Back to Top

හොරාට කලින් කෙසෙල්කැන වැට පනින්නේ ඇයි?

May 19, 2015  

තමනට බලය ඇති විට මහත් උජාරුවෙන් ගර්හාවට ලක් කළ ආයතනයන්හී පිහිට පැතීමට බලය අහිමිව මහ කලක් යාමට පෙර යමකු හට සිදුවන්නේ නම් අප එය සැලකිය යුත්තේ දෛවයේ සරදමක් ලෙසද? කලකම් පලදීමක් ලෙසද? පිරිහී ඇති තරම ලෙසද? නැතිනම් ලැජ්ජ නැතිකම ලෙසද?


    උත්තරය කවරක් වුවද දැන් පරාජයට පත් රාජපක්ෂ බල ඇණිය කරමින් ඉන්නේ නම් එයමය. පසුගිය ජනපතිවරණයට පෙර ජිනීවා යන අති දුෂ්ට අක්ෂයට තොරතෝංචියක් නැතිව බැණ වැදුන, ජිනීවා විදුලි පුටුව ගැන කෙලකෝටියක් කතන්දර කියූ, මානව හිමිකම් සම්බන්ධයෙන් එවක විපක්ෂයේ දෙමළ දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් ජිනීවා යන්නට සැරසෙනවිට එය දේශද්‍රෝහී දුෂ්ට ක‍්‍රියාවක් සේ නිර්වචනය කළ රාජපක්ෂ ඇණියේ බලවත් සෙබලකු වන බන්දුල ගූණවර්ධන ආණ්ඩුවට විපක්ෂ දේශපාලකයන්ගෙන් පලිගන්නේ යැයි කියමින් දැන් ජිනීවාම යන්නට සැරසෙන බව අපට දැන ගන්නට ලැබුණේ පුවත්පත් හරහාය. තත්ත්වය එසේ නම් මේ වන විට ඇත්තේ පෙර තිබූ දුෂ්ට ජිනීවා ආයතනය නොවිය යුතුය. අපට බන්දුල හිටපු ඇමතිවරයාගෙන් අසන්නට ඇත්තේ මෙයයි. මෙවන් කතා කියන්නේ රෙදිත් ඇඳගෙනද?


    දැන් රාජපක්ෂගේ ඇට්ටඹි සට්ටඹි බලකාය ලෝකයට පෙනවන්නට හදන්නේ මෙතෙක් ලොව බිහිවූ දුර්දාන්තම පාලනය මෛත‍්‍රී ජනපති වූ පසුව පිහිටවූ එක බවයි. එහි විරුද්ධාර්ථය වන්නේ මෙතෙක් බිහිවූ හොඳම හා ප‍්‍රගතිශීලීම ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව යන්නයි. ඉතින් අප මේ මහත්වරුන් ගෙන් ඉල්ලන්නේ වැඩිය මහන්සි නොවී පසුගිය රාවයේ සුනන්ද දේශප‍්‍රිය ගේ ලිපිය කියවන ලෙසටය. එවිට කාටත් පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තරම දැනගත හැකිය. පාලකයන් එවක හැසිරුණ ආධානග‍්‍රාහී විලාශය ගැන උදාහරණ ඇවැසි නම් පන්සිය පනස් ජාතකය වැනි විසල් පොතක් පුරවා ඒ විස්තර ඉදිරිපත් කළ හැකිය.


    තමන්ට එරෙහිව ජනපතිවරණයට ඉදිරිපත් වීමේ වරදට රාජපක්ෂ බලඇණිය විසින් නීතිය අවභාවිතවේ යොදවමින් අත්නෝමතික ලෙස කටයුතු කරද්දී ෆොන්සේකා හට අද ගෝඨාභය රාජපක්ෂට ලැබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබුණේ නැත. ඒ වෙනුවට සිදුවූයේ කැකිල්ලේ අධිකරණවලට පවා නෛතික පිළිගැනීම ලැබෙන සේ සිය බලය පාවිච්චි කිරීමයි. එවක නීතියේ හැසිරීම ගැන දැනගැනීමට ඇවැසි නම් අප මේ මහත්වරුන්ට ආරාධනා කරන්නේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාට එරෙහිව වික්ටර් අයිවන් විසින් දියත් කළ අරගලය මුලසිට කියවන ලෙසටය.


