Back to Top

අනුරගෙන් මුස්ලිම් සභාවට පිළිතුරු ලිපියක්

May 22, 2015  



ජවිපෙ පසුගිය නමවෙනිදා විල්පත්තු අභය භූමියේ වන සංහාරය පිළිබඳව සොයා බැලීමට සංචාරයක් කළේය. එම නීරීක්ෂණ චාරිකාවෙන් පසුව නැවතත් විල්පත්තු වන සංහාරය පිළිබඳව කතාබහ උණුසුම් වන්නට පටන් ගත්තේය. මේ අතරතුර ශ‍්‍රී ලංකා මුස්ලිම් සභාව විසින් මේ සංචාරය පිළිබඳව සඳහන් කරමින් ජවිපෙ නායක අනුර දිසානායකට ලිපියක් යොමු කළේය. එම ලිපියෙන් කියැවුණේ ජනතා විමුක්ති පෙරමුණ සිංහල අන්තවාදීන් විසින් ගෙන ගිය මතයට නොමග ගොස් ඇති බවත් විල්පත්තු සංචාරය කළේ ඒ නිසා බවත්ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අන්තර් ජාලයේ ඇතුළු විවිධ මාධ්‍යවල ප‍්‍රවෘත්ති වාර්තා පළවිය. මේ සම්බන්ධයෙන් මුස්ලිම් සභාව වෙත පිළිතුරු ලිපියක් යොමුකිරීමටද ජවිපෙ නායක අනුර දිසානායක කටයුතු කළේය.


“යුද්ධය අවසන් වීමෙන් මාස 06ක පමණ කාලයක් තුළ එම ප‍්‍රදේශවල ජීවත්වූ ජනතාව නැවත පදිංචි කිරීමේ අවශ්‍යතාවය මුලින් ආණ්ඩුවට අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණය. ශ‍්‍රී ලංකා යුද හමුදාව අත්පත් කරගෙන සිටි ඉඩම් පවා ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා ලබාදිය යුතු බවද අවධාරණය කළේ ජවිපෙය. නිවාස අහිමි වූ ජනතාවට පදිංචිය සඳහා ඉඩම් ලබාදීමේදීද ඊට කිසිදු ජාතිකත්ව භේදයක් අවශ්‍ය නොවේ. ජනතාවට උපරිම සහන ලබාදිය යුතුයි යන ස්ථාවරයේ එදා සිටම අප පක්ෂය සිටි බව නොරහසකි. නමුත් දේශපාලන බලය පාවිච්චි කරමින් වන රක්ෂිත නැවත පදිංචි කිරීමට යොදා ගැනීම ගැටලූ සහගතය. වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරාවිද්‍යා ආඥා පනත සහ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත වැනි පාරිසරික නීති රීති නොසලකා මෙම ජනාවාස සඳහා එළිකිරීම් සිදුවෙමින් තිබේ. අප මෙම සිදුවීමට මැදිහත්වූයේ මේ ස්ථාවරයේ සිටය.


ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි ජාතිවාදී මඩ ගොහොරුවලට නොවැටෙමින් ඉතිහාසය පුරා කටයුතු කළ අයුරින්ම ඉදිරියටද අන්තවාදයකට හෝ ජාතිවාදයකට නොවැටෙන බවත් කිසිදු ජාතිවාදී හෝ ආගම්වාදී කණ්ඩායමකට තම පටු අරමුණු වෙනුවෙන් ජ.වි.පෙ. නොමඟ යැවිය නොහැකි බවත් සහතික කරමු. එසේම කිසිදු විටක අප ප‍්‍රශ්න දෙස බලද්දී ජාතිවාදී පදනමක් මත පිහිටා කටයුතු නොකරන බවත් සියලූ ලාංකේය ජනතාවගේ සමාන අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් අපි වැඩිදුරටත් අවධාරණය කරමු.” අනුර දිසානායක තම ලිපියෙන් අවධාරණය කළේය.



MOST VIEWED VIDEO STORIES

MORE >>