Back to Top

මිතුරු මාධ්‍යවේදියාගේ මරණයෙන් ඔබ්බට..

September 9, 2015  

මිතුරු මාධ්‍යවේදියාගේ මරණයෙන් ඔබ්බට..


ජනතාවට තොරතුරු ලබාදීමේ සිය වගකීම ඉටුකිරීමට ගිය අප හිතවත් මාධ්‍යවේදී ප‍්‍රියන්ත රත්නායක මහතා වන අලියෙකුගේ ප‍්‍රහාරයකට ලක්ව මියගිය පුවත රටේ සමස්ත මාධ්‍යවේදීන්ගේම මොහොතකට හදවත නතර වූවාසේ විය. ඒ පෙරේදා පෙරවරු 7 පසුවී විනාඩි කිහිපයක් ගතවෙද්දී සමස්ත මාධ්‍ය සහෘදයන්ගේ ජංගම දුරකථනයට ආ කෙටි පණිවිඩයෙනි.


මැදිරිගිරිය ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ගණනාවකට තම ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රශ්න ගැටළු පමණක් නොව ජනතාව දැනගතයුතු දෑ ප‍්‍රවෘත්තිමය වටිනාකමකින් යුක්තව වාර්තා කිරීමේ නියැළී සිටි අප හිතවතා මෙවැනි අකල් මරණයකට පත්වනවා යැයි කිසිදාක නොසිතන්නට ඇත. එහෙත් ප‍්‍රාදේශීයව තනිව පුවත් ගවේෂණය කරන අප මාධ්‍ය සඟයන්ගේ ඉරණම මෙසේ විසඳීම පිළිබඳව අපට ඇත්තේ දුකක් වේදනාවක් පමණි.

අප මාධ්‍ය හිතවතාගේ මරණය පිළිබඳව ජනතාව විවිධ කතා කියනු අපව ඇසුණි. ඒ මාධ්‍යවේදියා කුමක් නියා අලියා අසළට ළං වුණේද? මොනවටද එයා එතෙන්ට ගියේ? වනජීවි එක නැතිව එහෙමත් යනවද? මහ මෝඩ වැඩක් කළේ ? ජනතාවගේ පැත්තෙන් ඒ සිතුම් පැතුම් සාධාරණ විය හැක. එහෙත් ගේ මැද සාලයට පැමිණ රූපවාහිනියේ ප‍්‍රවෘත්ති විකාශනය බලද්දී එම තොරතුරු රූප කෙසේ එන්නේ ද ජනතාව නොසිතයි.  මේ මොහොතේ ප‍්‍රියන්ත මෙවැනි ප‍්‍රහාරයකට ලක් නොවී වන අලියෙකු ගම්වැදී සිදුකරන විනාශය පටිගත කොට රූප පෙට්ටියෙන් සාලයට ඉඳගෙන බලන්නට ඉඩ සැලැස්සුවේ නම් බොහෝ අය කියන්නේ හොඳ ප‍්‍රවෘත්තියක් මෙන්ම එය හොඳට රූප ගතකර තිබෙන බවය. එමෙන්ම බලධාරීන්ගේ ද අවධානය යොමුකළ යුතු බවය.


වනජීවී නිළධාරීන් පිළිබඳව අලින් සමඟ ප‍්‍රවෘත්ති කරන අප මාධ්‍ය සඟයෝ හොඳාකාරවම දනිති. ඒ නිසාම වන අලින්ගෙන් බැට කන අහිංසක මිනිසුන් වනජීවියට පෙර වන අලි ප‍්‍රශ්න පිළිබඳව දැනුම් දෙන්නේ අප මාධ්‍ය සඟයන්ට වීම බොහෝ දෙනා දනිති. එහෙත් අප මාධ්‍ය හිතවතෙකුව වන අලියෙකුගෙන් පමණක් නොව වෙනත් කරදරයක් වූ විටත් ජනතාවගේ පැත්තෙන් සිදුවිය යුතු වගකීම ඉටුවූවාදැයි අපට ඇත්තේ ප‍්‍රශ්නයක් පමණි. බදුල්ලේ දී, ගාල්ලේදී, අනුරාධපුරේදී, ගල්ගමුවේදී, දඹුල්ලේ දී, පොළොන්නරුවේදී පමණක් නොව දිවයිනේ විවිධ ප‍්‍රදේශයන් වලදී තොරතුරු වාර්තා කිරීමට ගිය අප මාධ්‍ය සඟයන්ට සිදුවූ පහරදීම්, බැන තර්ජනය කිරීම් ආදී සිද්ධීන්වලට අප අපට පමණක් මුහුණදීමට සිදුවිය.