    අද ගෝඨාභය යන අධිකරණයට එදා ඔවුනට එරෙහිවූ අයට යාමට ලැබුණේ නැත. එසේ යාමට තැත් දැරුවේ නම් බොහෝවිට ප‍්‍රතිචාර ලැබුණේ බිය දනවන ආකාරයටය. ඒ කාලයේ කෑගල්ලේ පැවති විකල්ප රැස්වීමකදී ප‍්‍රාදේශිය වාර්තාකරුවකු අත්විඳි තත්ත්වය මගේ මිත‍්‍රයකුට පවසනු ලදුව ඔහු මට පවසා සිටියේය. ඔහු පවසා තිබුණේ රජයේ ඊනියා සංවර්ධන වැඩක් ගැන තොරතුරු රැස් කිරීමට ගිය තමාට සැන්දෑවේ නිවසටම පැමිණි නාඳුනන පුද්ගලයන් තර්ජනය කළ බවයි. තමාගේ මෙන්ම තම පවුලේද පැවැත්ම ගැන සිතා ඔහු කර ඇත්තේ ඒ ගැන පැමිණිලි කිරීමට නොයා සිටීමෙන් නොනැවතී අදාළ වාර්තාවද ලිවීමෙන් වැළකී සිටීමයි. එදා පැමිණියේ යැයි කියන නාඳුනන පුද්ගලයන් විසින් අසන ලද එක් ප‍්‍රශ්ණයක් මෙපරිදිය. "ආ දරුවොත් ඉන්නව නේද. ඉතිං ඉස්සරහට මේ දරුවන්ට තාත්ත කෙනෙක් ඉන්නත් එපායැ?."



    මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස සිහිනෙන් අවදිවූවන් සේ දැන් පවත්නා භීෂණයක් ගැන නන්දෙඩවූවද ගෝඨාභයලාට නිදහසේ යාමට අද අධිකරණය විවෘතව පැවතීමම දැන් පවත්නා තත්වයේ නිදහස ගැන සාක්ෂි සපයයි. සරත් ෆොන්සේකාට සැලකූ ආකාරයට පසුගිය ආණ්ඩුවේ තක්කඩිනටද සලකන ලද්දේ නම් හොරුනට දඬුවම් පමා වීම ගැන විස්සෝප වන ජනයාට එය සතුටට කරුණක් වනු ඇත. මේ වන විටද ජනතාව අසන්නේ හොරු ඇල්ලීම මෙතරම් පමා ඇයිද යන්නයි. ඉදින් මේ ශුද්ධවන්තයන් තේරුම් ගත යුත්තේ තමනට නීතිය හමුවේ අද ලැබෙන්නේ තමන් යටතේ අනෙකකුට නොලැබුණ යුක්තිය හා සාධාරණත්වය බවයි. මානවයන් සඳහා වන නීතියේ රැකවරණ පවා නොසුදුසු යයි පෙනෙන තරමටම බලයෙන් අන්ධව ගිය පිරිස් අද අධිකරණයේදී ලබන යුක්තිය ගැන ස්තුති කළ යුත්තේ සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් කළ ලක්ෂ හැටදෙකක ජනතාවටය.


    තමනට කෙතරම් අසාධාරණයක් වන්නේදැයි පෙන්වීමට කෙතරම් තැටමුවද තවමත් පෙර පරිදිම ඊනියා නිදහස භුක්ති විඳින්නේ අන් කවුරුත් නොව රාජපක්ෂවාදීන් බව වටහා ගැනීමට ඇති හොඳම උදාහරණයක් වන්නේ මැයි පෙළපාලියේදී නිර්මාල් හා කුමුදු ට පහර දීමේ සිද්ධියයි. තමන් කෙතරම් ආධානග‍්‍රාහීද යත් මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරනා වාසුගේ පවා ඊට විරෝධයක් පළවුනේ නැති. එහෙත් කිසියම් දූෂණයක් ගැන ප‍්‍රකාශයක් දීමට අධිකරණයට, අල්ලස් කොමිසමට හෝ පොලිසියට කැඳවනු ලැබූ සැණින් මේ අයගේ කටවලට පණ එන්නේ හිට්ලර්ටත් අන්ත ඒකාධිපතිවාදයක් වත්මන් පාලනයෙන් එල්ලවන්නේ යයි කියමිනි.


