Back to Top

ආයෙමත් වේදිකාවට හැරෙමුද?

November 4, 2015  


ලංකාවේ නාට්‍ය කලාවෙහි වැදගත්ම කාල පරිචඡේදයක් වූයේ නවසිය අසූවේ දශකයයි. ඊට පෙර පැවති ස්වර්ණමය යුගයන් සියල්ල අවසානයට එළඹුනේ අසූව දශකයේ අග භාගයේ සිදුවූ මහා විනාශයද සමගිනි. එය ලංකාවේ බොහෝ ජීවිතවල ඛේදය සනිටුහන් කළා පමණක් නොව කලා හා සාහිත්‍ය ක්ෂේත‍්‍රයන්ටද මහා නියඟ සමයක් උදා කළේය. එය කවිය,සිනමාව, වේදිකාව ඇතුළු සියළු කලා මාධ්‍යයන් වියළා දැමීය. ඇතැම් කලාකරුවන් ක්ෂේත‍්‍රයෙන් පමණක් නොව රටින්ද පිටුවහල් කරදැමූ එය තවත් සමහරුන් නිහඬ කර දැමීය. කෙසේ වෙතත් එම අවධියේ පැවති තත්ත්වය හමුවේ පසුගිය කාලයේ තරමටම කලා සාහිත්‍යකරුවන් දීන හෝ නරුම තත්ත්වයන්ට ඇද වැටුණේ නැත. ඒ වෙනුවට එදා බොහෝ කලාකරුවන් තෝරා ගත්තේ නිර්මාණාත්මක ප‍්‍රතිප‍්‍රහාර ක‍්‍රමවේදයයි.


අද පවා අපට ධර්මසිර් බණ්ඩාරනායක, හඳගම, ප‍්‍රසන්න, සුගතපාලද සිල්වා, මනෝරත්න ඇතුළු බොහෝ කලාකරුවන් දෙස ප‍්‍රසාද සිතින් බැලිය හැක්කේ එදා ඔවුන් විසින් දක්වන ලද අදීනත්වයේ සලකුණ හේතුවෙනි. එපමණක් නොව පසු කාලීනව විශේෂයෙන් මහින්ද චින්තන කුණාටුව හමුවේ ඇඳිවත ගසාගෙන ගිය තවත් බොහෝ කලාකරුවන්ටද අසූව දශකයේ දායකත්වය වෙනුවෙන් අපේ ප‍්‍රණාමය හිමිවිය යුතුය. ජයන්ක චන්ද්‍රසිරි, ජැක්සන් ඇන්තනී වැන්නවුන් ගේ අතීතයට අප අදටත් ගරු කරන්නේ එදා ඔවුන් විසින් දක්වන ලද නිර්මාණාත්මක දායකත්වය ඒ යුගයේ සමාජ අරගලයට පන්නරය සැපයූ බැවිනි. පසු කාලීනව කුස පබා වැනි කෘති කරා පල්ලම් බැස්සද සුනිල් නන්දා දෙපළගේ දායකත්වයද එපරිදිම අමතක කළ නොහැකිය.


    අනූව දශකය ලංකාවේ බොහෝ ක්ෂේත‍්‍ර නිහඬ කර දැමූ අවදියයි. සිනමාව ඇදවැටෙද්දී පුවත්පත්වල කවි පිටු හැකිළී ගියේය. වේදිකාව පාළුවී යද්දී රටම රණකාමයේ සුරතාන්ත මොහොත පමා කර උපරිම වින්දනය ඉල්ලා සිටියේය. වාමාංශිකයන් දක්ෂිණාංශිකයන්ගේ සුරතළුන් බවට පත් වෙද්දී අධිරාජ්‍ය විරෝධය අපේ කට ගැස්ම බවට පත් වූවේය. රණසිංහ පේ‍්‍රමදාසගේ කෲර පාලනය ගැන දෙස් තියමින් සිටි ජනතාවක්ම තමන්ගේ පමණක් නොව අනාගත පරම්පරාවලද අනාගතය ගසා කෑමට නියමිත රජෙක් සිහසුන හිඳවීමේ ප‍්‍රයත්නයෙහි දැන හා නොදැන නිරතව සිටියෝය. රජ ගෙදරින් එන අණින් එතෙක් ප‍්‍රචාරය වෙමින් පැවති ගීත පවා නතර වන (මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු ගීතයට අත්වූ ඉරණම සිහිපත් කරන්න) බියකරු තත්ත්වයක නිර්මාණකරුවන් බොහොමයකට නිහඬවීමට බල කෙරෙද්දී තවත් පිරිසක් ස්වේච්ඡාවෙන්ම තම භාවිතාව අත හැර මුදල් උපයන්නන් බවට රූපාන්තරණය වූවෝය. ඉන් පසුව අපට බොහෝ නිර්මාණකරුවන් වෙනුවට හමුවන්නට ගත්තේ ඉවෙන්ට්  ඕර්ගනයිසර්ලා අහිනකි. යුද්ධයේ අවසානය ලංකාවේ උන්මත්තකයන්ට හා අන්තවාදීන්ට වේදිකාව විවර කර දුන්නේය. පසුගිය ජනවාරි අටවැනිදා දක්වා අප ගෙවූයේ ඒ භීම සමයයි.


