Back to Top

ජනවාරි 08 න් පසු සනීපද?

June 29, 2015  

බොහෝ දෙනා දැන් අසනා පොදු ප‍්‍රශ්නයක් තිබේ. ඒ මහින්ද පරාජය කිරීමට කටයුතු කිරීමෙන් ලද දෙයක් තිබේද යන්නයි. තවත් සමහරු ඔලොක්කු ස්වරයෙන් අසන්නේ ´ඇනගත්තා නේද´ යනුවෙනි. මේ අතර මහින්ද රාජපක්ෂ නොමැතිව හුස්ම පොදක් ගත නොහැකි තරමටම පරපුට්ටන් වූ පිරිස් මහින්ද සමග යළි නැගිටින්නට හදන්නේ ´වෙනස සැපයිද, හවුල සහ අවුල, යනාදී වශයෙන් විවිධ පාඨ ඉදිරිපත් කරමිනි. මේ ප‍්‍රශ්න නගන්නන් අතර සිටින එක් පිරිසක ගේ ප‍්‍රශ්නය අතිශය සාධාරණ හා සංවේදීය. ඔවුන් එය අසන්නේ සැබෑ වෙනසක් උදෙසා වෙහෙසවූ පසුව දිනෙන් දින එය ඈත්ව යන බවක් පෙනෙන විට දැනෙන වේදනාව දරා සිටිය නොහැකි තැනය.


    කෙසේ වෙතත් ජනවාරි අට පසුවී මාස පහක් ගෙවුණු පසුවද උත්තරය නම් ඉතා පැහැදිලිය. මහින්ද රාජපක්ෂ පාලනය ගෙදර යැවීම සඳහා කරන ලද සටන ගැන පසුතැවීමට කිසිදු හේතුවක් නැත. එසේම පරාජිත මහින්ද මේ වන විට කරමින් ඉන්නා අවුල් වියවුල් තොගය දකින විට සක් සුදක් සේ පැහැදිලි වන්නේ ජනතාවගේ තීරණය හරියටම හරි බවයි. එසේම දැන් අපට ඉතා පැහැදිලිව පෙනෙනා තවත් දෙයක් තිබේ. ඒ ජනපති පුටුවෙන් යැවූ මහින්ද රාජපක්ෂගේ මතවාදී ව්‍යාපාරයද දැන් තවත් සටනකින් එහෙම පිටින්ම අවලංගු කළ යුතුය යන්නයි.


    දැන් අප ඉදිරියේ ඇති ගැටළුව වන්නේ එය කරන්නේ කෙසේද යන්නයි. ජනවාරි අට වෙනිදාට පෙර අප සියල්ලනටම තිබුණේ එක් සාමූහික අරමුණක් පමණි. කොන්දේසි විරහිතව මහින්ද පාලනය පරාජය කිරීම. එයම පමණි. කිසිදා එක් කළ නොහැකි සේ පෙනුන විවිධ බලවේග එක් වේදිකාවට නැංගේත් දේශපාලන වේදිකාවන්හී දක්නට නොලැබෙනා කලාකරුවන් ඇතුළු බොහෝ බුද්ධිමත් පිරිස් මහින්දට එරෙහිව මෛත‍්‍රීට ඡන්දය දෙන මෙන් විවිධ අතවර ගර්හා මැද එක හඬින් කියා සිටියේත් ඔවුන් සියල්ලම නොසැලී ඒ මතයේ සිටි බැවිනි. ඒ අවස්ථාවේ අපට තිබූ පළමු අවශ්‍යතාව වූයේ මිලිටරිවාදයත්, ජාතිවාදයත්, ආගමික අන්තවාදයත් කරපින්නාගෙන රට ම්ලේච්ඡත්වයට යවමින් සිටි පාලනය හමාර කර නිදහසේ හුස්ම පොදක් ගැනීමට ඇවැසි පළමු පියවර නිර්මාණය කරගැනීමයි.


