උපහාර පළ කෙරුණේ සහිත්‍යවේදී මහින්ද සෙනරත් ගමගේ සහෘදයාගේ නොමද උත්සාහය හේතුවෙනි. එය එදා රැස්ව සිටි පිරිසගේ දිවියේ අමරණීය අවස්ථාවක් බවට පත්ව තිබුණි. මේ ගුරුවරයා යනු සාමාන්‍ය ගුරුවරයකු ලෙස සේවයට පිවිස විදුහල්පතිවරයකු මෙන්ම අධ්‍යාපන පරිපාලනයේ කැපී පෙනුන චරිතයක් ලෙස සම්භාවනාවට පාත්රව ඉසුඹු ලත් වෝල්ටර් සිල්වා නම් උතුම් මිනිසාය.
ඔහු ගුරුවරයකු ලෙස සිය සේවය අරඹන්නේ බද්දේගම රතනසාර විදුහලෙනි. ඉන්පසුව මහරගම ගුරුවිද්‍යාලයට ඇතුළත්වන ඔහු පුහුණු ගුරුවරයකු ලෙස වෘත්තීය දිවිය අරඹන්නේ කළුතර තිස්ස මැදි විදුහලෙනි. ඔහු සිය විදුහල්පති දිවියේ ස්වර්ණමය කාලය ගත කරන්නේ හොරණ තක්ෂිලාවෙහිය. ඒ 1975 සිට 1982 දක්වා කාලය අතරතුරය. පසුව අධ්‍යාපන පරිපාලකයකු ලෙසද කළ සේවයෙන් පසු විශ්‍රාම ගියද ඔහු සංචාරක මණ්ඩලයට සම්පත්දායකයකු ලෙස සම්බන්ධ වන්නේ තමන් තුළ වන ඉතිහාස දැනුමේ විශිෂ්ටතාව හේතුවෙනි. ඔහු ඒ අතරම විශිෂ්ට ඉංග්‍රීසි දැනුමකින්ද සන්නද්ධ වූ ගුරුවරයෙකි. එහෙත් ඔහු සුවිශේෂ ගුරුවරයකු ලෙස පරම්පරා ගණනාවක සම්භාවනාවට පාත්‍ර වන්නේ අන් කිසිවක් නිසා නොව ගුරු භූමිකාව පිලිබඳව ඔහු තුළ වූ නොමද අවබෝධය, සිසුන් කෙරේ වූ දැඩි සෙනෙහස මෙන්ම පරිපාලනයේ ලා දැක්වූ කෘතහස්ත බව හේතුවෙනි.
එදා උපහාර උළේලේදී ඔහු හමුවේ භක්තිය සහ සෙනෙහස පිරි හදින් දණ නමා වැඳ වැටුණු පිරිස අතර සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉහළම තනතුරු දරූවන්, අදටත් සේවයේ ඉන්නා ඉහළම හමුදා සහ පොලිස් ප්‍රධානීන් මෙන්ම වෛද්‍යවරුන් කලාකරුවන් ඇතුළු සියළුම වෘත්තීන්හි නියැළුණු නියැළෙන ආදි සිසුන් සහ ආදි ගුරුවරුන් එක හෙලා පැවසූ වදන් එකට කැටි කළ විට මෙපරිදිය. "වෝල්ටර් සර් කියන්නෙ ගුරුවරයෙක් නෙවෙයි දෙවියෙක්."
වොල්ටර් සිල්වා නම් මේ මිනිසා ජීවිතය අරඹන්නේ ඉතා කටුක තත්ත්වයන් යටතේය. ආර්ථික හේතු මත වරින් වර බිඳ වැටුණ පාසල් දිවිය ජය ගන්නා ඔහු උපාධිය ලබා ගන්නේ ගුරු වෘත්තියටද ඇතුළත් වූ පසුවය. ඔහුගේ විශේෂත්වය වන්නේ ගුරු වෘත්තිය තම ජීවිකා වෘත්තිය නොව සමාජය උදෙසා වන වගකීම සේ සැමදා දැඩිව විශ්වාස කිරීමයි. ගොර්කි මෙන් තම ජීවන ගමනේ කටුකත්වයන්ට සාර්ථකව මුහුණ දුන් ඔහු ආර්ථික සමෘද්ධිය ලබා ගනිමින් සමාජයට වෛර කරන්නකු නොවී පෙරළා සමාජයට ආදරය කරන්නකු බවට පත් වූවේය. එහෙයින් ඔහු කිසිම දිනෙක පාසලට ළමුන් ඇතුළත් කරගැනීමට වරදානයන් ඉල්ලූ කප්පම්කරුවකු වූයේ නැති. එසේම ඔහු විශ්‍රාමික දිවියෙහිද ඉන්නේ සංතෘප්ත මිනිසකු ලෙසිනි. ඔහුගේ මෙවදන් ඊට දෙස්දෙයි. "මට සල්ලි නෑ කියන්නත් බෑ. මට අත දිග ඇරල වියදම් කරන්න තරම් සල්ලියක් නැති වුනත් ඕන කරන හැම දේටම මට මුදල් තියෙනව. මුදල් ලැබෙනව. දොස්තරල මුණ ගැහෙන්න, බේත් හේත් ගන්න, අනෙක් එදිනෙදා බිල් ගෙවන්න, යම් යම් තැන්වලට යන්න, සහ යම් යම් දේවලට දායක වෙන්න වගේම දෙන්නෙකුට ශිෂ්‍යත්ව දෙන්න තරමට මට විශ්‍රාම වැටුප ප්‍රමාණවත්."
