Back to Top

ඉතිහාසයේ දේවල් කවුරුත් හිතලා කරපු ඒවා නෙමෙයි

July 9, 2015  




සුනිල් හඳුන්නෙත්ති මාතර දිස්ති‍්‍රක් නායකයාය. ඔහු මීට පෙර මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ කොළඹ දිස්ත‍්‍රික්කයෙනි. නමුත් මෙවර පක්ෂ තීරණයක් අනුව මාතරින් තරග වැදීමට ඔහු අපේක්ෂා කරයි. ඔහු මේ වනවිට මාතර ආසන බලමණ්ඩල පිහිටුවමින් මැතිවරණය මාතර දිස්ත‍්‍රික්කය සූදානම් කරමින් සිටියි. දෙවුන්දර ආසන බලමණ්ඩලය පසුගිය සතියේ පැවැත්වූ අතර බල මණ්ඩලයට සහභාගි වන ලෙස අවට පන්සල්වල විහාරාධිපති ස්වාමීන්වන්සේට ආරාධනා කිරීමට සුනිල් හඳුන්නෙත්ති පන්සල්වලට ගියේය. අනතුරුව ආසන බලමණ්ඩල රැස්වීමට පැමිණි වැලිගම විහාරාධිපති හඳුගල රතනපාල ස්වාමින්වහන්සේ ජවිපෙ වේදිකාවේ කතාවක්ද කළේය. ”බොහෝ දෙනෙක් කියනවා මේ පන්සිල් රකින එක ගැන. මම ඉතාම වගකීමෙන් කියනවා පන්සිල් රකින දේශපාලන පක්ෂයක් ඉන්නවනම් ඒ ජනතා විමුක්ති පෙරමුණ කියලා. මුසාවාදා නොකියන, සුරාපානය නොකරන, ප‍්‍රාණඝාත නොකරන, කාමමිථ්‍යාචාරය් නොයෙදෙන, අනුන්ගේ දේවල් නොගන්නා නියෝජිතයින් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ.” විහාරාධිපති ස්වාමින්වහන්සේ කියා සිටියේය.


මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් ජවිපෙ මැතිවරණ වේදිකාවේ අදහස් ප‍්‍රකාශ කිරීමට ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වන බව සුනිල් හඳන්නෙත්තිට පැවසුවේ එහිදීය.

 
මේ අතර සුනිල් හඳුන්නෙත්ති වඳුරඹ ප‍්‍රදේශයේ හිතවතෙකුගේ පියෙකුගේ මළගෙදරකට සහභාගිවීමට ගියේය. එහිදී එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකයෙකු තවත් පිරිසක් සමග හඳුන්නෙත්ති හිටපු මන්ත‍්‍රීවරයා අසලට පැමිණියේය. ”මන්ත‍්‍රීතුමා රනිල් වික‍්‍රමසිංහ හරි වෙන කෙනෙක් ආවානම් අපි මේ විදියට කතා කරන්න එන්නේ නෑ. ඔබතුමා එක්ක සුහදව කතා කරන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ වගේම අපි විශ්වාස කරනවා ජවිපෙ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න  ඕන පක්ෂය” එජාප සාමාජිකයා කීවේය. ”ඇයි ඔබතුමාලා එහෙනම් ජේ.වී.පී එකට එන්නේ නැත්තේ” හඳුන්නෙත්ති විමසුවේය.


”ඉතිහාසයේ ප‍්‍රශ්න තියෙනවා. අපේ පවුල්වල අම්මලා තාත්තලා ඒ ගැන තාම හිතනවා. ඒ නිසා තමයි අපිට ප‍්‍රශ්නේ” එජාප සාමාජිකයා පිළිතුරු දුන්නේය. ”ඉතිහාසයේ දේවල් කවුරුත් හිතලා කරපු ඒවා නෙමෙයි. නමුත් පසුගිය අවුරුදු 25 ඇතුළේ අපි කතා කළේ මේ රටේ මිනිස්සු ගැන. ජේවීපී සාමාජිකයින් ගැන නෙවෙයි. එජාප, ශ‍්‍රීලනිප, ජවිපෙ හැම සාමජිකයා ගැනම. පඩි වැඩි කරන්න බලපෑම් කරනනේ හැමදෙනාම වෙනුවෙන්. බඩුමිල අඩුකරන්න කියලා උද්ඝෝෂණ කරන්නේ රටේ හැම කෙනා ගැනම හිතලා” හඳුන්නෙත්ති කියන විට එජාප සාමාජිකයින්ගේ හිස සැළුණේ එය අනුමත කරමිනි. 



MOST VIEWED VIDEO STORIES

MORE >>