Back to Top

මේ මැතිවරණයේදී කළ යුත්තේ කුමක්ද?

July 20, 2015  


"දේශපාලන හිණිමගේ නැඟීමට පටන් ගත් විගසම දේශපාලකයා හදිසියේම රජෙකු බවට පත් වෙයි. ඉන්පසු ඔහුට රතු පලස් මෙන්ම තමනට උතුමාණනි යයි කියනා මිනිසුන් දැකීමට ඇවැසි වෙයි."
    (ජොසේ මුජිකා- උරුගුවේ හිටපු ජනපති)


    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හට සන්ධානයෙන් නාම යෝජනා ලැබෙන බව තහවුරු වූ දවසේ මගේ එක් මිත‍්‍රයෙක් මා අසළට පැමිණ මගේ පශ්චාත් ප‍්‍රදේශය අල්ලා බලා තියෙනවාදැයි අසා සිටියේය. ඒ ඉඟිය ඉතා පැහැදිලිය. මම ඔහුට මෙසේ පිළිතුරු දුනිමි. කොහොමත් රට අඹ ලෑලි කෑල්ලක් තියලයි කලිසම ඇඳගෙන ඉන්නෙ."


    මෙවන් ප‍්‍රතිචාර එල්ල වීමට ප‍්‍රධාන හේතුව වූයේ කිසිදා යළි ඉඩක් නොදෙන්නෙමැයි මෛත‍්‍රී  සපථ කළ මහින්ද රාජපක්ෂ හට නාම යෝජනා ලැබුණේ ජනපතිගේ කැමැත්ත ඇතුව යයි අදහසක් රට පුරා පතළවීමත් සමගය. පසුගිය දින ගණනාවම ගෙවුනේ මහින්දට නාම යෝජනා ලැබීමත් සමග රටපුරා දැඩි විරෝධයක් මෛත‍්‍රීට එල්ල වන වටපිටාවක් නිර්මාණය කරමිනි. මේ තත්ත්වයට මෛත‍්‍රී මෙන්ම රනිල් පාර්ශවයේද නිහැඬියාව හේතුවක්ව තිබිණි. ඒකාධිපතියා පලවා හැරීමට දිවි නොතකා කැපවූ ජනතාවට සියල්ල වහා පැහැදිලි කළ යුතුව තිබුණි. ඒ වෙනුවට පසුගිය දින ගණනාව පුරාම ජනතාවට සිදුව තිබුණේ සුසිල් පේ‍්‍රමජයන්ත, විමල් වීරවංශ, අනුර ප‍්‍රියදර්ශන වැනි විගඩමුන්ගේ අප‍්‍රිය දර්ශන නරඹමින් දත්මිටි කෑමටය. ජනවාරි අට වෙනිදාට පසු ගෙවෙන දවසක් ගානේ යුක්තිය අගයන  මිනිසුන්ට කාලය ගෙවුණේ කලකිරීම මැදිනි. සෑම පැයක් ගානේම අප ඉදිරියේ රඟමින් උන්නේ
රාජපක්ෂ රෙජීමයේ තක්කඩි රැුළමය. රටින් පිටුවහල් කල යුතු තරමේ අපරාධකරුවන් ප‍්‍රසිද්ධ මාධ්‍ය අරා වීරයන් සේ හැසිරෙන ආකාරය දකින මිනිසුනට ඇවැසිව තිබුණේ අන් කිසිවක් නොව තමනට යුක්තිය ඉටුවනු දැකීමටය. ඉදින් ආණ්ඩුව මෙන්ම ජනපතිද ඒ වෙනුවෙන් විවෘතව ක‍්‍රියා කළ යුතුව තිබුණි.


    කෙසේ හෝ වේවා අවසන ජනපති සිය කරුණු පැහැදිලි කිරීම ඉදිරිපත් කර තිබේ. එමගින් ඔහු පසුගිය මාස කිහිපය තුළ පැවති තත්ත්වය ගැන යම් විග‍්‍රහයක් කර තිබේ. ඒ කෙසේ වෙතත් ඉන් එක කරුණක් අහෝසි වී නොයයි. ඒ මෛත‍්‍රි පක්ෂයේ සභාපතිකම ගැනීම යුක්ති සහගත නොවේය යන මතයයි. අප අදත් ඉන්නේ මෛත‍්‍රී පක්ෂ සභාපතිකම ගැනීමත් සමග අවුලක් ඇතිකර ගත් බවයි. සැබැවින්ම නම් කළ යුතුව තිබුණේ පක්ෂ සභාපතිකම නොගෙන රටට ඇවැසි නිර්පාක්ෂික නායකත්වය සැපයීමට ඔහු සූදානම් වීමයි. එහෙත් එය වැළකී ගියේ මෛත‍්‍රී, චන්ද්‍රිකා ඇතුළු ඔවුන්ගේ පිලට පක්ෂයේ බලය ඇල්ලීමේ අදහසක් තිබූ නිසා බව පැහැදිලිය.


