Back to Top

විනාශය ගැන ඇඟ කිළිපොලා යන වීඩියෝවක් පෙන්නුවා

October 16, 2015  




ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් උතුරේ ධීවරයින් මුහුණදී සිටින ගැටලූ පිළිබඳව පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් යෝජනා කළේ පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදීය. එම යෝජනාව පිළිබඳව විවාදය පැවැති දිනයේ විවාදය නැරඹීමට පාර්ලිමේන්තුවට එන ලෙස විජිත හේරත් යාපනය, කිලිනොච්චි, මුලතිව් ධීවර සමිති නියෝජිතයින්ට ආරාධනයක් කළේය. විවාදයට පෙර විජිත හේරත් ඔවුන් සමග සාකච්ඡාවක නිරත විය.

”අපි මීට කලින් ජනාධිපතිතුමත් හමුවුණා. ඒ වෙලාවේ නාවික හමුදාව ඉන්දීය ධීවරයින් කරන විනාශය ගැන ඇඟ කිළිපොලා යන වීඩියෝවක් පෙන්නුවා. ජනාධිපතිතුමා ඒ වෙලාවේම ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට අරගෙන නීතිමය පියවර ගන්න කිව්වා නමුත් වෙච්ච දෙයක් නැහැ” එක් ධීවර සමිති නායකයෙක් කියා සිටියේය.


”ආණ්ඩුව කිව්වේ යුද්දයෙන් පස්සේ අපේ ධීවරයින්ට වැඩි ආදායමක් ලැබෙයි කියලා. ඒත් දැන් වෙලා තියෙන්නේ අනෙක් පැත්ත. ඉන්දියාවේ ධීවරයින් ලොකු බෝට්ටුවලින් ඇවිත් අපේ පොඩි බෝට්ටු ටික විනාශ කරලා යනවා. අපිට දැන් මුහුදු යන්න නෙවෙයි වෙලා තියෙන්නේ බෝට්ටුවලට වන්දි ඉල්ලලා උද්ඝෝෂණ කරන්න” තවත් ධීවර සමිති නායකයෙක් කීවේය.


”ජයලලිතා ඉන්දියාවේ ධීවරයින් ගැන කියලා ඉන්දියාවේ අගමැතිට ලියුම් 16ක් විතර ලියලා තිබෙනවා. ඒත් උතුරේ මහ ඇමතිතුමා මේ වෙනකල් අපේ ප‍්‍රශ්නය ගැන ජනාධිපතිට එක ලියුමක්වත් ලියලා නැහැ” තවත් ධීවරයෙක් ඉතාම කනගාටුවෙන් අදහස් පළකළේය.


ඉන්පසුව විජිත හේරත් පාර්ලිමේන්තු විවාදයට සහභාගි වූ අතර ධීවර නියෝජිතයෝ විවාදය නැරඹූහ. ජවිපෙ මන්ත‍්‍රී නිහාල් ගලප්පත්තිද විවාදයට එක්විය. විවාදයෙන් පසුව විජිත හේරත් වටකරගත් ධීවර පිරිස විජිතටත් ජනතා විමුක්ති පෙරමුණටත් ස්තූති කළහ. එහෙත් පාර්ලිමේන්තුවේ කටයුතු ගැන ඔවුන් අදහස් පළ කළේ කළකිරීමෙනි.


 ”මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවේ වැඩ දැක්කාම නම් කලකිරෙනවා. අඩුම තරමේ විෂය භාර ඇමතිවරයාවත් විවාදයේදී අපි දැක්කේ නැහැ. මේ විදියට සිදුවෙන එක ගැන කලකිරීමක් තමයි තියෙන්නේ” ධීවර සමිති නායකයෙක් කීවේය.


”ඔව් මේක ධීවරයින්ගේ ප‍්‍රශ්නයක් විතරක් නෙවෙයි. රටේ ජාතික ආරක්ෂාව ගැන ප‍්‍රශ්නයක්. විදේශ කටයුතු පිළිබඳව ප‍්‍රශ්නයක්. මේ ඇමතිවරුන්වත් මේ ගැන පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් නොකිරීම ගැන හරිම කනගාටුයි. අපි හිතුවා පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණාම පිළිතුරක් ලැබෙයි කියලා. එහෙම නොවෙන බවක් තමයි අපිට පේන්නේ. ඒ වුණාට ජවිපෙ නිසා අපේ ප‍්‍රශ්නය පාර්ලිමේන්තුවට ආපු එක ගැන සතුටුයි” ධීවර සමිති නායකයෙක් කනගාටුවෙන් කතා කළේය.


MOST VIEWED VIDEO STORIES

MORE >>