නිරිත දිග නේපාලයේ කුඩියා ගම්මානය අවට ප්‍රදේශයේ තිබී දස හැවිරිදි දරුවෙකු වූ ජිවන් කොහාර් ගේ මළ සිරුර හමුවන්නේ ඉකුත් 24 දාය. එම දරුවා ඊට දින 3ට ඉහත පටන් අතුරුදහන්ව සිටියේය.
ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේ පොලිස් අධිකාරී නාල් ප්‍රසාද් උපාධ්යයයි.
"කොදායි හරිජන් නමැති නේපාල ජාතිකයා මෙම ඝාතනයට වගකිව යුතුයි"
නාල් ප්‍රසාද් සී.එන්.එන් පුවත් සේවයට ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියි.
කොදායි හරිජන් නමැති අය තම අස්වැසියෙකු වන ශාමන් නමැති අයගේ උපදෙස් මත මෙම ඝාතනය සිදුකර ඇත්තේ බිලි පූජාවක් ලෙස බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. ශාමන්ගේ රෝගී දරුවෙකුගේ රෝගී තත්ත්වය සමනය කරගනු වස් මෙම දරුවා ජීවිතක්ෂයට පත්කිරීමෙන් ඔහුගේ ආත්මය ඉන්ද්‍රජාලික බලයකින් රෝගී දරුවාට අන්තර්ග්රහණයවීමෙන් එම දරුවා ප්‍රකෘති තත්ත්වයට පත්වෙනු ඇති බවට මොවුන් විශ්වාස කර ඇතැයි පොලිස් අධිකාරීවරයා පෙන්වාදෙයි.
පොලිසියට ලබාදුන් කටඋත්තරයට අනුව හරිජන් සහ ඔහුගේ අසල්වැසියන් විසින් මෙම දරුවා ස්වකීය මිතුරන් සමග සෙල්ලම් කරමින් සිටිනු දැක තිබේ. හරිජන් විසින් දරුවාට අඬ ගසා බිස්කට් පැකැට්ටුවක් ලබාදී තවත් රුපියල් 50 ක් ද ලබාදෙන බවට පොරොන්දුවී ඇත. මොවුන් විසින් මෙම දරුවා ගම්මානයට යාබද පන්සලකට කැටුව ගොස් ඇති අතර එහිදී බිලිපූජා චාරිත්‍රයට සම්මාදම් කරගෙන ඇත. තිදෙනෙකු විසින් දරුවා බිම හොවා පොළොවට තදකරගෙන සිට ඇති අතර එක් අයෙකු ඔහුගේ උගුරු දණ්ඩ කපා දමා ඇතැයි පොලීසිය අනාවරණය කරයි. කෙසේ වෙතත් පසුව දරුවාගේ හිස සම්පූර්ණයෙන්ම ඔහුගේ සිරුරෙන් වෙන් කර තිබේ. කෙසේ වෙතත් දරුවාගේ ඝාතන සිදුවීමට අදාළව මේවන විට ශාමන්ද ඇතුළත්ව 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ශාමන්ට මේවන විටත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී තිබේ. නඩුව තාමත් විභාගවෙමින් පවතින අතර අවම වශයෙන් පස් දෙනෙකුවත් මෙම ඝාතන සිදුවීමට අදාළව වරදකරුවන් බවට පත්ව දැඩි දඬුවම් හිමිවනු ඇතැයි සඳහන්ය.
ඉන්දියානු දේශසීමාව ආසන්නයේ නේපාලයට අයත් නවාල්පරාසි නම් මෙම ගමෙහි ජීවත්වන වැසියන් හින්දු පහත් යයි සම්මත කුලයකට අයත් ශරීර ස්පර්ශයට පවා නොහොබිනා යයි කුලීනයන් විසින් කියනු ලැබෙයි. ඒ නිසාම දෝ මොවුන් අධ්‍යාපනයක් නොලද ඉතාම දරිද්‍ර ජීවිතයකට උරුමකම් කියයි. මෙම දරුවාගේ ඝාතනයට සෘජුවම සම්බන්ධ දෙදෙනාද මෙම කුලයට අයත් වැසියන් ය. මිථියා ඇදහීම් වෙනුවෙන් මී හරක්,එළුවන්,කුකුලන් විශාල වශයෙන් ඝාතනය කරමින් බිලි පූජා පැවැත්වීමද මොවුන් ද ඇතුළු පොදුවේ නේපාලයේ හින්දු ලබ්ධිකයින් කොට්ඨාසයන් විසින් කරගෙන එනු ලබයි. නේපාලයේ හින්දුන් විසින් සෑම වසර 5ටම වරක් පවත්වනු ලබන ගාදිමායි උත්සවය යනු ඒ ආකාරයට උත්සවශ්‍රීයෙන් සතුන් දහස් ගණනින් මරාදමමින් බිලිපූජා පවත්වන උත්සවයකි. එමගින් සශ්‍රීකත්වය උදාවන බවට ඔවුහු විශ්වාස කරති.
"ඒක සිදුවන ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. " හරි ප්‍රසාද් මයිනායි පවසයි. හෙතෙම ප්‍රධාන දිස්ත්‍රීක් නිලධාරියායි.
"නවාල්පරාසි ගම්මානය ඉලක්ක කොටගෙන ආණ්ඩුවේ මට්ටමින් මිථීයාදෘෂ්ටික ඇදහීම් වලට එරෙහිව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් දියත්කර තිබෙනවා." දිස්ත්‍රීක් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියි.
CNN -ඇසුරිණි.