Back to Top

ඇඹිලිපිටියේ ඛේදවාචකයෙන් උගත යුත්තේ කුමක්ද?

February 1, 2016  

ඇඹිලිපිටියේ සාදයට පොලිසිය මැදිහත්වීම තරුණයකුගේ මරණයෙන් කෙලවර වීමත් සමග දැන් යළිත් පොලිසියේ ක‍්‍රියාකලාපය ගැන සමාජයේ අප‍්‍රසාදයක් මතුව තිබේ. මීට පෙර විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවති සිසු විරෝධතාවයට එල්ල කළ ප‍්‍රහාරය මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත්වීමත් සමග පොලිසියට එරෙහි දැඩි විවේචනයන් පැන නැගෙනු දක්නට ලැබිණි. එහෙත් අතීතයේ සිදුවූ පරිද්දෙන්ම මෙවරද සිදුවනු ඇත්තේ මද කලක් යනවිට සමාජයත් පොලිසියත් යන දෙපාර්ශවයම සියල්ල අමතක කර දැමීම පමණි. එහෙයින් ඉදිරියේදී නැවත කොතනින් හෝ සිදුවීමක් හට ගැනෙන තුරු තාවකාලික සාමයක් පවතිනු ඇත.


    ලංකාවේ පොලිසියේ හැසිරීම සම්බන්ධයෙන්  අතීතයට සාපේක්ෂව යම් ප‍්‍රගතියක් දැකිය හැකි වුවද තවමත් එය පවතින්නේ ජනතා හිතසුව පිණිස වන ආයතනයකට වඩා මර්දන යන්ත‍්‍රයක ස්වරූපයෙන් බව කිව යුතුය. මහජන උද්ඝෝෂණ වැනි පුරවැසි අයිතියක් උරගා බැලෙනා ස්ථානයකට පොලිසිය  පිවිසෙන්නේම ඒ වනාහී නීති විරෝධී කි‍්‍රයාවකිය යන පූර්ව මතයේ පිහිටා බව බොහෝ විට පැහැදිලි වන්නකි. ඔවුන් කඳුළු ගෑස් සහ බැටන් ප‍්‍රහාර වලට නොපැකිළෙන ආකාරයත් එහිදී ක‍්‍රියාකරන ආකාරයත් කියා පාන්නේ මේ මානසික ස්වභාවය මිස අනෙකක් නොවේ. එහෙයින් අද අප ඉදිරියේ ඇති බරපතළම අභියෝගයක් වන්නේ පළමු කොටම පොලිසිය ශිෂ්ටසම්පන්න කිරීමයි.


    ලංකාවේ පොලිසිය දියුණු කිරීමට ප‍්‍රබලම බාධාව වී ඇත්තේ දේශපාලන බලාධිකාරියට එය දක්වන ගැතිකම බව ඉතිහාසය පුරා ඔප්පුවී ඇති සත්‍යයකි. ජනතාව වෙනුවෙන් නොව තමන් ඉන්නේ පාලකයාගේ ආරක්ෂාව පිණිසය යන්න පොලිසිය ඇදහීමත් දේශපාලකයා එසේ වන තැනට බලපෑම් කරන අශිෂ්ටයකු වීමත් යන කාරණා දෙකම මෙහිදී බලපායි. යුක්තිගරුක පුරවැසියන් පොලිස් කොමිසමක් ඉල්ලා සිටියේ මේ තත්ත්වයට පිළියමක් ලෙසිනි. අදවන විට එහි යම් යහපත් ප‍්‍රවණතාවක් දක්නට ලැබුණද තවමත් පොලිසිය රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය මට්ටමට ශිෂ්ටසම්පන්න වී ඇති අයුරක්ද දක්නට නොලැබෙයි. පොලිසියේ පිරිහීමට බලපාන තවත් එක් හේතුවක් වන්නේ එය තමන්ගේ පරීක්ෂණ ක‍්‍රමවේදය වශයෙන් තවමත් ඉතා දැඩි ලෙස බැටන් පොල්ල මත විශ්වාසය තබන ආයතනයක් ලෙසින්ම පැවතීමයි. සේයා දැරියගේ මරණය ඇසුරින් කොණ්ඩයා හා හටගත් අර්බුදය කියා පෑවේ එම කටුක සත්‍යයයි.