    සියල්ල නියම ආකාරයට සිදු නොවූවද අද වන විට අප ඉන්නේ අඩුම තරමින් එදා වැටී සිටි වළෙන් ගොඩ ඒමට පාරක් තැනීමේ ප‍්‍රයත්නයකය. දිගු  කලක් පාගා ගෙන සිටි ඔබ නැතුව ඔබ එක්ක සිනමා කෘතිය සිනමා හල්වෙත මුදා හැරෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. එසේම මේ මගේ සඳයි නිර්මාණය කිරීමේ වරදට හිස්ගැසුම් දඬුවම ඉල්ලා සිටි හමුදා විචාරකයන්ගේ හඬ යටපත්ව යළිත් නිර්මාණ වෙත විචාරය කැඳවා  ඒමට හැකිව තිබෙන්නේද මේ වෙනසේම ප‍්‍රතිඵලයක් ලෙසට බව අප අමතක නොකළ යුතුය.


    ලංකාවේ වේදිකාව යළිත් පණ ලබමින් ඉන්නා බව අප දකින්නේ මේ සියළු වෙනස්කම් මැද ඇතිවන සුභවාදී ප‍්‍රවණතාවක් ලෙසිනි. මේ වන විට වේදිකා නාට්‍ය බිහිවෙන , ප‍්‍රදර්ශණය කෙරෙන අවස්ථා ගණන වැඩි වෙමින් පවතින බව පැහැදිලි සත්‍යයකි. ඒ සියල්ලම උසස් ගණයේ නිර්මාණ යයි කිව නොහැකි වුවද දැන් අඩු ගණනේ නව නාට්‍යකරුවන්ට වැඩ කිරීම සඳහා වැඩබිම විවෘතය. අසූව දශකයේද හරවත් නාට්‍ය බිහිවන අතරේ සාජන්ට් නල්ලතම්බි වැනි සරල ප‍්‍රහසන ඉදිරියට ආ බව අපට මතකය. එහෙත් ඒ හා අභියෝගයට එදා තිබූ අනෙක් නාට්‍යවල ප‍්‍රබලත්වය හමුවේ වේදිකාව ජය ගැනීමට අනෙක් නිර්මාණකරුවන්ට හැකිවූ බව ද අපට මතකය. ධවල භීෂණ, අත්, මාඝාත, ද්විත්ව,ගුරුතරුව වැනි බොහෝ නාට්‍ය කරා විශාල පේ‍්‍රක්ෂක පිරිසක් ඇදී ආවේ ඒ නිර්මාණකරුවන් මේ අභියෝගයට මුහුණ දුන් සාර්ථක ආකාරය මෙන්ම රටේ ජනයා ගේ දේශපාලන සවිඥාණකත්වයද හේතුවෙනි.