    දැන් යළිත් වරක් සටන පිටියේ විවෘතව තිබේ. මහින්ද රාජපක්ෂ නම් බල ලෝභී දේශපාලකයා  සිය නූල් සූත්තර දේශපාලනය වරනැඟීමට යාමෙන් අපට ඔහු පිටියෙන් අතුගා දැමීමට තවත් අවස්ථාවක් ලබා දී තිබේ. ඔහුගේ ආගමනය එක් අතකින් දේශපාලන පිටියේ මඳක් පසෙකට වී සිටි පුරවැසි බලවේගයන් වේගයෙන් සටනට කැඳවා තිබේ. දැන් අපට ඇත්තේ ලාංකීය දේශපාලනයට මතක හිටිනා අත්දැකීමක් මහින්ද ක‍්‍රමයේ පරාජය හරහා අත්කර දීමයි.


    දැන් මහින්ද රාජපක්ෂට එරෙහි සියලූ බලවේග සැලසුම් සකස් කළ යුත්තේ බෙලහීන කර දමන ලද ඒකාධිපතියා මුළුමනින්ම අකර්මන්‍ය කිරීමටය. මෙවර රාජපක්ෂ සැලසුම වී තිබුණේ කුමන්ත‍්‍රණ හරහා අභ්‍යන්තර බල හුවමාරුවකින් හෝ මැතිවරණයකදී මෛත‍්‍රී දුර්වල කිරීම හරහා යළි බලය අල්ලා නවතන ලද තැනින් සිය ව්‍යාපෘතිය පටන් ගැනීමටය. ඔහු පසුගිය කාලය පුරා  පන්සල් ගානේ විලි බිය රහිතව දුවමින් ක‍්‍රියාත්මක කළේද ඒ සැලසුමම මිස අන් කිසිවක් නොවේ. බස්වලින් ගෙන්වා ගන්නා සෙනඟ හමුවේ එකිනෙකට පරස්පර ප‍්‍රකාශ කරමින් ඉතා සූක්ෂම ලෙස ජාතිවාදය ආපසු කැඳවමින්, සිර ගෙවල් ගානේ සිය අපරාධ සහායකයින්ගේ දුක සැප බලා ඔවුන් දිරිමත් කරමින් රාජපක්ෂ හිටපු ජනපති පසුගිය කාලය පුරාම ප‍්‍රදර්ශනය කළේ රටක යහපාලනය වෙනුවෙන් කැපවීමට තමන් තුළ ඇති නොකැමැත්ත හැර අන් යමක් නොවේ. තම පාලන කාලය තුළ බලගන්වන ලද පිස්තෝලකාරයින්, කුඩු ව්‍යාපාරිකයන් මෙන්ම අනේකවිධ මැරයන්ට නාම යෝජනා ලබා දෙමින් තම පිරිවර සතු ධනය රිසි සේ වියදම් කරමින් යළි අල්ලස් දේශපාලනය ඇරඹීම  ඔහුගේ පරම අපේක්ෂාව වී තිබුණේය යන්න ඉතා පැහැදිලිය.


    කෙසේ වෙතත් මෙවර මහින්ද හිටපු ජනපති ඉන්නේ ජනවාරි අට වෙනිදාට පෙර සිටි බලවත් තත්වයේ නොවේ. සැබැවින්ම ඔහු ඉන්නා තත්ත්වය අතිශය දුර්වලය. අසීමිත රාජ්‍ය බලයක් හරහා රටේ ධනය කොල්ලකමින් තම දේශපාලන බල ව්‍යාපෘති වෙනුවෙන් ජනතාවගේ අනාගතය උගසට තැබූ පාලකයකුට මෙවර සටන් කරන්නට සිදුව ඇත්තේ තැන් මාරු කරගෙනය. ඒ අතරම ඔහුට තම අන්තේවාසිකයන් පිනවීම සඳහා එක්තරා ආකාරයකට බිලි බෝයි කෙනකුගේ චරිතයද ඉටු කිරීමට සිදුව තිබේ. තමන් මෙතෙක් භුක්ති විඳි සුඛෝපභෝගී දිවි පෙවෙත තර්ජනයට ලක්ව ඇති පසු බිමක වීරවංශ ඇතුළු සියල්ලන්ටම තම රජ්ජුරුවන් නිර්ලජ්ජිත ලෙස අලෙවි කිරීමට සිදුවීම අතිශය හාස්‍යජනකය.


