Back to Top

වෙන්ඩ මහින්දලා තේරුම් ගතයුත්තේ කුමක්ද?

April 17, 2015  

අමුම අමු තක්කඩියනට දේශපාලකයන් යයි කීමේ අමනකමට වන්දි ගෙවීම සඳහා දැන් යළිත් අපට අවස්ථාව උදාවෙමින් තිබේ. නිදහසින් පසුව දිගින් දිගටම රටේ අනාගතයේ නාමයෙන් වසර පහ හයකට වරක් බැගින් රටේ ඉන්නා අවස්ථාවාදීන්ට හරිහම්බු කර ගැනීමට රැකියාවක් ලබා දීම බවට පිරිහෙලන ලද දේශපාලනය මේ වන විට අපේ පමණක් නොව අනාගත පරම්පරවල් ගණනාවක ජීවිත බිලි ගන්නා භයානක මට්ටමට පැමිණ හමාරය.


 ලාංකීය ඉතිහාසයේ අතිශය ඛේදවාචීම ඉරණම අපේ හිස් මත එල්ලෙමින් තිබියදී ජීවිත පරදු තබමින් රටේ ජනතාව විසින් දරණ ලද ප‍්‍රයත්නය දැන් තිබෙන්නේ සිහින් නූලකින් අගාධයක් මත එල්ලෙමිනි. මේ මොහොතේ එය රැක ගැනීමට සටන් නොකර ඉවත බලා ගැනීම යනු නියත වශයෙන්ම අපේ දරුවන් කැරලිකරුවන් බවට පත් කිරීම සඳහා දායක වීමක් බව නිසැකය.


    බලය විසින් දේශපාලකයන් හට කරනු ලබන විකෘතිය වටහා ගැනීමට උදාහරණ  ඕනෑවටත් වඩා අප ඉදිරියේ තිබේ. ඒ අතරිනුත් හොඳම උදාහරණය අපට සපයන්නේ අන් කවුරුත් නොව මහින්ද රාජපක්ෂමය. ඔහුගේ දේශපාලන ගමන් මග විචාරාත්මකව බලන්නේ නම් අද ඔහු අපට සපයන්නේ දේශපාලකයෙකු නොවිය යුත්තේ කවරෙක්ද යන්නට හොඳම උදාහරණය බව පැහැදිලි වනු ඇත්තේය.  සිය දේශපාලන දිවියේ ස්වර්ණමය අවධිය ගෙවු අසූව දශකයේ මහින්ද රාජපක්ෂ යනු ජනතාවගේ බලය කෙරේ උපරිම විශ්වාසය තබමින් කටයුතු කළ දේශපාලකයෙකි. එකල ඔහු බලයට ඒම සඳහා අනුගමනය කළේ අයුත්තට එරෙහිව ජනතාව සංවිධානය කිරීමේ මාර්ගයයි. පා ගමන්වල සිට ජිනීවා දක්වා ගිය ගමනේදී ඔහු නිරතුරුවම පෙනී සිටියේ ජනතා පරමාධිපත්‍යය වෙනුවෙනි. පේ‍්‍රමදාස පාලනයට එරෙහිව චන්ද්‍රිකා බණ්ඩාරනායක, වාසුදේව, දිනේශ් ඇතුළු විවිධ දේශපාලකයන් මෙන්ම සෝභිත හිමි , ජවිපේ වැනි පාර්ශවද රටේ විවිධ වෘත්තිකයන්ද කඳවුරු බඳිද්දී මහින්ද රාජපක්ෂද උන්නේ ජනතාව සංවිධානය කිරීම හරහා දුර්දාන්ත පාලකයන් එලවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අයිතිය ලෙස පිළිගනිමිනි. අවසන ජනපති පුටුව දක්වා ඔහුට පාර කැපෙනුයේ ඒ ඉතිහාසයේ අනුහසිනි. එහෙත් ජනහිතකාමී දේශපාලකයකු ලෙස
ඉතිහාසයට එක්වනු වෙනුවට රාජපක්ෂ නම් දේශපාලකයා ජනපති පුටුවෙන් බස්සවා හරින ලද්දේ ලාංකීය ඉතිහාසයේ අති දුර්දාන්තම ව්‍යුහාත්මක වෙනස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක්කළ පාලකයා ලෙසිනි.


රටේ විනාශයට පාර කැපීම සඳහා අත්තනෝමතික ව්‍යවස්ථාවක් හඳුන්වා දීමෙන් ජේ ආර් ජයවර්ධන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එක් කළ කැළල මහින්ද රාජපක්ෂ ජනපති විසින් දහඅටවැනි සංශෝධනය මගින් දරුණු පිළිකාවක් බවට පත් කරමින් තම නම ඉතිහාසයට එක් කළේ බලය උදෙසා කවර අත්තනෝමතිකකමක් වුව කිරීමට තමන් නොපැකිලෙන බව මනාව ඔප්පු කරමිනි. එපමණක් නොවේ. ඔහු විසින් දහඅටවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරවා ගැනීමට ගනු ලැබූ කි‍්‍රයා මාර්ගය ලංකාවේ එතෙක් ජවසම්පන්න දේශපාලකයන් ලෙස සිටි බොහෝ දෙනකු  නපුංසකයන් බවට පත් කල අයුරු ඉතිහාසයේ ලියවී හමාරය.


දහ අටවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් මහින්ද රාජපක්ෂ තමන් කවරාකාරයේ බල ලෝභී දේශපාලකයකුද යන්න ඔප්පු කළා පමණක් නොව ජනතාව වෙනුවෙන් පෙනී සිටීම යනුවෙන් තමන් විසින් දිනා
සිටි කීර්තිනාමය පාගා දමමින් බලය උදෙසා තමන් එතෙක් ආ ගමන් මගේ යථා ස්වභාවයද හෙළිදරවු කර සිටියේය.



