එජාප මන්ත්‍රී කණ්ඩායමෙන් කබීර්ට ලිපියක්
January 22, 2016
මේ වනවිට ඌව පළාත් සභාවේ අර්බුදයක් මතුවී තිබේ. එහි බලය තිබෙන්නේ සන්ධානයටය. මෑතකදී එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ නායක ධුරය දැරූ උපාලි සමරවීර මන්ත්‍රීවරයා පළාත් සභාවේ ඇමති ධුරයක් ලබාගත්තේය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පළාතේ ආණ්ඩුවට සම්බන්ධ වී ඇති බව ජවිපෙ කියයි. ”විපක්ෂ නායකවරයා පළාත් සභාවේ ඇමති ධුර පහෙන් එකක් ගත්තා. ඔහු කියලා නැහැ එජාපයෙන් ඉවත් වුණා කියලා. ඒ කියන්නේ එජාප-එජනිස හවුල් ආණ්ඩුවක් තමයි දැන් ඌවේ තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ඒ විදියට සිදුවුණාම විපක්ෂ නායක ධුරය ටීඑන්ඒ එකට ගියා. ඒ අනුව ඌව විපක්ෂ නායක ධුරය ජවිපෙට ලැබෙන්න ඕනෑ.” පසුගිය පළාත් සභා වාරයේදී සමන්ත විද්‍යාරත්න සිය අයිතිය ඉල්ලමින් කතා කළේය.
”එහෙම වෙන්න බැහැ. මහ ඇමතිතුමාගේ තීරණය තමයි අවසන් තීරණය” කියමින් පැවැත්වීමට තිබූ ඡන්දය ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු මැදිහත්වී අවලංගු කළෝය.
”සමන්ත විපක්ෂ නායක ධුරයට ආවොත් අපිට වැඩක් කරගන්න වෙන එකක් නැහැ. හැම දෙයක් ගැනම හොයලා බලන නිසා ලේසියෙන් අපිට ඕන වැඩක් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා සමන්තට විපක්ෂ නායක ධුරය දුන්නොත් අපිට ඇණයක් වෙනවා” එජනිස පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කතාබහ වී තිබේ. එනමුත් ශ්‍රීලනිපයේම පිරිසක් සමන්ත විද්‍යාරත්නට විපක්ෂ නායක ධුරය ලබාදීමට කැමැත්ත පළකර තිබේ.
”එජාපයත් අපිත් එක්ක හවුල් කියලා අපි පිළිගත්තොත් අපිට අවාසියි. අපිට ලැබෙන ප්‍රතිපාදන ටිකත් යූඑන්පීකාරයන් අතරේ බෙදිලා යනවා. ඒකෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ” සමන්තට විරුද්ධ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ විරෝධයට හේතුව ඔවුන් අතර සාකච්ඡා වෙමින් තිබේ. මේ අතර එජාප මන්ත්‍රී කණ්ඩායම කබීර් හෂීම් ලේකම්වරයාට ලියුමක් මගින් දැනුම්දී ඇත්තේ එජාපයේ මන්ත්‍රීවරයෙක් විපක්ෂ නායක ධුරයට නම් කරන ලෙසය. මීළඟ සභාවාරය ලබන 28වෙනිදා පැවැත්වීමට නියමිතය.