    මහින්දට එරෙහි බලවේග නිසි ආකාරයට සංවිධානය වන්නේ නම් මෙවර සටන ඉතා පහසු වනු ඇත්තේය. පසුගිය පරාජයෙන් පසු වීරවංශ ඇතුළු බොහෝ දෙනකු පරාජය සම්බන්ධයෙන් කුරුසගත කළ බැසිල් රාජපක්ෂ මැතිවරණ මෙහෙයුම යළි අතට ගැනීමත් සමග බොහෝ මහින්දවාදීන්ගේ සදාචාර හා දේශපාලන ජංගිය ගැලවී හැලී තිබේ. මෙවර මහින්ද ගේ වාචාල බලවේගයන්ට රාජ්‍ය ආරක්ෂාවෙන් තොර විවෘත පිටියක සටනට මුහුණ දීමට සිදුව ඇති වටපිටාවක් යටතේ මහින්දට එරෙහි පාර්ශව නිසි පරිදි සූදානම් වන්නේ නම් පලමු අදියරේදීම අර වාචාල සට්ටඹියන් නිහඬ කල හැකි වනු නියතය. අවශ්‍ය වන්නේ නිසි මැතිවරණ සැලසුමක් පමණි.


    මේ මැතිවරණය අප රාජපක්ෂ පමණක් නොව ඔහුගේ අන්තේවාසික රැළද මුළුමනින්ම අක‍්‍රිය  කිරීමේ අවස්ථාව කරගත යුතුය. ඒ වෙනුවෙන් අප වහා කළ යුත්තේ කුරුණෑගල කඳවුරු බිමක් බවට පත් කිරීමයි. මහින්දට එරෙහි සංවිධාන හා පක්ෂ පොදු අරමුණක් මත පිහිටා අවබෝධයෙන් යුතුව මැතිවරණ සටනේ යෙදෙන්නට සූදානම් නම් කුරුණැගල යන්න මහින්ද රාජපක්ෂගේ වෝටර්ලූව බවට පත් කරනු හැක්කේය.


    මේ මැතිවරණය එක් අතකින් රාජපක්ෂ රෙජීමයේ දුෂ්ට බව හෙළිකරන ව්‍යාපාරයක් බවට වහා පෙරළා ගත යුත්තේය. ජනවාරි අටවෙනිදාට පෙර මෙය කළ හැකි වූවේ ඉතා සීමිතවය. එහෙත් දැන් පෙර නොතිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වට පිටාව යටතේ තොරතුරු ලබා ගැනීමට විශාල ඉඩක් විවරව පවතිද්දී ජනතාවට මහින්දගේ සැබෑ රුව පෙන්වාදීමට කොන්දේසි විරහිතව අප මැදිහත් විය යුතුය. කුරුණැගල මහින්ද දේශපාලනයේ කනත්ත බවට පත් කිරීම යනු ලාංකීය දේශපාලනය වෙනුවෙන් කළල හැකි මහඟුම මෙහෙවරකි. මහින්ද පිලේ ගණන් බැලීම කවරක් වුව හරියට සංවිධානය වන්නේ නම් මහින්ද විරෝධී බලවේග වලට පිටියේ වාසිය එක්වරම ගත හැකිය. අලූත් පරපුරේ ශිල්පීන්ට සිය බත් බැලයන් ලවා පහර දීමෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ජනවාරි අටට පෙරම කුරුණෑගලින් කුජීතවී ගොස් හමාරය.