    අතීත ස්වර්ණමය යුගය යළි උදා වීමට කලක් ගත විය හැකි වුවද අප යළිත් අඳුරින් එළියට  පය තැබීමේ සූදානමක් පල කරන බව වේදිකාව දෙස අද දවසේ බලන විට පෙනීයයි. පසුගිය කාලය තුළ වේදිකාගත කරන ලද ඇතැම් නාට්‍ය අපට සපයන්නේ මේ ඉඟියයි. එසේ අප අවධානය යොමුවිය යුතු එක් වේදිකා නාට්‍යයක් වන්නේ අසංක සායක්කාර විසින් වේදිකා ගත කරන ලද ´සංඝදාසගේ චූටි කලිසම´ නම් නාට්‍යයයි. එය මූලික වශයෙන්ම ප‍්‍රහසනයකි. නාට්‍යයට ඇත්තේද සීමිත චරිත සංඛ්‍යාවකි. ඉනුත් ප‍්‍රධාන වන්නේ වෛද්‍ය පරීක්ෂණය සඳහා පැමිණෙන රෝගියා සහ හෙදියයි. සමස්ත නාට්‍යයම පාහේ ඇදී යන්නේ මේ දෙදෙනාගේ දෙබස් මතිනි. කෙනකුට එය එක්වරම දරුවන් නැති ගැමියකු  වඳභාවය තමාගේ නොව බිරිඳගේ යයි පෙන්වා ඇඟ බේරා ගැනීමට දරනා ප‍්‍රයත්නය හාස්‍යයට ලක් කරනා සරල විහිළු කතන්දරයක් සේ පෙනී යා හැකිය . එහෙත් ඒ නාට්‍යය ඊට වැඩි ගැඹුරක් ඇති කලාපයක් ප‍්‍රහසනයක ස්වරූපයෙන් ඉදිරිපත් කරයි. එහි කතා කරනා එක් මාතෘකාවක් වන්නේ රටේ සෞඛ්‍ය පද්ධතියේ ඇති වියවුලයි. රජයේ රෝහලකට යාමට සිදුවන සාමාන්‍ය පුරවැසියකුට අත්විඳින්නට ලැබෙන විවිධ ගැටළු මෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ පවතින ගැටළුද නාට්‍යකරුවා හෙදිය සහ රෝගියා අතර දෙබස් හරහා මතු කර දක්වයි. එය එක් අතකින් පුද්ගල ඛේදවාචකයද එය ඉක්මවු සමාජ ඛේදවාචකයද මතු කර දක්වන අවස්ථාවකි. වඳභාවය යන පැණය හමුවේ පිරිමින් සිතන ආකාරය මෙන්ම එය කාන්තාවගේ ඇසින් දකින ආකාරයද පොදු සමාජය එවන් ගැටළුවක් දෙස බලන ආකාරයද මෙයින් නාටකීය ආකාරයට ඉදිරිපත් කෙරෙන්නේ පේ‍්‍රක්ෂකයා තුළ හාස්‍යය දනවන අයුරිනි. මේ නාට්‍යයේ ඇති එක ගැටළුවක් වන්නේ රෝහලට එන ගැමියාගේ චරිතය හාස්‍යය අතරින් ප‍්‍රබල සංවේදනා දනවන චරිතයක් ලෙස ගොඩනැංවීම සම්බන්ධයෙන් දක්වන තරමක දුර්වලතාවයයි. එ කෙසේ වෙතත් මෙය වර්තමානයේ පේ‍්‍රක්ෂකයන් අතර සාකච්ඡාවට බඳුන්විය යුතු නාට්‍යයක් බව සටහන් කළ යුතුය.


    මෙලෙසින්ම අපේ අවධානයට ලක් විය යුතු අනෙක් නාට්‍යය වන්නේ විජේනායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ධෛර්ය මාතා නම් නාට්‍යයයි. මෙය බ්‍රෙෂ්ට් ගේ ´මදර් කරේජ ඇන්ඞ් හර් චිල්ඞ්රන්´ නාට්‍යය යළි වේදිකාගත කිරීමකි. මීට පෙර පාසල් නාට්‍යයක් ලෙස ඔහු විසින්ම වේදිකා ගත කරන ලද ධෛර්ය මාතා මෙවර ඔහු ප‍්‍රසිද්ධ වේදිකාවට ගෙන එයි. ඒ නව නිෂ්පාදනයක් විලසින් නව රංගධරයන් කිහිප දෙනකුගේද සහභාගීත්වයෙනි. එසේම පිටපතද සුළු සුළු සංශෝධනයන්ට ලක් කර තිබේ. මෙහිදී වඩා ම වැදගත් වන්නේ අධ්‍යක්ෂකවරයාගේ තේරීමයි. යුද්ධය ආශ්වාදයක් කරගෙන කිරිබත් පිසූ සමාජයකට ධෛර්ය මාතා වැනි නාට්‍යයක් ගෙන ඒම යනු අන්තරායදායක ක‍්‍රියාවකි. එහි අප අපේක්ෂා කරන වීරයා නැත. එසේම එය ශුද්ධවන්තයන්ගේ නිරූපණයක්ද නොවේ. ධෛර්ය මාතා යන නමම අතිශය උත්ප‍්‍රාසජනකය. ජර්මානු හමුදා පෝලන්තය ආක‍්‍රමණය කිරීමත් සමග නාසිවාදයට එරෙහි වෙමින් බ්‍රෙෂ්ට් විසින් 1939 දී රචනා කරන ලද මේ නාට්‍යය වසර දොළහක කාලයක් පුරා දිවෙන්නකි. එසේම එහි පෙළද ඉතා ගැඹුරුය.


