Back to Top

ව්‍යවස්ථාව එක්ක බොරු සංවාදයක් දාගත්තා

January 22, 2016  




ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩලය විසින් පසුගිය සතියේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට තීරණය කර තිබිණි. ඒ වසරක් ගතවූ පසුව ආණ්ඩුවේ වංචා දූෂණ පරීක්ෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහාය. ඊට පෙර පක්ෂ නායකයින් අතර මේ සම්බන්ධයෙන් කතාබහක් ඇති විය.

”මේ ආණ්ඩුවට නැවත නැවත ඔවුන්ට ලැබුණු ජනවරම ගැන මතක් කරලා දෙන්න වෙලා. බලය ගන්න පාවිච්චි කරපු ප‍්‍රධාන සටන් පාඨයත් ආණ්ඩුවට අමතක වෙලා. ජනාධිපතිවරණය වෙලාවෙයි මහ මැතිවරණය වෙලාවෙයි වේදිකාවල මහ ලොකුවට කෑ ගැහුව්වේ වංචා දූෂණ ගැන, අපරාධකාරයෝ, හොරු හිරේ දාන එක ගැන. ඒත් දැන් බලය ලැබුණට පස්සේ හැමදේම අමතක වෙලා” ටිල්වින් සිල්වා සාකච්ඡා ආරම්භයේදීම කියා සිටියා.

”පසුගිය නොවැම්බර් මාසයේ රාජපක්ෂ පවුලේ ළඟම කෙනෙක් අත්අඩංගුවට ගන්න තීරණය වෙලා තිබුණා. නමුත් ලොකු පුටුවම මැදිහත් වෙලා ඒක අයවැයෙන් පස්සට දැම්මා. ඊට පස්සේ පදවි ප‍්‍රාප්තිය සමරන නිසා අත්අඩංගුවට ගන්න එපා කිව්වා. ඊට පස්සේ අත්අඩංගුවට ගන්න හදන කොට ව්‍යවස්ථාව එක්ක බොරු සංවාදයක් දාගත්තා. දැන් වංචා දූෂණ හැම එකක්ම ව්‍යවස්ථාවෙන් යටගහලා. ඒකෙන් දැන් රාජපක්ෂ කල්ලියේ අපරාධකරයින් නිදැල්ලේ ඉන්නවා.” අනුර දිසානායක කියා සිටියේය.

”ඔව්, ජනාධිපතිතුමාගේ බලය රැකගන්න එතුමා සමහරු රැකගන්න හදනවා. රනිල් වික‍්‍රමසිංහ ශ‍්‍රීලනිපය දෙකඩ කරන්න බලාගෙන සමහරු ආරක්ෂා කරනවා. පාස්පෝට් ප‍්‍රශ්නෙදි විමල් වීරවංශ අත්අඩංගුවට ගන්න  ඕනෑ තරම් හේතු තිබුණත් රනිල් නීතිඥයින් යවලා විමල් නිදහස් කර ගන්නවා. එහෙමයි මේකේ ගනුදෙනු සිද්ද වෙන්නේ” ලාල්කාන්ත කීවේය.

”මේ ආණ්ඩුවේ ඩීල් තියෙන්නේ ආණ්ඩුවේ ඇතුළේ ඉන්න අයගේ පමණක් නෙවෙයි. පොදු විපක්ෂයේ කියලා ලොකුවට කයිවාරු ගහන අයත් ආණ්ඩුවත් එක්ක ඩීල් එකේ ඉන්නේ. අයවැය වෙලාවෙදි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ඡන්දේ දෙන්න පාර්ලිමේන්තුවට ආවේ නැහැ. විමල් වීරවංශ අඩුම ගාණේ අයවැය තුන්වෙනි වර ඡන්දයෙ විවාදයට හිටියේ නැතිව රට ගියා රනිල් හදලා දුන්න පාස්පෝට් එකෙන්” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

”රාජපක්ෂ පාලනය කාලේ බලය පාවිච්චි කරලා හොරකම් කළා. දැන් රනිල් මෛත‍්‍රී බලය රැක ගන්න බලය පාවිච්චි කරලා අපරාධකාරයින් ආරක්ෂා කරනවා. ජනතාවගේ බලාපොරොත්තු, අපේක්ෂා ගැන දැන් ආණ්ඩුවට ගාණක් නැහැ” බිමල් රත්නායක කියා සිටියේය.

”මේ වෙනකොට විවිධ වංචා දූෂණ සම්බන්ධයෙන් ෆයිල් එකසිය අනූ ගණනක් සම්බන්ධයෙන් පරීක්ෂණ යනවා. ෆයිල් 30ක වාර්තා නීතිපතිට යවලා තියෙන්නේ. ඒත් අපරාධකාරයින්ට එරෙහිව නඩු දාන්නේ නැහැ. මේ පරීක්ෂණ කරන ආයතනවල ප‍්‍රශ්නයක් නෙවෙයි. ආණ්ඩුවේ මැදිහත්වීමේ ප‍්‍රශ්නයක්.” අනුර දිසානායක කීවේය.

”ඡන්දෙන් පස්සේ ජනතාව බලාගෙන හිටියා හොරු දෙන්නෙක් තුන්දෙනෙක් හිරේ දායි කියලා. හොරු අල්ලන්න ආපු අයයි හොරු ටිකයි එකතු වෙලා ආණ්ඩුව හැදුවට පස්සේ කවුද හිරේ දාන්නේ. හොරුන්ට නඩුදාලා චෝදනා පත‍්‍ර දෙන්න  ඕන වෙලාවේ මෛත‍්‍රී රනිල් එකතු වෙලා හොරු ටික ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවලා ඇමතිකම් දුන්නා. ඒ නිසා මේ ආණ්ඩුවෙන් වංචා දූෂණ ගැන පරීක්ෂණ බලාපොරොත්තු වෙන එක නිෂ්ඵල දෙයක්. මේ ගැන අපි ජනතාව දැනුවත් කරලා ආණ්ඩුවට එරෙහිව කි‍්‍රයාමාර්ගයත් ගත යුතුයි” ටිල්වින් සිල්වා යෝජනා කළේය.




MOST VIEWED VIDEO STORIES

MORE >>