දැන් අප කළ යුත්තේ හැකි තරම් සංවිධාන, පිරිස් එකා මෙන් රොක්ව කුරුණෑගලදීම මහින්ද ගේ සියළු වෙස් මුහුණු ගලවා දැමීමයි. මහින්ද රාජපක්ෂගේ අවස්ථාවාදී දේශපාලන ව්‍යාපාරයට එරෙහිව මෙවර අපට සිය ගණනින් ගෙන් ගෙට යාමට හැකියාව තිබිය යුතුය. ධවල වතත් ඊනියා කුරහන් සාටකයත් අතර ඉන්නා බලලෝභියා හා ඔහුගේ දේශපාලනයේ විනාශකාරීත්වය වටහා දීම පිණිස අපට ගෙන් ගෙට යාමට හැකියාව තිබිය යුතුය. සැබැවින්ම මෙවර අපේ ප‍්‍රයත්නය වැඩිපුරම යොමු කළ යුත්තේ කුරුණෑගල ගිය මහින්දට අධී වේගී මගෙහිම මැදමුලන කරා පල්ලම් බසින තත්වයක් නිර්මාණය කිරීමය.   


    එසේම මෙවර අපේ ප‍්‍රයත්නය විය යුත්තේ මහින්ද පමණක් නොව ඊනියා වම ඇතුළුව මහින්දාරාමයේ ඉඳුලින් සැනසෙන සුසිල් පේ‍්‍රමජයන්ත ඇතුළු සියල්ලන්ටම සමුදීමේ අවස්ථාව උදා කර ගැනීමටය. මහින්ද විසින් දේශපාලන ඉත්තන් බවට පත් කරගනු ලදුව මෝහනය වූවන් මෙන් ඔහු පසුපස බඩ ගානා ආත්මාර්ථකාමී දේශපාලකයන්ට හරි නම් තමන් කළ ජනතා විරෝධී දේශපාලනයට දඬුවමක් ලෙස විශ‍්‍රාම වැටුප පවා අහිමි කළ යුතුය.


    කරුණු පැහැදිලි කළ ජනපතිවරයා මෙවර සටනේදී නිර්පාක්ෂික වීම යහපත් බව සැබැවි. එහෙත් නිර්පාක්ෂිකවීම යන්නේ අරුත වඩා තීව‍්‍ර වන්නේ පසෙකට වී නිරීක්ෂක මට්ටමෙන් සිටීමෙන් නොව මහින්ද නම් සාධකය අවලංගු කිරීමට පොදු ජනතා යහපත වෙනුවෙන් කළ හැකි සෑම මැදිහත් වීමක්ම කිරීම මගිනි. අප ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එක හෙලා ගරු කළ යුතු බවට තර්කයක් නැති. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පාපිස්සක් තරම ගණන් නොගත් ඒකාධිපති පාලකයාට හා ඔහුගේ බලකායට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සැලකීම යනු අන් කිසිවක් නොව තම දූෂණ හා වංචා පිළිබඳව නීතිය ඉදිරියේ පෙනීසිට තම නිර්දෝෂීත්වය ඔප්පු කිරීමට අවස්ථාව දීම පමණි. නිශ්ශංකමල්ල සෙල් ලිපියේ තිබූ පරිදි ලබන ආත්මයේ ඔවුන් බලූ කපුටන් වීමෙන් අපට පලක් නැති. අපට වුවමනා මේ අප දිවිගෙවන
සමාජය තුළම මේ බල ලෝභි පාලකයන් අප බලු කපුටන් බවට පත් කිරීම වෙනුවෙන් නිසි දඬුවම්
ලබනු දැකීමය.


    යුද්ධයේ ජයෙන් පසු රාජ්‍යත්ව ව්‍යාපෘතියේ කොටසක් ලෙස ගැයුණු ආයුබෝ වේවා මහරජාණනි ගීයේ ගැයෙන පරිදිම අප රාජපක්ෂ හිටපු ජනපතිටද ආයුබෝ වේවා කිව යුතුය. උදක්ම ඒ තමන් විසින් රටට කරන ලද හානිය වටහා ගැනීමට කාලය ලැබෙනු පිණිසය. කෙසේ වෙතත් පසු පෙළ මන්ත‍්‍රී කෙනකු වීමේ ඉරණම දරා මැතිවරණයට සටන් කරනා හිටපු ජනපතිට කීමට අපට නම් ඇත්තේ මෙයයි . මහතාණනි ඔබ දැන් අවලංගු කාසියකි. අමතක නොකරන්න ඒ අවලංගු කරගැනීමටද ඔබම දුන් දායකත්වයද විශාලය.




- නුවන් උදය වික‍්‍රමසිංහ

MOST VIEWED VIDEO STORIES

MORE >>