එය පේ‍්‍රක්ෂකයා තුළ හාස්‍යය උපදවන්නක් නොවේ . ඒ වෙනුවට නාට්‍ය ඉල්ලා සිටින්නේ පේ‍්‍රක්ෂකයාගේ සාවධානී බවයි. එහෙයින් එය සරල ප‍්‍රහසනයක් නැරමීමේ අරමුණින් යන පේ‍්‍රක්ෂකයකු ගේ අපේක්ෂා භංග කර දමයි. එහෙත් මේ අප යළි කතාබහට මාතෘකා කර ගත යුතු නාට්‍යයකි. එය යුදවන් සමාජයක ජයග‍්‍රාහී මානසිකත්වයට රිදවා මනුෂයත්වය දෙස බලන්නට පෙළඹවීම් සිදු කරයි.  පුරා පැය දෙකහමාරකට ආසන්න කාලයක් නාට්‍යය සමග රැුඳී සිටීම යනු බරපතල කටයුත්තක් බව පේ‍්‍රක්ෂකයාට ඒත්තු ගැන්වීම අසීරු යුගයක පේ‍්‍රක්ෂකාගාරයේ අවදානම දරමින් බ්‍රෙෂ්ට් ගේ මේ නාට්‍යය යළි වේදිකාගත කිරීම අප අගේ කළ යුතුය.


    මේ නාට්‍යය ඇතැම් විචාරකයන්ට අනුව බ්‍රෙෂ්ට් ගේ අග‍්‍ර කෘතිය වෙයි. එහි සත්‍යාසත්‍යතාව කවරක් වුව හෙන්රි ජයසේනගේ හුණුවටය නිෂ්පාදනය නැරඹූ අයකුට බ්‍රෙෂ්ට් නම් නිර්මාණකරුවා ගැන ගැඹුරින් කියවීමට මේ නාට්‍යය සපයන්නේ මහඟු පිටුවහලකි. රංගනයේ යෙදෙන පිරිසෙන් වැඩි කොටසක් වේදිකාවට නවකයන් වුවද ඔවුන් සිය දායකත්වය උපරිම අයුරින් සපයන අතරම අධ්‍යක්ෂකවරයාද තම ශිල්පීන් මනාව මෙහෙයවීමට සමත්ව තිබේ.


    වර්තමානයේ වේදිකාව යළි සක‍්‍රීය වීමත් සමග එය වඩා හරවත් දිශාවකට යොමු කර ගැනීම සඳහා නිර්මාණකරුවන්, රංග ශීල්පීන් පේ‍්‍රක්ෂකයන් මෙන්ම විචාරකයන්ද හැකි උපරිම අයුරින් මැදිහත්වීම අත්‍යවශ්‍ය කටයුත්තකි. විශේෂයෙන්ම රැල්ලෙන් මිදුන නාට්‍ය නිපදවෙන විට ඒ පවත්වාගැනීම යනුම සමාජ කාර්යයකි. අප සැවොම එක්විය යුතු එක් කාර්යයක් එයයි. පසුගිය කාලය පුරා පැවති සාහිත කලා නියඟයෙන් පසු උදාවන වස්සානය රැක ගැනීමට අප උත්සුක නොවන්නේ නම් යළි අප අපේක්ෂා කළ යුත්තේ නියං සායකි. කෙසේ හෝ අප වළක්වාගත යුතු අනතුර එයයි.



-නුවන් උදය වික‍්‍රමසිංහ


MOST VIEWED VIDEO STORIES

MORE >>