    මේ ඊනියා ශුද්ධවන්තයින්ගේ තක්කඩි ක‍්‍රියා පිළිවෙත් අප තව කොතෙක් කලක් ඉවසා සිටිය යුතු දැයි යුක්තිය අගයන ජනතාව දැන් කල්පනා කළ යුතුය. අප ජනවාරි අටවනදා ලබා ගත් වෙනස වෙනුවෙන් අති දුෂ්කර තත්ත්වයන් යටතේ අරගල කළේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීන්ගේ දුක්ගැනවිලි අසමින් ඉන්නට නොවේ. නීතිය ඉදිරියේ යුක්තිය පැතීමට මේ සියළු කාපාලූවන්ට ඇති හිමිකම ආරක්ෂා කරන ගමන් සාධාණ ක‍්‍රියාවලියක් යටතේ  සියලූ වගකිවයුත්තන්ට උපරිම, උපරිම දඬුවම් ලැබෙන බවට වග බලා ගැනීමටය. ඒ ක‍්‍රියාවලියේදී යම් අසාධරණයක් හෝ පක්ෂග‍්‍රාහී බවක් පෙනේ නම් චූදිතයාගේ අයිතිය වෙනවෙන් පෙනී සිටීමටද මෛත‍්‍රී පාලනය වෙනුවෙන් ලාභාපේක්ෂාවෙන් තොරව කටයුතු කල  සියලූ දෙනා සූදානම් බව ඉතා පැහැදිලිය. එහෙත් යුක්තියේ නාමයෙන් හැංගිමුත්තං කෙළීමට ඔවුන් සූදානම් වන්නේ නම් අප වහා ජනතා බලය ඉදිරියට ගත යුතුය.


    කියුබානු විප්ලවයේ ජයග‍්‍රහණයෙන් පසු කස්ත්‍රෝගේ නව ආණ්ඩුව විසින් දියත් කරන ලද එක් පළමු පියවරක් වූයේ බැටිස්ටා ගේ පාලනය යටතේ වැරදි කළ අයට දඬුවම් දීම සඳහා අධිකරණ ක‍්‍රියාමාර්ග ආරම්භ කිරීමයි. එහිදී නව පාලකයන් කළේ හොඳම නීතිවේදීන් ගේ සහය ලබා ගැනීමට චූදිතයන්ට ඉඩ සැලසීමයි. එසේ පවත්වන ලද අධිකරණ කි‍්‍රයාමාර්ග වලින් පසුව වැරදිකරුවන් වූ පුද්ගලයන්ට දඬුවම් දීමේදී කස්ත්‍රෝගේ පාලනය බිඳකට හෝ පසුබට වූයේ නැති. මේ ගැන තොරතරු ඇවැසි කෙනකු කළ යුත්තේ කියුබානු අරගලය ගැන චේ ෆිදෙල් ඇතුළු බොහෝ අය විසින් රචිත ලේඛණ කියවීමයි. අනෙක් අතට භාහිරින් කස්ත්‍රෝගේ පෙනුම නඩත්තු කරන වාසු , කස්ත්‍රෝගේ කබාය ඇඳීමට ප‍්‍රිය කරන විමල්, කස්ත්‍රෝ අගය කරන්නට පසුබට නොවන, චේ ගේ නිවසට පවා ආඩම්බරයෙන් විමල් සමග ගොඩවැදුන හිටපු ජනපති මේවා නොදන්නේ යැයි කෙසේ කියන්නද?


