මේ ආණ්ඩුවත් ඇවන්ගාඩ් එකට උදව් කරනවා
October 16, 2015
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් ඇවන්ගාඩ් ගනුදෙනුව පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශයක් කළේ පසුගිය සැප්තැම්බර් 22වෙනිදාය. එහිදී 23/2 ස්ථාවර නියෝග යටතේ විශේෂ හෙළිදරව්වක්ද කරමින් අනුර දිසානායක වර්තමාන ආණ්ඩුවෙන් ප්රශ්න කිහිපයකද විමසුවේය. නමුත් මේ වනතෙක් ආණ්ඩුව එම ප්රකාශයට පිළිතුරු ලබාදීමක් සිදුකළේ නැත. දිනෙන් දින ප්රශ්නය මගහරිමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. මේ අතර මෙම කතාබහ නැවත වටයකින් අලූත් වූයේ ඇවන්ගාඩ් ආයතනය සතු ආයුධ නැවක් අත්අඩංගුවට පත්වීමත් සමගිනි.
මේ පිළිබඳව ජවිපෙ නාකයින් අතර සාකච්ඡාවට බඳුන් විය. ”මේ තරම් ආන්දෝලනයක් මතුවෙලා තියෙද්දිත් ආයුධ නැව් එන එක විශාල ප්රශ්නයක්. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ඒ නැව නිදහස් කරන්න කියලා ලියුම් යවන එක ඊටත් වඩා බරපතළයි.” අනුර දිසානායක කීවේය.
”මේ ගැන අපි පාර්ලිමේන්තුවේ අහපු ප්රශ්නෙට උත්තරයක් දෙන්න අගමැතිට තවම බැරිවුණා. විපක්ෂ නායක වෙලා ඉන්නකොට රනිල් වික්රමසිංහ ඇවන්ගාඩ් ගැන කියපු කතා ආපහු මතක් කරලා දෙන්න ඕනෑ. මේ ආණ්ඩුවත් ඇවන්ගාඩ් එකට උදව් කරනවා. ඒක ගැන සැකයක් නැහැ” විජිත හේරත් කීවේය.
”නීතිය කි්රයාත්මක වෙනවා කිව්වට ඒවා ගැන රටේ ජනතාවට විශ්වාසයක් නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව චූදිතයින් පස්දෙනෙක්ට නඩු දාන්න පුළුවන් කියලා කිව්වා. ඒත් දැන් ඒවා ගැන කතාවක් නැහැ. ඇවන්ගාඩ් සල්ලි බලයෙන් දැන් ආණ්ඩුව යටකරගෙන ඉන්නේ. ආණ්ඩුවට පිටින් තවත් ආණ්ඩුවක්ද කියලා හිතෙනවා” සුනිල් හඳුන්නෙත්ති කීවේය.
”මේ ප්රශ්නය යටගහන්න දෙන්න බැහැ. ආණ්ඩුවෙන් මේ ගැන ප්රකාශයක් පාර්ලිමේන්තුවේදී ලබාගත යුතුයි” අනුර දිසානායක කීවේය.