මහින්ද පාලනය විසින් නිර්මාණය කර තිබූ දැවැන්ත මර්දනය හමුවේ එක්සත් වීම පරම අවශ්‍යතාව බවට පත්ව තිබුණි. ඉදින් සටන කෙරුණේ එවන් කොන්දේසි යටතේය. දැන් අප අවම තරමින් අපේ මූලික ඉලක්කය සපුරා ගෙන හමාරය. එදා අප එසේ සමත් නොවන්නට මුළු රටම පැවතියේ අසමත් වන කඩඉමේ බව සාමාන්‍ය බුද්ධියක් ඇති කවරකුට වුව පැහැදිලිය. මුළු රට පුරාම ජාතිවාදය අවුළුවා අලූත්ගම පන්නයේ මහා ගින්නක් ඇවිළවීමට ජාතිවාදීන්ට තිබූ ඉඩ අහුරන ලද්දේ මේ රටේ බුද්ධිමත් ජනතාව විසිනි. පරාජයෙන් පසුවද යාපනයේ කඳවුරුවලට ත‍්‍රස්තවාදි ප‍්‍රහාර එල්ලවන්නේ යයි කියමින් ජාතිවාදය ඇවිස්සීමට පරාජිත පිරිස් දරන ලද උත්සාහයේ කුරිරු බව පැහැදිලි වන්නේ උතුර හා දකුණ සාමයෙන් ගත කරනා දවසක් ගානේ එය කඩා බිඳ දැමීමට වීරවංශලාගේ මුසා-මිල් බොරු මොල් ව්‍යාපාරය ඇතුළු අන්තවාදීන් දරණ තැත පෙනෙන විටය.


    කෙසේ වෙතත් ජනපතිවරණය හමුවේ මහින්ද රාජපක්ෂට එරෙහි සටනේ හුන් නිර්පාක්ෂික එහෙත් දේශපාලනික පිරිස් අතර මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසු කේතුමතී සිහින තිබුණේ නැති බව පැවසිය යුතුය. ජනවාරි අට දක්වා එකට සිටියද ඒ පිරිස් අතර විවිධ මත වෙනස්කම් මෙන්ම අපේක්ෂාවන්ද පැවති බව දැන දැනම වුව සිවිල් ව්‍යාපාර උත්සාහ දැරුවේ අවම එකඟතාවන් මත රාජපක්ෂ කඳවුරට එරෙහිව පිරිස් සංවිධානය කිරීමටය. එසේම මෛත‍්‍රී යනු මෙතේ බුදුන් නොවනු ඇති බවත් රනිල් පරම විප්ලවවාදියකු නොවනු ඇති බවටත් කිසිවකුට හෝ සැක තිබුණේ නැති. පොදු ව්‍යාපාර වල අරමුණ වී තිබුණේ හැකි තරම්  සංවිධානය වෙමින් නව පාලකයනට අත්‍යවශ්‍ය සංශෝධන සඳහා බල කිරීමයි. හැකි අවසාන මොහොත දක්වාම ඒ සඳහා වන උත්සාහය අත නොහැරීමයි.


සැබැවින්ම කළ යුතුව තිබුණේද එයම පමණි. එහෙත් ඒ කොන්දේසි විරහිත පදනමකින් නොවේ. ගමනේ සීමා පෙනෙන අවසන් කඩ ඉමේදී නව උපක‍්‍රම තේරීමේ සූදානමිනි. අනෙක් අතින් පසුගිය කෙටි කාලය පුරාම නව රජයද අදාළ ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් සිය කැපවීම පල කර සිටි බවද අප අමතක නොකළ යුතුය. දහනම වෙනි සංශෝධනය වෙනුවෙන් දරන ලද උත්සාහය ඊට සාක්ෂි සපයයි. ඉදින් දැන් අපට ඉදිරි මහමැතිවරණයක සංඥා හමුවේ පුරවැසියන් ලෙස අපේ පියවර තීරණය කිරීමේදී කවර තත්ත්වයක් යටතේ වුව ප‍්‍රත්ක්ෂේප කළ නොහැකි කරුණ වන්නේ ජනවාරි අට අපේ තීරණය අතාර්කික නොවන බවයි.



