Back to Top

ද්විත්ව ඡන්ද පත‍්‍රිකාවක් වෙනුවෙන් කතිකාවක්

June 19, 2015  



නව මැතිවරණ ක‍්‍රමයක් පිළිබඳ සංවාදය දිනෙන් දින උණුසුම් වෙමින් තිබියදී ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග‍්‍රසය, සම සමාජ පක්ෂය, ඊපීඩීපී සංවිධානය, කඳුරට ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් නව මැතිවරණ ක‍්‍රමය පිළිබඳව සාකච්ඡා කිරීමට පසුගිය සතියේ සිකුරාදා රැස්වී තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර ඇමතිවරුන් වන රාවුෆ් හකීම්, රිෂාද් බදුර්දීන් සහ තිස්ස විතාරණ, මනෝ ගනේෂන්, ඩග්ලස් දේවානන්ද ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් මේ සාකච්ඡාවට එක්විය. එහි ප‍්‍රධානම මාතෘකාව වූයේ නව මැතිවරණ ක‍්‍රමය පිළිබඳවයි.


”මහ පක්ෂ දෙක එකතුවෙලා අනෙකුත් පක්ෂ ඩෝසර් කරන්න උත්සහ කරනවා. ඒකට ඉඩ දෙන්න බැහැ. ආණ්ඩුව ගේන සමහර යෝජනාවලින් සුළු ජාතීන්ගේ අයිතීන් නැතිවෙලා යනවා. හැමෝගෙම අයිතීන් ආරක්ෂා වෙන ක‍්‍රමයක් තමයි අපිට  ඕන. අපිත් ද්විත්ව ඡන්ද පත‍්‍රිකා ක‍්‍රමයට එකඟයි.” රාහුෆ් හකීම් කීවේය.

”අපිත් ඒකට එකඟයි. පක්ෂයට ඡන්දය දෙන්නත් පුද්ගලයට ඡන්දය දෙන්නත් ඡන්ද දායකයට අවස්ථාව හදන ඡන්ද පත‍්‍රිකා දෙකේ යෝජනාව අපි ආණ්ඩුව භාරදුන්නේ අපේ‍්‍රල් 29වෙනිදා. මනාප ක‍්‍රමය අහෝසි කරන්න  ඕනෑ. ඒ වගේම කාටත් සාධාරණ අවස්ථාවක් ලැබෙන්න  ඕනෑ” විජිත හේරත් කියා සිටියේය.

”අපිත් ඒ අදහසට එකඟයි. මම දන්නා හැටියට වාසුදේව සහෝදරයාත් ඒ යෝජනාවට එකඟතාවයෙන් ඉන්නවා.” තිස්ස විතාරණ කියා සිටියේය.

”ඒ වගේම උතුරේ ආසන අඩුවෙන්න ඉඩ දෙන්න  ඕන නැහැ. එහෙම වුණොත් ඒක අපි වගේ පක්ෂවලට අසාධාරණයක් වෙනවා.” ඩග්ලස් දේවානන්ද කියා සිටියේය.


මෙම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්වූ අතර සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන පක්ෂ සියල්ල පොදු එකඟතාවයන් කිහිපයකට එළඹියේය. සියලූම පක්ෂ මිශ‍්‍ර ඡන්ද ක‍්‍රමයකට එකඟවීම, ද්විත්ව ඡන්ද පත‍්‍රිකා ක‍්‍රමයක් භාවිතා කිරීමට එකඟවීම සහ නව ඡන්ද ක‍්‍රමය මීළඟ පැවැත්වෙන මැතිවරණයේදී යොදා නොගෙන පැරණි ක‍්‍රමයට පැවැත්වීමත් එම එකඟතාවයන් අතර විය.


MOST VIEWED VIDEO STORIES

MORE >>