පසුගිය කාලය පුරාම මහින්ද රාජපක්ෂ, ගෝඨාභය ඇතුළු ඔවුන්ගේ මතය දරන්නන් සැම විටම ඉතා දැඩි දඬුවම් ඉල්ලා සිටියේ රටේ දේශද්‍රෝහීන්ටය. අවාසනාවට මෙන් මේ වන විට හෙළිවන තොරතුරු අනුව දැන් පවතින්නේ මෙතෙක් දේශපේ‍්‍රමී කබායෙන් සැරසී සිටි උදවිය කෙතරම් දේශද්‍රෝහී හා ජනතා විරෝධී ලෙස කටයුතු කර තිබෙන්නේද යන්නයි. ඉතින් තමන් විසින් කර ඇති මූල්‍ය ඇතුළු අපරාධ පිලිබඳ තම නිර්දෝශිභාවය ඔප්පු කිරීමට අසමත් නම් ඔවුන් වරෙක තමන් කී පරිදිම දේශයට ද්‍රෝහී වීම ගැන දඬුවම් විඳිය යුතුමය. රටක පාලක පංතියට කළ හැකි අන්ත දරුණුම ද්‍රෝහීකම වන්නේ රටේ ජනයාගේ සුභසිද්ධිය පිණිස වන සම්පත් මංකොල්ලකෑමයි. මේවන විට ලැබෙන තොරතුරු වලින් කියවෙන්නේ එය අපට හිතාගැනීමටවත් බැරිතරම් දරුණු තත්ත්වයක් බවයි.

 
    අද වන විට දක්නට ලැබෙන තත්ත්වය අනුව පෙනෙන්නට ඇත්තේ මහින්ද පාර්ශවය දහනව වැනි සංශෝධනයටත් වඩා තැති ගැනී ඉන්නේ මූල්‍ය අපරාධ පිළිබඳව විමර්ශනය කිරීමට ස්ථාපිත කර ඇති පොලිස් ඒකකයට බවයි. කාරණය ඉතා පැහැදිලිය. හොරාට පෙර කැන වැට පැන හමාරය. මේ දිනවල ඔවුන් වියරුවෙන් මෙන් මොර දෙන්නේ අන් කිසිවකට නොව තමන් ගේ බලය යටතේ කෙරුණ දූෂණ හා වංචා හෙළිදරවු වීම වළක්වා ගැනීමටය.


    මේ වනාහී ජනතාව වශයෙන් අප වහා ඉදිරියට ආ යුතු මොහොතකි. එසේම සියළු පුරවැසි සංවිධාන ජනතාව සංවිධානය කළ යුතු මොහොතකි. අදාළ පොලිස් ඒකකය නවතාලීමට හිටපු පාලකයන් දරණ උත්සාහය පරාජය කිරීමට මෙන්ම වඩා විධිමත් හා කාර්යක්ෂම අයුරින් එය ක‍්‍රියාත්මක කෙරෙන බවට වග බලා ගැනීමට නව ආණ්ඩුවට බල කිරීමට ජනතාව වහා පෙරට ආ යුතුය.     ඉදිරියේදී වඩා යුක්තිගරුක රටක ජීවත් වීමට ඇවැසි නම් ජනතාව වශයෙන් අප සෑම මොහොතකම අවදිවූ මනසින් පසුවීම අත්‍යවශ්‍යය.


 පාලකයන් සියල්ල කරනු ඇතැයි බලා සිටීමට වඩා ඔවුන්ගේ පියවර ගැන විමසිල්ලෙන් පසුවීමත් අවශ්‍ය තැනකදී ඔවුනට නියම පියවර ගැනීමට බල කිරීමත් ජනතාවගේ වගකීමයි. ඉදින් රටේ පාලනය හෙබවූ කම්බ හොරුනට නිසි දඬුවම් දීමට නව ආණ්ඩුව යම් මොහොතක පසුබට වන්නේ නම් අප වහා ඊට එරෙහි විය යුතුය. මේ වන විට පෙනෙන්නට ඇති තත්ත්වය වන්නේ වංචාකරුවන්ට එරෙහිව යම් ක‍්‍රියාත්මන වීමක් ආණ්ඩුව පැත්තෙන් දක්නට ලැබෙන බවකි. එහෙයින් අපේ උපරිම සහය ඊට හිමිකර දිය යුතුය. එසේම යම් අවස්ථාවක එය නවතින්නේ හෝ බාල වන්නේ නම් අප ජනතාව ලෙස ඊට එරෙහිව වීදි බැසීමට වුව සූදානම්ව සිටිය යුතුය. අප මේ පසු කරන්නේ ජනතාව ඉහළම ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ යුතු අවස්ථාවක් බව අප අමතක නොකළ යුතුය.




-නුවන් උදය වික‍්‍රමසිංහ


MOST VIEWED VIDEO STORIES

MORE >>