මැදිරිගිරිය අප හිතවත් මාධ්‍යවේදියා වූ ප‍්‍රියන්ත රත්නායක මහතාට එල්ල වූ වන අලි ප‍්‍රහාරයෙන් අපට බොහෝ පාඩම් කියාපායි. රත්නායක වාර්තාකරුවෙකු පමණක් නොව සමාජ සේවකයෙකි. දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙකු වූ ඔහුට ස්ථිර නිවසක් ද අහිමිය. ආදරණීය බිරිඳට රැකියාවක් නැත. කුඩා පොත් සාප්පුවක් මෙම පවුලේ ආර්ථිකය යම් මට්ටමකින් හෝ සරිකරගත් අතර ප‍්‍රවෘත්තියක් වාර්තාකිරීමෙන් ලැබුණු මුදල ද ඊට දායක විය. ප‍්‍රියන්ත මියගිය පුවත දැනගත් මොහොතේම මා ඔහුගේ නිවසට ගියෙමි. බිරිඳ හඩා වැටෙන්නීය. දරුවන් තිදෙනා සිදුවූ විපත පිළිබඳ හරියට වැටහීමක් නොමැතිව තුෂ්නිම්භූතව බලා සිටි අයුරු දුටුවෙමි. ප‍්‍රාණය නිරුද්ධ වූ ප‍්‍රියන්තගේ සිරුර හිගුරක්ගොඩත් පොළොන්නරුවත් රෝහල්වල මෝචරිවලට රැගෙනගොස් අවශ්‍ය නීතිමය පසුබිම සිදුකරන්නට ඔහුගේ හිතමිතුරන්, ඥාතීන් මෙන්ම පොළොන්නරුවේ මාධ්‍ය සඟයෝද වෙහෙසෙන අයුරු දුටුවෙමි. එහෙත් ප‍්‍රියන්තගේ මළසිරුර සහිත පෙට්ටිය තියන්නට කුළී නිවසේ නොහැකි නිසා සහෝදරයෙකු ජීවත්වන ඔවුන්ගේ මහගෙදර තැන්පත් කිරීමට ඥාතීන් විසින් තීරණය කරන ලදී.


 අනුන්ගේ දුකට නිරන්තරයෙන් පිහිටට එන මාධ්‍යවේදියෙකුගේ සත්‍ය මෙයවීම රටම නොදනී. එහෙත් සත්‍යය එයයි. ප‍්‍රියන්තගේ මළසිරුර ඉදිරිපිටට වී දරුවන් තිදෙනා හා බිරිඳ හඬා වැටෙමින් කියා සිටින්නේ වෙනත් රැකියාවක් කළානම් තම සැමියා අදටත් ජීවත්වන බවය. ප‍්‍රවෘත්තියකින් ලැබෙන මුදලට වඩා ආත්ම තෘප්තිය පිළිබඳව තම සැමියා නිතර නිතර කියූ බව ඇය කියා සිටියාය. තම දරුවන් තිදෙනාට ඉගැන්වීමට මුල්තැන දී පසුව නිවසක සිහිනය සැබෑකරගන්නා බව ප‍්‍රියන්තගේ අරමුණ වී තිබුණ බවත් ඇය හඬාවැටෙමින් කීවාය.


රටේ සමස්ත ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක අවශ්‍යතාවය මෙමගින් මතුවනු ඇත. ඔවුන්ගේ ආරක්ෂාව පවුල්වල ආරක්ෂාව කැමරා ආම්පන්නවල ආරක්ෂාව පමණක්ම නොව ඔවුන්ගේ ආර්ථිකය පිළිබඳව ද නව රජයේ අවධානය යොමුකළ හොත් මෙවැනි දුක්මුසු පුවත් ඉදිරි අනාගතයේදී අපට නොඇසෙනු ඇත. මෙම පුවත දැනගැනීමත් සමඟ වර්තමාන ජනමාධ්‍ය අමාත්‍යවරයා ප‍්‍රියන්තට සාධාරණයක් ඉටුකරන බවට ප‍්‍රකාශ කිරීම සතුටට කරුණකි. අප ප‍්‍රාදේශීය මාධ්‍යවේදියාගේ අභාවය පිළිබඳව ශ‍්‍රී ලංකාවේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන මෙන්ම අන්තර්ජාල මාධ්‍ය මගින් විශාල ප‍්‍රචාරයක් ලබාදී මාධ්‍ය සඟයන්ට ශක්තියක් වීම අප අගය කළ යුතුව ඇත.


ආදරණීය ප‍්‍රියන්ත රත්නායක සොයුරාගේ නිසල දේහය පස්වරුවේ ඉර අවරට යද්දී මිහිමත සැඟව ගියද ඔබ කළ මාධ්‍ය මෙහෙවර සදා අමරණීය වන අතර ඔබගේ අකල් මරණය සමස්ත මාධ්‍යවේදීන්ටම සුවිශාල වූ පාඩමකි. ප‍්‍රියන්ත... ඔබට නිවන් සුව.!




කාංචන කුමාර ආරියදාස
සභාපති
සමස්ත ලංකා ජනසන්නිවේදකයන්ගේ සංගමය  


MOST VIEWED VIDEO STORIES

MORE >>