Back to Top

අනාථයින් දෙවැනි සැරේටත් අනාථ වුණා.

July 17, 2015  



ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් පසුගිය බදාදා පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී රැස්වූයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් සහ වර්තමානයේ මතුවී තිබෙන දේශපාලන තත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමටය. එහිදී මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයද ජවිපෙ නායකයින්ගේ අවධානයට යොමු විය.

”රටෙන් මතුවෙලා තිබුණ විරෝධය නිසා මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා කට ඇරියට දැන් හොඳටම ප‍්‍රමාදයි. රටේ ජනතාවගේ අප‍්‍රසාදයට පත්වෙලා හිටපු ජනාධිපතිවරයා දැන් පක්ෂ සාමාජිකයින්ගේත් අප‍්‍රසාදයට ලක්වෙලා.” ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ ඇතැම් කතා උපුටා දක්වමින් කතාව ආරම්භ කළේය.

”මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා කිව්වේ මහින්දට නාමයෝජනා දෙන්න තමන් එකඟ වුණේ නැහැ කියලා. ඒත් මීට කලින් සුසිල් පේ‍්‍රමජයන්ත මාධ්‍යවලට ලිපියක් දාලා තිබුණා මහින්ද රාජපක්ෂට නාමයෝජනා දෙන්න ජනාධිපතිවරයා කැමැත්ත පළකළා කියලා. ඒ ගැන මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කිසිවක් රටට කිව්වේ නැහැ. විශේෂ ප‍්‍රකාශය කරන වෙලාවේදීවත් සුසිල්ගේ කතාව ගැන මතක් කළේ නැහැ. ඒ නිසා මේක අපභ‍්‍රංශයක් තමයි” විජිත හේරත් කීවේය.


”ඒ විතරක් නෙවෙයි. මෛත‍්‍රී මහින්ද තුන් සැරයක් හමුවුණා කියලා කොහොමත් රට දන්නවා. නමුත් ජනාධිනපතිවරයා විශේෂ ප‍්‍රකාශයේදී කිව්වේ මහින්ද හමුවුණ දෙවතාවක් ගැන විතරයි. එක් අවස්ථාවක් කථානායක නිල නිවසේදී හමුවුණා කිව්වා. අනෙක් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී හමුවුණ බවත් කිව්වා. නමුත් තුන්වෙනි අවස්ථාව ගැන කිව්වේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා ජනතාවට හංගන දෙයක් තිබෙනවා.” පක්ෂ නායක අනුර දිසානායක කියා සිටියේය.


”කොහොම වුණත් දැන් මෛත‍්‍රී කියලා තියෙන විදියට මහින්ද දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ. මහින්ද ජනාධිපතිකමේ ඉන්න වෙලාවේ මෛත‍්‍රීට දුන්නේ නැති අගමැති කම මෛත‍්‍රී ජනාධිපතිකමේ ඉන්න වෙලාවේ මහින්දට දෙනවද? ඒ නිසා මහින්දට මන්ත‍්‍රීකම විතරයි ඉතිරිවෙන්නේ” බිමල් රත්නායක කයා සිටියේය. ”මහින්දට මන්ත‍්‍රීකමවත් ඉතිරිවෙයිද කියලා කවුද දන්නේ. පත්වෙන ආණ්ඩුව මහින්දට තියෙන මූල්‍ය චෝදනා ගැන පරීක්ෂණ කරන්න  ඕනෑ. රාඩා ආයතනයේ මූල්‍ය ගනුදෙනු ගැන පරීක්ෂණ කළොත් මහින්ද අනිවාර්යෙන්ම දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත් මහින්දට මන්ත‍්‍රීකමත් නැහැ” ලාල්කාන්ත කියා සිටියේය.

”එජාප ප‍්‍රමුඛ සන්ධානෙටවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයටවත් මේ මැතිවරණයෙන් බහුතරය ගන්න බැරිවෙනවා. ඒ නිසා තීරණාත්මක බලය වෙන්නේ පාර්ලිමේන්තුවේ අපේ නියෝජනයයි. රටේ ආණ්ඩු කරවන ආණ්ඩුව හදන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපි මැදිහත් වෙලා. ඒක ජනතාවට අලූත් අත්දැකීමක් විදියට දැනෙයි.” ටිල්වින් සිල්වා අලූත් යෝජනාවක් කළේය.

”ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටම වැටිලා. බලය නැතිව මාස හයයි ගියේ පක්ෂය දෙකට තුනට කැඩෙනවා. නඩු යනවා. මධ්‍යමකාරක සභාව කැඳවගන්න බැහැ. ඒ තරමට වැටිලා. ඒ නිසා ආණ්ඩුවක් හදන්න නම් කොහොමත් බැහැ.” අනුර දිසානායක කීවේය.

”මෛත‍්‍රීපාල මහත්තයගේ කතාවෙන් මහින්ද වටේ හිටපු දේශපාලන අනාථයින් දෙවැනි සැරේටත් අනාථ වුණා. දැන් ඉතිං කරකියා ගන්න දෙයක් නැතිව ඉන්නවා. අපේ පැත්තට වාසියක් තියෙනවා. මොකද අපි ජනාධිපතිවරණයේදී කියපු ගොඩක් දේවල් දැන් ඇත්ත වෙලා තියෙනවා.” හඳුන්නෙත්ති කියා සිටියේය.


MOST VIEWED VIDEO STORIES

MORE >>