    එහෙත් ඉන් අපට සෑහීමකට පත්විය නොහැකි බවද දැන් අප පිළිගත යුතුය. අපගේ අපේක්ෂා අනුව මේ පාර්ලිමේන්තුව නොහැසිරෙන බව ඉතා පැහැදිලිව තිබෙන අතරම එය එසේ වනු ඇතැයි කියා අපේ පරම විශ්වාසයක් පැවතුනේද නැති. දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය හමුවේ අපේ මන්ත‍්‍රීලා එය මනාව පෙන්වා සිටියෝය. අනෙක් අතින්  දැන් අප ඉදිරියේ ඇත්තේ අප අපේක්ෂා කළ අවුල වියවුලට යවනා ප‍්‍රවණතාවකි. එය ඇරඹෙන්නේ මෛත‍්‍රී තමන් පොදු ජනපති යන භූමිකාව පහලට දමා ශ‍්‍රීලනිපය යන දිරූ දරහැව කරතබා ගැනීමත් සමගිනි. ඒ සමග දැන් ඔහු ඉන්නේ තමන් පරම හතුරා ලෙස සලකා තම ලෙය ඉල්ලූ සතුරන් රැළක් තෘප්ත කිරීමේ සටනකය. මෙය කෙසේවත් අප ඔහුගෙන් ඉල්ලූ හෝ අපේක්ෂා කළ දෙය නොවේ. එහෙයින් ඒ සටනින් ලැබෙන ජය පරාජය ඔහු භුක්ති විඳිය යුතුය.


 එහෙත් අපට ගැටළුව වී ඇත්තේ වළලා දැමිය යුතු පාදඩ බලවේග කරතබා ගැනීම හරහා ජනපතිවරයා රටේ අනාගතය උගසට තැබීමට සූදානම් වීම පිළිබඳවය. මේ මොහොතේ තමන්ට අයත් යැයි ඔහු සිතනා පක්ෂය ගොඩ දැමීමට කියමින් කරනා කාර්යයන් හරහා එක් අතකින් මෛත‍්‍රී ජනපති තමනටද ඉතිහාසයේ විරුවකු වීමට ලද අවස්ථාව අත්හරිමින් සිටින අතරම ඉතිහාසය තුළ අප විසින් දිනාගන්නා ලද ස්වර්ණමය අවස්ථාවද වළලා දැමීමට කටයුතු කරයි. දිමූ හා රත්නසිරි වැනි දේශපාලන කවටයන් උපදේශකයන් කරගැනීම මෙන්ම චම්පික වැනි පාර්ශව ළං කර ගැනීම හරහාද ජනපති අපට දෙන සංඥා කෙතරම් ජනතා අපේක්ෂාවන්ට සමීප දැයි ඔහු වහා තීරණය කළ යුතුය.


    අනෙක් අතින් පසුගිය ජයග‍්‍රහණයේ පුමුඛ අනෙක් පාර්ශවකරුවා වන යූඑන්පියද හැසිරෙන්නේ දේශපාලන පරිණත බවකින් නොවේ. විශේෂයෙන්ම මහ බැංකු සිද්ධිය හරහා ආරම්භයේදීම ඔවුන් ඇති කළ ආරවුල ඉතා බරපතළය. රේගු සිදුවීමද ඊට එක්වූ විට තත්ත්වය තවත් කළු පැහැති වූ බව අවිවාදිතය. මේ සියලූ අර්බුද මැද ඔවුන් හැසිරෙන්නේ ජනමතය ගැන එතරම් සැලකිල්ලක් නොමැති පිරිසක් ලෙසිනි. මහින්ද පරාජය කළ පමණින් හා මහින්ද විසින් නිර්මාණය කරන අවුල හරහා බෙදෙන ශ‍්‍රීලනිපය හා පහසු තරග ජයක් අපේක්ෂාවෙන් හාවා ගේ නින්ද නිදා ඉන්නට යූඑන්පිය සිතන්නේදැයි සැක සිතෙන තරමටම ඔවුන් නිෂ්ක‍්‍රීය ය. සරත් ෆොන්සේකා ඉදිරිපත්වූ මැතිවරණය හමුවේ යූඑන්පියේ හැසිරීමද මෙපරිදිමය. ඔවුන් එහිදී ද ජනමතය හැසිරවීමට සැලකිය යුතු මෙහෙයක් කළේ නැති. දැන්ද ඔවුන් හැසිරෙන්නේත් ජන මතය ගැන එතරම් සැලකිල්ලකින් නොවේ. පැවති පාලනයේ දූෂිත බව තහවුරු කිරීම අද දවසේ අත්‍යවශ්‍යම කාර්යය වී තිබියදීත් ඔවුන් ඒ සඳහා මැදිහත්වන බවක් අපට පෙනෙන්නේ නැත. මේ තත්ත්වය යටතේ ජනතාවට උනුයි මුනුයි දෙගොල්ලම එකයි කියා සිතුණද එහි අරුමයක් නැත.


