Back to Top

මහින්දගේ කට්ටිය පාර්ලිමේන්තුවේ කචල් දාලා පනත පස්සට දානවා

April 24, 2015  


පසුගිය විසිදෙවැනිදා ජවිපෙ දේශපාලන මණ්ඩලය රැස්වුණේ ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදීය. එහිදී ප‍්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට බඳුන් වූයේ, 19වැනි සංශෝධනය පිළිබඳව මේ වන විට රට තුළ ගොඩනැගී ඇති සංවාදය පිළිබඳවය. ඒ වගේම විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් 19 සංශෝධනයට අකුල් හෙළීම පිළිබඳවද දැඩි අවධානයක් යොමු විය. මෙහිදී අදහස් දක්වමින් ජවිපෙ නායක අනුර දිසානායක මෙසේ කියා සිටියේය.


”විධායක ජනාධිපති ක‍්‍රමය එක්ක මැතිවරණ ක‍්‍රමය බැඳිලා කියලා ශ‍්‍රීලනිපය තර්කයක් ගෙඩනගන්න හදනවා. ඒත් දහනවයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වෙන්නෙ නැහැ. ඒ නිසා මැතිවරණ ක‍්‍රමයත් ඒ එක්කම සංශෝධනය වෙන්න  ඕනෙ කියන තර්කය වැරදියි.” මේ සංවාදයට එක්වූ ටිල්වින් සිල්වා ”එක අතකින් මැතිවරණ ක‍්‍රමය දාලා මේක පස්සට දානවා. මහින්දගේ කට්ටිය පාර්ලිමේන්තුවේ කචල් දාලා පනත පස්සට දානවා.”යි කීය.

 ”ශ‍්‍රීලනිපයේ යෝජනාවක් විදිහට හදිසි පනතක් ගේන්න යනවා, 20වැනි සංශෝධනය හැටියට.” විජිත හේරත් තමන්ට දැනගන්නට ලැබුණු අදහසක් පැවසීය. ”එයාලගේ පක්ෂයේ බල වුවමනාවට අනුව හැදෙන සූත්තර රටේ පොදු වුවමනාව නෙමෙයි. කාටත් එකඟවෙන්න පුළුවන් වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී එකක් තමයි ගේන්න  ඕනෑ.” ටිල්වින් සිල්වා අවධාරණය කළේ මේ සංවාදය අතරතුරය.


මේ අතර ලාල්කාන්ත පෙන්වා දුන්නේ ශ‍්‍රීලනිපය 19ට ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසියයි. ”මේක රටේ ජනතාවගේ වුවමනාවන්ට කරන පැහැදිලි තර්ජනයක්. මේ යෝජනා ඇතුළේ තියෙන්නෙ කිසිම දෙයක් නොකෙරෙන තැනට වැඩ හදන එක. 19 සම්මත කරන්න මෛත‍්‍රීපාලටත් උවමනාවක් නැති බවයි පේන්නේ.” අනතුරුව කරුණු දක්වූයේ අනුර දිසානායකය.

”මේ තර්ජන ගැන ජනාධිපතිතුමා බලාගන්න  ඕනෙ. එතුමනෙ පොරොන්දු දුන්නෙ අහෝසි කරනවා කියලා. එතුමා ශ‍්‍රීලනිපයෙ සභාපතිනෙ. තමන්ගෙ පක්ෂෙ ඒ වෙනුවෙන් එකඟ කරගන්න එක එතුමගෙ වගකීම.” ”මේක ජනතාවට පස්ස හැරවීමක්. මේ ගැන අපි විරෝධයක් හදන්න  ඕනෑ. අපි පෝස්ටර් ව්‍යාපාරයක් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන්න  ඕනෑ” ටිල්වින් සිල්වා යෝජනා කළේය.

”ඔව්. මේක රටට කියන්න  ඕනෑ. මේ කුමන්ත‍්‍රණය හෙළිකරන්න  ඕනෑ” විජිත හේරත් යෝජනා කළේ සංවාදය අවසානයේය. ඒ අනුව ජවිපෙ ‘19 සම්මත කිරීමට බාධා කරන කුමන්ත‍්‍රණ පරදවමු’ ‘ජනමතයට හිස නමනු! 19වන සංශෝධනය සම්මත කරනු’ මැයෙන් රට පුරා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කළේය. කොළඹදී උද්ඝෝෂණයක්ද සූදානම් කළේය.


              


MOST VIEWED VIDEO STORIES

MORE >>