අපිට වෙලා තියෙන්නේ දැන් වනචාරී යුගයට යන්න
May 29, 2015
“නාමල් රාජපක්ෂලා, නිමල් සිරිපාලලා තමන්ගේ බලය ගැන විතරයි හිතුවේ. මිනිස්සු ගැන නෙවෙයි. අපි මේක කතා කරලා බලමු. මම දිස්ත්‍රික් ලේකම් හමුවෙන්න යනවා.”
සුනිල් හඳුන්නෙත්ති මුලතිව් ප්‍රදේශයේ සංචාරයක නිතර විය. ඒ අතරතුර වැලිඔය ප්‍රදේශයේ නැවත පදිංචි කළ ගම්මානවලද ජීවත් වන ප්‍රදේශවාසීන් හමුවීමට ගියේය. සපුමල්පුර, නාමල්පුර, හංසවිල, මොණරවිල වැනි ප්‍රදේශවල සංචාරය කිරීමට සුනිල් හඳුන්නෙත්තිට හැකිවිය.
“මන්ත්‍රීතුමා අපි හොඳට ජීවත් වුණු මිනිස්සු අපිට ගෙවල් දෙනවා ඉඩම් දෙනවා කියලා අපිව මෙහෙ ගෙනත් දැම්මා. ගෙවල්වලට උඩින් ලයිට් කණු යනවා. අපි කුප්පි ලාම්පුවෙන් තමයි කාලේ ගෙවන්නේ. සමහර අය බදුල්ලේ, මහියංගනේ අය ඉන්නවා. නිමල් සිරිපාල මහත්තයා තමයි ගෙනත් දාලා තියෙන්නේ.” ගම්වැසියෙක් හඳුන්නෙත්තිට දුක්ගැනවිල්ලක් කීවේය.
“වගා කරන්න ඉඩම් අක්කරයක් දෙනවා කිව්වා. අපිට ඉඩම් දුන්නේ නැහැ. වගාකරන්න තියා බොන්න වතුර නැහැ. වකුගඩු රෝගයෙන් සමහරු මැරෙනවා. ළමයිට ඉස්කෝලේ යන්න බස් එකක් නැහැ. බයිසිකල්වලින් ගිහින් දාන්නේ. හොඳට හිටපු අපි මෙහෙ ගෙනත් දාලා දුක් විඳිනවා. මේ අය ඡන්දය බලාගෙන තමයි අපිව ගෙනත් දැම්මේ. අපිට දැන් ඒක තේරෙනවා” තවත් කාන්තාවක් කීවාය.
“අපි ඇවිත් අවුරුදු දෙකහමාරක් වෙනවා. තාම මන්ත්‍රී කෙනෙක් ආවේ නෑ අපිව බලන්න. ආවේ ජේවීපී එකෙන් විතරයි. අපි ආයේ කාටවත් ඡන්දේ දෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ දැන් වනචාරී යුගයට යන්න. අපිට අපේ ගම්වලට යන්න බැහැ ලැජ්ජයි. සමහරු එහෙ ගම්වලින් සල්ලි ගෙනත් මෙහෙ ජීවත් වෙනවා. ගෙනාපු ඇඳුම් ටික ඉවර වුණාම ඇඳුම් නැතිව තමයි අපිට ඉන්න වෙන්නේ” තවත් තරුණයෙක් කෝපයෙන් මෙන් කියාගෙන ගියේය.
“නාමල් රාජපක්ෂලා, නිමල් සිරිපාලලා තමන්ගේ බලය ගැන විතරයි හිතුවේ. මිනිස්සු ගැන නෙවෙයි. අපි මේක කතා කරලා බලමු. මම දිස්ත්‍රික් ලේකම් හමුවෙන්න යනවා.” සුනිල් හඳුන්නෙත්ති ගම්වැසියන් අස්වසාලමින් කීවේය. විදුලිය ලබාදීම සඳහා ගෙනා උපාංගවලින් එම ගම්වල කුඩා දරුවන් සෙල්ලම් කරන ආකාරයද මන්ත්රීවරයාටද දැකගැනීමට හැකිවිය.
අනතුරුව මන්ත්‍රීවරයා දිස්ත්‍රික් ලේකම්වරයා සහ එම ප්‍රදේශයේ මහවැලි ව්‍යාපෘතිය භාර අධ්යක්ෂවරයාද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කළේය. අනතුරුව එම පළාත් බාර විදුලි අධිකාරීවරයාටද දුරකථනයෙන් අමතා විදුලිය ලබාදීම පිළිබඳව අවධානය යොමු කරවීය.