සිය විශ්‍රාම වැටුපෙන්ද ශිෂ්‍යත්ව පිරිනමනා මේ දිසාපාමොක් ගැන උපහාර උළෙලේදී ඇතැම් ආදි සිසුවියන් මහත් බැතියෙන් සිහිපත් කළේ මෙලෙසිනි. "අතමිට හිඟකම් තිබුණ අපිට එදා සර් මොන තරම් සල්ලි දීලා ඇද්ද ඉගෙන ගන්න."
වෝල්ටර් සිල්වා නම් ගුරුවරයා සාර්ථකත්වයට පත්වීමට බල පෑ හේතු ගණනාවකි. ඉන් පළමුවැන්න ඔහු තුළ තම වෘත්තිය කෙරේ වූ ඇල්ම සහ කැපවීමයි. සැමදා ඔහු සිටියේ පාසලට පළමුවෙන්ම ආ අය අතරය. දෙවැන්න සිසු දරුවන් කෙරේ ඔහු තුළ වූ නොමඳ පේ‍්‍රමයයි. ඔහු ඉතිහාසගත වන්නේ වේවැල පාවිච්චි නොකර සිසු විනය පවත්වා ගත් ගුරුවරයකු ලෙසිනි. ඔහු තුළ වූ උපහාසය මුසු සහජ ව්‍යක්ත කතාවත් ගැඹුරු හඬත් ඔහුගේ ආයුධ වූ අතර සිසුවාට ගුරුවරයා කෙරේ වෛරයක් ඇති නොවන, ඒ වෙනුවට ඔහු නැවත එම වරද නොකරමින් ගුරුවරයා සමග බැඳෙන අයුරින් සුන්දර දඬුවම් දීමේ ලා ඔහු රුසියෙකි. ඔහු තුළ වූ තවත් සුවිශේෂත්වයක් වනුයේ පන්ති කාමරය මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් උදෙසා සිසුන් යොමු කිරීමට දැක් වූ උනන්දුවයි. එහෙයින් පාසල ඔහුගේ යුගයේදී ගිරා කූඩුවක් නොවීය. සිසුන් එකිනෙකා ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබූ අතර ආර්ථික අපහසුකම් ඇති සිසුන් ගැන ඔහු විශේෂයෙන්ම සොයා බැලීය. ඇති දරුවන්ගෙන් ඇඳුම් පැළඳුම් ඉල්ලා ගත් ඔහු නැති දරුවන්ට ඒවා දුන්නේ පරිත්යාගලාභියා ගැන පරිත්‍යාග කරන්නාට පවා නොකියමින් ලබන්නාගේ ආත්මාභිමානයද රකිමිනි. ගුරුවරයා සිසුවාට දඬුවම් දිය යුත්තේ කෝපයෙන් නොව සෙනෙහසින් බව තිරව ඇදහූ ඔහු විනය හේතු මත සිසුන් පාසලෙන් නෙරපුවේද නැති. එසේම සිසු සිසුවියන් අතර ඇති වන පෙම් සබඳතා ගැනද ඉතාම මානුෂික අයුරින් බැලූ ඔහු පාසල් විනයද ඉහළින්ම පවත්වා ගත්තේ ගුරු සිසු ආදි සිසු මෙන්ම දේශපාලකයන් ඇතුළු බාහිර පාර්ශවද මනාව කළමනාකරණය කරමිනි. මේ කරුණෙහිලා ඔහු තුළ වූ දක්ෂතාව ඉතා ඉහළය. ඔහුගේ සමස්ත ජීවන දර්ශනයම කැටි කර දැක්වීමට ඔහු සිය ආදර්ශ පාඨය කරගත් වැකිය ඉතා හොඳින් ගැලපේ යයි මට සිතෙයි. " ඔබ ජෝන්ට ලතින් උගන්වන්නට යන්නේ නම් ඔබ ලතින් පමණක් නොව ජොන්වද දැන සිටිය යුතුය.´´ ඒ වනාහී රටේ අධ්‍යාපනය ජෝන්බාස්ට යැවීමට දඟලන ඇමතිලාගේ සිට සාමාන්‍ය ගුරුවරයා දක්වා සියල්ලටම නිතර සිහිපත් කිරීමට වටනා ආදර්ශ පාඨයකි. ඉදින් මගේද දිවිය වෙනස් කිරීම හේතු වූ මේ උතුම් මිනිසා ගැන ලියන මොහොතේ දී මට මෙසේ සිතෙයි. නරක මිනිසුන් ගැන නිතර අසන්නට ලැබෙනා සමාජයට මෙවන් චරිත ගැනද ලිවිය යුතුය. නරක පරාජය කළ හැක්කේ හොඳ සුලබ කිරීමෙනි. වෝල්ටර් සර් යනු නොසැළී එක සිතින් එවන් ප්රයත්නයක නියැළුණෙකි. ඉන් ජය ලැබූවෙකි.
-නුවන් උදය වික්‍රමසිංහ