පහරදීම, බලහත්කාරය හැරුනු විට සැකකරුවකුගෙන් සත්‍යය එළියට ගැනීමට තර්ක බුද්ධිය හෝ වෙනත් ක‍්‍රමවේදයන් භාවිතා කරන මට්ටමට පොලිසියේ බොහෝ පිරිස් තවමත් දියුණුවී නොසිටීම බරපතල තත්ත්වයකි. අනෙක් අතින් පොලිසිය ආයතනයක් වශයෙන් දූෂිතව ඇති ආකාරය ගැනද අපට ලැබෙනා උදාහරණ සුළුපටු නොවේ. පගාව යන වචනය සමග නිතර කියවෙන නමක් බවට පොලිසිය පත්වන්නේද අහම්බෙන් නොවේ.  ලංකාවේ රාජ්‍ය ආයතනයන්හී ක‍්‍රියාකාරීත්වය සමග තදින් ඈඳෙන වදනක්ව පවතින පගාව යන්න රටේ ආරක්ෂාව භාර ප‍්‍රධාන ආයතනයක් සමග ගැට ගැසුන විට එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මරු පහරකි.


    කෙසේ වෙතත් පොලිසිය යන්න මුළුමනින්ම විනාශයට පත් ආයතනයක් බව පැවසීමට අප ඉක්මන් නොවිය යුතුය.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි අංශ රටේ අපරාධ අනාවරණය කිරීමේ ලා ඇතැම් අවස්ථාවල දක්වා ඇති ප‍්‍රගතිය ඔවුන්ගේ ගෞරවයට හේතු වෙයි. තමන් වෙත භාරදෙනු ලබන පරීක්ෂණ බොහෝවිට ඔවුන් හොඳින් කරන නමුදු අපට අවසන දක්නට ලැබෙන්නේ එය පුස්ස බින්දාක් මෙන් අතුරුදන්ව යන අයුරකි. මෙසේ වන්නේ පරීක්ෂණ අදියරෙන් ඉදිරියට යාමට ඔවුනට බාධා කෙරෙන දේශපාලන බලපෑම් බව ඔප්පු වී ඇත්තේ වරක් දෙවරක් නොවේ. තාජුඞීන් සහ ප‍්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ පරීක්ෂණ සම්බන්ධයෙන් ජනතාව බෙහෙවින් සංකාසහගතව ඉන්නේ මේ තත්ත්වය යටතේ ය. පොලිසිය සම්බන්ධයෙන් පවතින අසතුටුදායක තත්වයට පිළියම් යොදා දියුණු පොලිස් සේවාවක් ඇති කිරීම යනු රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. අවාසනාවට අපට තවමත් ඒ සඳහා මැදිහත් වියයුතු පාර්ශව වෙතින් දක්නට ලැබෙන්නේ බෙහෙවින් මන්දගාමී ප‍්‍රතිචාර පමණි.


    පොලිසිය යනු දඩ කෙලියේ යන හමුදාවක තත්ත්වයෙන් ජනතා ආරක්ෂක බල ඇණියක තත්වයට සංවර්ධනය කිරීම යනු අප‍්‍රමාදව සිදුකළ යුතු කටයුත්තකි. මේ වන විට අපට පොලිසිය වැඩිපුරම හමුවන්නේ පාරවල් අද්දර සැඟවී රියදුරන් අතින් වරදක් වන තුරු රැක ඉන්නා පිරිසක් ලෙසට මිස ජනතාව වරදින් මුදවා ගන්නා, වරද වළක්වන තැනට කටයුතු කරනා සේවාවක් ලෙස නොවේ. පොලිසිය මෙලෙස දඩයක්කරුවන් පිරිසක් බවට පිරිහෙළීම තුළ අනෙක් අතින් වෙන්නේ ජනතාව තුළද සේවාවක් ලෙස පොලිසිය කෙරේ පවතින විශ්වාසය හීනවී යාමයි. මෙහි අවසන් ප‍්‍රතිඵලය වී ඇත්තේ කවර ප‍්‍රශ්නයකට වුව පොලිසිය කරා යාමට පෙර එසේ යන්නා දේශපාලකයකු ගේ ඇඳුනුම්කමන් හෝ පොලිසියේම ලොක්කකුගේ තල්ලූවක පිහිට සොයන තත්ත්වයක් නිර්මාණය වීමයි. මෙය පොලිසිය පමණක් නොව රටේ ජනතාවගේද ලැජ්ජාවට හේතු වන තත්වයක් බව අප වටහා ගත යුතුය.

