Back to Top

වනජීවි අධ්‍යක්ෂ ජනරාල්ට කියන වගනම්...

August 9, 2015  



වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි වලසුන් සිව්දෙනෙකු ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට යටතට ගැනීම ජතික අපරාධයක් බව පවසමින්  සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමය  මගින් එය වළක්වන ලෙස ඉල්ලමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමා වෙත විශේෂ ලිපියකින් දන්වා තිබියදී ඒ ගැන නොතකා වලසුන් සිව්දෙනකු ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට යටතට ගැනීමට විරෝධය පාමින් අදාළ සංගමය අද (09) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබේ.

අතරන්මන් වී සිටි වලස් පැටවුන්

  උඩවලව ඇත් අතුරු සෙවණට අතරමංව සිට හමු වී ඇති වලස් පැටවුන් දෙදෙනකු හා තුවාල ලබා ප්‍රතිකාර කිරීමෙන් සුවය ලබා ඇති වලසකු සහ උගුලකට හසුවී සිටිය දී බේරාගෙන ගිරිතලේ පශු  වෛද්‍ය ඒකකය මඟින් ප්‍රතිකාර කරන ලද වලස් පැටවකු  සංචාරක හා ක්‍රිඩා අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමා විසින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුට භාරදීමට කටයුතු කළ බව අදාළ සංගමය පෙන්වාදෙයි.

සමස්ත ලංකා වනජිවි නියාමක නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ  අධ්‍යක්ෂ ජනරාල් තුමාගෙන් අදාළ කාර්යය සිදු නොකරන මෙන් වාචිකව හා ලිඛිතව අප සංගමය ඉල්ලා සිටියත්  එම ඉල්ලීම් නොතකා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරන  බවයි. එමෙන්ම  අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙම අත්තනෝමතික හා අසාධාරණ ක්‍රියාකලාපය සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරින්ගේ සංගමය  දැඩිව හෙළාදැක තිබේ .

උඩවලව ඇත් අතුරු සෙවණ භාරයේ සිටින වලසුන් තිදෙනා මිනිසුන් හා ගැටීම අවම කර කැලයට අනුගතවීමට සුදුසු පරිසරයක ජීවත් වන අතර ඔවුන් කැලයට මුදා හැරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය  කර අවසන්ව ඇත.( නිදහස් කීරීමට සුදානම් වලසකුට දැමීම සඳහා රු.600000.00 පමණ වටිනා GPS  කොළරයක් පරිත්‍යාග ලෙස ලැබී ඇති අතර, කැලයට මුදා හැරීමට පෙර තවදුරටත් කැලයට අනුගත කිරීම සඳහා රඳවා තබන ස්ථානයට අවශ්‍ය දැල් සහ අනෙකුත් ද්‍රව්‍ය යාල ජාතික උද්‍යානයේ කලාප අංක 02 වෙත මේ වනවිට ගෙන ගොස් දමා ඇත. ගිරිතලේ පශු  වෛද්‍ය ඒකකයේ සිටින වලසාද මිනිසුන් හා ගැටීම අවම කර කැලයට අනුගතවීමට සුදුසු පරිසරයක ජීවත් වේ.

විරෝධයට ලක්විය යුත්තක්

     600ට ආසන්න ප්‍රමාණයක් වූ ශ්‍රී ලංකාවේ වලස් ගහණයෙන් එක් සතකු හෝ අනතුරකට භාජනය වූයේ නම් හා ඉන්         පසුව නැවත එම සත්ත්වයා ස්වභාවික පරිසරයට අනුගත විය හැකි මට්ටමක සිටී නම් එම සත්ත්වයා ස්වභාවික පරිසරයට නිදහස් කිරීම සියලූ වනජීවීන් වෙනුවෙන් පෙනී සිටින එකම රාජ්‍ය ආයතනය වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් වුවත් ඉන් පරිබාහිරව අදාළ අමාත්‍යවරයාගේ අනුදැනුම  මත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමා කරන ලද ඉල්ලීම හුදු අත්තනෝමතික එකක්වේ.

    කෙසේනමුත් බලධාරීන්ගේ හිතුමතේට අභයභුමි හා රක්ෂිත තුළ ජිවත්වන මෙම අහිංසක සතුන් නිදහසේ පරිසරයේ සැරිසැරිය නොහැකි සේ කුඩුවක සිරගත කිරීමට කටයුතු කිරීම කෙරෙහි අදාළ බලධාරීන්ගේ මෙන්ම පරිසරවේදින්ගේද අවධානයට හා විරෝධයට ලක්විය යුත්තක් වේ .
 
ඇමිණුම්
1 -සමස්ත ලංකා වනජිවි නියාමක නිළධාරින්ගේ සංගමය  මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය

ඡායා රූප - ගිරිතලේ හා උඩවලව වලස් පැටවුන්


 සටහන  - රාහුල් සමන්ත

MOST VIEWED VIDEO STORIES

MORE >>