ඌව විපක්ෂනායක පුටුව සමන්තට ඉල්ලයි
December 18, 2015
ඌව පළාත් සභාවේ විපක්ෂ නායකව සිටි එජාපයේ උපාලි සමරවීර පළාත් සභාවේ කෘෂිකර්ම ඇමති ලෙස දිවුරුම් දීමත් සමග විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් පැනනැගී තිබේ. පළාත් සභාවේ මෙතෙක් බලය හොබමින් සිටියේ ශ්‍රීලනිපයයි. පාර්ලිමේන්තුවේ ගොඩනැගුණු හවුල් ආණ්ඩුව අනුව යමින් පළාත් සභාවේද ශ්‍රීලනිප - එජාප හවුල් ආණ්ඩුවක් බිහිවී ඇත.
හිටපු විපක්ෂ නායකයාට කෘෂිකර්ම ඇමති ධුරය හිමි වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව පළාත් සභාවේ විපක්ෂ නායක ධුරයට හිමිකම ඇත්තේ විපක්ෂයේ අසුන් ගන්නා ජවිපෙටය. පසුගිය 14වැනිදා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පළාත් සභාවේ සභාපතිට ලිපියක් යොමු කරන්නේ මේ තත්ත්වය පැහැදිලි කරමිනුයි.
සභාපතිවරයා එම ලිපිය සභාවේ කියවීමත් සමඟ පළාත් සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම 14වැනි දින සවස රැස්වුණේ මේ පිළිබඳ හදිසි සාකච්ඡාවකටය. එහිදී මන්ත්‍රීවරු පිරිසක් අදහස් දැක්වූයේ පවතින තත්ත්වය අනුව ජවිපෙට එම ධුරය හිමිවිය යුතු බවටය. එහෙත් වැඩි පිරිසක් කියා සිටියේ එම ධුරය එජාපයට දිය යුතු බවය. ඔවුහු එයට අපූරු හේතු දෙකක් ඉදිරිපත් කළහ.
පළමුවැන්න ජවිපෙට විපක්ෂ නායකකම දීම තමන්ට පාඩු වීමය. සමන්තට එය ලැබුණහොත් ඔහු එය හොඳටම කරනු ඇති බවටත් තමන්ගේ සායම යනු ඇති බවටත් ඔවුහු බිය පළ කළහ. දෙවැන්න එජාපය මුළුමනින්ම ආණ්ඩුවට ගතහොත් තමන්ගේ වරප්‍රසාද ඔවුන් සමග බෙදා ගැනීමට සිදුවීමය. එජාප මන්ත්‍රීවරුන්ට විශේෂ ව්‍යාපෘති සඳහා මුදල් දීමට සිදුවන බවටත් තමන්ට ග්‍රාමීය වශයෙන් වැඩ කිරීමට අවස්ථාව අඩුවී බෙදාගැනීමට සිදුවන බවටත් ඔවුන් අදහස් දැක්වූහ.