    පොලිසිය ජනතාවගේ යහපත උදෙසා ක‍්‍රියාත්මක වන ආයතනයක් බවට පත්කිරීම සඳහා වන පළමු කොන්දේසිය වන්නේ එයට එල්ලවන දේශපාලන බලපෑම් ඉවත් කිරීම පිණිස ස්ථාවර වැඩපිළිවෙලක් යෙදීමයි. දේශපාලකයාගේ අනීතික විධානයන්ට එරෙහිව නීතිය මත රැඳී ඉන්නා පොලිස් නිලධාරියා ආරක්ෂා කිරීමට රටේ ආයතන මෙන්ම පුරවැසියාද ඉදිරිපත්වන තත්ත්වයක් නිර්මාණය කරගැනීම තීරණාත්මකය. මෙහිදී මාධ්‍යයටද කළ හැකි කාර්යය  විශාලය. සාමාන්‍යයෙන් පොලිසියට එරෙහිව එල්ල වන චෝදනාවලට පුවත් පත් ඇතුළු මාධ්‍ය මගින් ලැබෙන ප‍්‍රචාරය සැලකිය යුතු කරම් ඉහළ මට්ටමක පවතී. එහෙත් දහසක් බාධක මැද මේ පොලිසිය තුළම නීතිගරුකව රාජකාරි කරන පොලිස් නිලධාරීන් ගැන ඇගයෙන පුවත් වලට මාධ්‍ය තුළ ඉඩක් නොමැති තරම්ය. මෙය පොලිසියට පමණක් නොව ආණ්ඩුවේ රාජකාරි කරනා බොහෝ යහපත් නිලධාරීනට අදාළ දෙයකි. එහෙයින් අයහපතට වෙන් වන ඉඩ තරමටම යහපත වෙනුවෙන් කටයුතු කරනා නිලධාරීන් ඇගයීමටද සමත් යාන්ත‍්‍රණයක් අපට තිබිය යුතුය. අසීරුතා මැද සේවය කරනා අවංක නිලධාරීන් ආරක්ෂා කරන අතරම අනෙක් නිලධාරීන් අභිපේ‍්‍රරණය කිරීමටද හැකි වන්නේ එවිටය.


    මේ සමගම කළයුතු තවත් දෙයක් වන්නේ පොලීසියට මහජන සම්බන්ධතා පවත්වා ගැනීම පිළිබඳ විධිමත් පුහුණුවක් ලබා දීමට පියවර ගැනීමයි. ඔවුන් තුළ ආකල්පමය වෙනසක් සඳහා අවශ්‍ය වැඩ සටහන් නිර්මාණය කිරීම පොලිසියේ මානව සම්පත් කළමනාකරණය කරනා පාර්ශව වල වගකීමකි. මේ වන විට රටේ සෑම අමාත්‍යාංශයකම පාහේ මානව සම්පත් කළමනාකරණය සඳහා අංශ පැවතුණද ඉන් නොවන්නේද එයම යයි කිව හැකිය. විදේශ ශිෂ්‍යත්ව සඳහා නිලධාරීන් යොමු කිරීම වැනි දෑ හැරුණ විට මේ අංශ මානව සම්පත් සංවර්ධනයට ගන්නා ඵලදායී පියවර කවරේදැයි විමසා බැලිය යුතුය. පොලිසිය යනු පාලකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ක‍්‍රියාත්මක වන මර්දන යන්ත‍්‍රයක් නොව මහජන හිතසුව පිණිස වන ආයතනයක් බව සියල්ලටම පළමුව පොලිසියටම වටහා දීම ඉතා වැදගත්ය.    අනෙක් අතින් පොලිසිය යනු බිය විය යුතු තැනක් නොව සේවයට ඇති ආයතනයක් බව ජනතාව තුළ තහවුරුවක් ඇති කරන අතර එය යථාර්තයක් කිරීමද අවශ්‍යය. පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ දී, ප‍්‍රකාශයක් දීමේදී තමනට ඊට අත්සන් කිරීමට පෙර එය කියවා බැලීමට අයිතියක් ඇත්තේය යන තැන සිටම පොලිසියකින් රාජකාරියක් කරවා ගැනීමේදී තම අයිතීන් පිළිබඳවද දැනුවත් බව සමාජය තුළ ඇති කළ යුතුය. දැනුවත්භාවය යනු පොලිසිය දඩ බිමකින් සේවා ආයතනයක් බවට පත්කිරීමට අනිවාර්ය කොන්දේසියක් බව ජනතාව මෙන්ම පොලිසියද වටහා ගත් විට වෙනස ඇඹෙනු ඇත.



-නුවන් උයද වික‍්‍රමසිංහ



MOST VIEWED VIDEO STORIES

MORE >>