    අද දවසේ අපට අවශ්‍යව ඇත්තේ පක්ෂ අරමුණුවලට වඩා රටේ අරමුණු ඉහළට ගන්නා ජනතා ව්‍යාපාරයකි. ජනවාරි අටවෙනිදා වෙනසින් අපේක්ෂා කරන ලද්දේ එම සාමූහික ප‍්‍රයත්නය දියත් කිරීමයි. රනිල් මෙන්ම මෛත‍්‍රී වෙතින්ද අප මුලදී දුටුවේ ඒ අරමුණ කරා යොමුවන අයුරකි. එහෙත් දැන් එය ඇත්තේ බොඳව යමිනි. මහ මැතිවරණයක් පැවැත්වීම දැනට ඇති සුදුසුම විසඳුම ලෙස වඩා තාර්කික ස්ථානයක් අත්කර ගනිමින් පවතින වටපිටාවක අනෙක් අතින් අපේ සැලකිල්ල යොමුවිය යුතු කරුණ වන්නේ එවන් මැතිවරණයක පාර්ශවකරුවන්ගේ හැසිරීම කෙසේ වනු ඇතිද යන්නයි.


    ජනවාරි අටවෙනිදාට පෙර සටනේදී මෛත‍්‍රීගේ ප‍්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය දේශපාලකයන් විසින් දක්වන ලද සහය පැවතියේ ඉතා අල්ප මට්ටමකය. පෝස්ටරයක් මුද්‍රණයේදී පවා ඔවුන් ඊට මැදිහත් වූවේ අවම තරමිනි. සැම විටම ඔවුන් ගේ මැසිවිල්ල වූයේ සල්ලි නෑ යන්නයි. එහෙත් දැන් මහ මැතිවරණයක ලකුණු පළවෙන තත්ත්වයක් යටතේ ඔවුන් විසින් අරඹා ඇති ප‍්‍රචාරක කටයුතු දෙස බලන විට පෙර නොමැතිවූ මුදල් දැන් ලැබෙන්නේ මහා බ‍්‍රහ්මයාගෙන්දැයි අපට සිතෙන තරම්ය. මේ පවත්නා පොදු තත්ත්වයයි. සැම කෙනකුටම මේ අවස්ථාවේ වැදගත් වන්නේ තම අසුන රැක ගැනීම මිස පොදු අරමුණ නොවේ. එහෙයින ජනවාරි අට වෙනිදාට පෙර පැවති ඒකාඝ‍්‍රතාව අප හෙට අපේක්ෂා කිරීම පල රහිතය.


    දැන් පුරවැසියන් ලෙස අපේ අනාගතය මුළුමනින්ම රැඳෙනුයේ පක්ෂ අරමුණු යට කර පොදු ජනතා අරමුණු මතු කරනා ඒ වෙනුවෙන් පෙරටත් වඩා සටන් කරනා පොදු ව්‍යාපාරයක් මතමය. පුරවැසි බලය වැනි සංවිධාන වලට මෙහිදී පැවරෙන කාර්ය භාරය ඉතා විශාලය. එය දැන් ජනපතිවරණය පැවති සමයටත් වඩා අසීරු බව පැහැදිලිය. එහෙත් අපට ඉතිරිව ඇත්තේ ඒ මාවත පමණී. පුරවැසියා අමතක කළ නොහැකි බලවේගයක් බව පැහැදිලිව ඔප්පු කළ හැකි පුරවැසි ව්‍යාපාරයක් සමග කේවෙල් කරනා තැනකට සියළු පක්ෂ ගත හැකි නම් ඊළඟ මැතිවරණය ජනතා හිත සුව පිණිස වන්නක් බවට හරවා ගත හැකිවනු ඇත. දැන් අපට අවශ්‍යව ඇත්තේ වැඩ පිළිවෙලක්, ඒ වැඩ පිළිවෙල ක‍්‍රියාවට නැගීමට සූදානම් කණ්ඩායමක් මිස දේශපාලන දරහැවවල් නොවේ. මෛත‍්‍රී පමණක් නොව රනිල්, අනුර දිසානායක ඇතුළු සැමට අප උස් හඬින් කිව යුත්තේ එයයි.




නුවන් උදය වික‍්‍රමසිංහ.

MOST VIEWED VIDEO STORIES

MORE >>