     ඔහු සිය දේශපාලන ගමන් මගේ අවසාන අදියරට එළඹෙන විට තමන් නිරුවත් කර ගනිමින් ඉන්නේ විසුළු සහගත ලෙසිනි. මේ වන විට ඔහු හුදු පෙනුමට හෝ ජනතා බලය විශ්වාස කරන බවක් නොපෙන්වයි. ඒ වෙනුවට ඔහු විශ්වාස කරන්නේ තම බලය වසර දෙකකට පෙර අහිමි කර දීමට මහෝපකාරී වූ මිථ්‍යාදෘෂ්ටික කේවට්ටයන් රැළකි. යළිත් රටේ බලය උදුරා ගැනීම සඳහා කුමන්ත‍්‍රණකාරී දේශපාලන මගකට පිවිසෙමින් තමන් විසින්ම අනාගතය විනශකරන ලද වාසු - විමල් ඇතුළු කණ්ඩායම ඉත්තන් සේ ගනිමින් ඔහු ඉදිරිය බලන්නේ අවංක ස්වයං විවේචනයේ මග හරහා නොව දෙවියන් යකුන් මළ පෙරේතයන් ඇතුළු අදෘෂ්‍යමාන බලවේගයන්හී පිහිට පතමිනි. පසුගිය දිනවල පීකොක් මැදුර ආශ‍්‍රිතව අප දකින්නේ එයයි.  ඔහු තව දුරටත් විශවාසය තබන්නේ ජනතා බලය කෙරේ නොව ජනතා මතය වෙනස් කළ හැකි යයි ඔහු විශ්වාස කරන  නොපෙනෙන බලවේග ගැනය. මෙහි ඇති තියුණුම උත්ප‍්‍රාසය වන්නේ වාසු-ඩිව්-තිස්ස හා විමල් වැනි භෞතිකවාදීන් යැයි කියනා ඊනියා වම්මුද මහින්ද හිටපු ජනපතිගේ මේ මිථ්‍යාදෘෂ්ටික සෙල්ලම් දැක දැක ඔහු රටේ පහල වූ අසහාය ජනතා වීරයා ලෙස නිර්වචනය කිරීමට යාමයි.


    පසුගිය ජනපතිවරණයේදී පොදු විපක්ෂය විසින් පෙරට ගන්නා  ලද මහින්ද විරෝධය හුදෙක් පුද්ගල විරෝධය
ඉක්මවා ගිය සටනක් වූවේ බොහෝ අගතීන් ට එරෙහි පෙරමුණක් නිර්මාණය කරමිනි. ඒ පෙරමුණ මහින්ද ගේ පරාජය මෙන්ම ඔහු විසින් උත්කර්ෂයට නංවන ලද ඊනියා දේශපේ‍්‍රමය, ආගමික අන්තවාදය ඇතුළු අන් බොහෝ විනාශකාරී සාධකයන්ගේ පරාජයද අපේක්ෂා කළ ජනතාවට සෙවණ වූවේය. සැබැවින්ම ඒ වනාහී දේශපාලකයා පසුපසට දමා රටේ ජනයා සැබෑ වෙනසක් සඳහා පෙරට ආ මෙහොතයි. ඒ සටනේදී ඔවුන් මහින්ද රාජපක්ෂගේ පාරජය මෙන්ම ඔහු විසින් ඉස්මත්තටම ගෙනෙන ලද ජරපත් ක‍්‍රමයේද නියත පරාජය ඉල්ලා සිටියෝය. ඔවුන් ඒ සටනේ නියැළුණේ හුදු මහින්ද කෙරේ වන වෛරයකින් නොවේ. ඔවුන් ගේ ඒකායන අපේක්ෂාව වූයේ මහින්දගේ පරාජය තුළින් ඔහුගේ ක‍්‍රමයද පරාජය කර වඩා දියුණු ව්‍යුහාත්මක සංශෝධනයක් හඳුන්වා දීමයි. අත්තනෝමතික බලය වෙනුවට ජනතාවට සාපේක්ෂව වැඩියෙන් වග කියනා දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඒ සටනේ මුඛ්‍ය සටන් පාඨය බවට පත් වූයේ අහම්බයකින් නොවේ. ඒ ජනතාව තුළ පැවති අපේක්ෂාවයි.  ඔවුන් ගේ අභිලාෂය වී තිබුණේ යළි ඉදිරියේදී මහින්ද රාජපක්ෂ නොව කවුරු බලයට පැමිණියද පෙර තිබූ අත්තනෝමතිකකම් කිරීමට
ඉඩ නොලැබෙන අයෝමය රාමුවක් සැකසීමයි.



     දැන් යළිත් මහින්ද මෙන්ම ඔහුට එරෙහිව කඳවුරු බැඳි අනෙක් බොහෝ දේශපාලකයන්ද ගඟේ යැවීමට උත්සාහ දරන්නේ ජනතාවගේ ඒ අව්‍යාජ අපේක්ෂාවයි. මේ වන විට බලයේ ඉන්නා බොහෝ දේශපාලකයන් ගේ ක‍්‍රියා පිළිවෙත් දකිනා විට සිතෙන්නේ ඔවුන් ගේ සූදානම මහින්ද පමණක් නැති එහෙත් ඔහුගේ ජඩ ක‍්‍රමය රැකී තිබෙනා පරිසරයක් නිර්මාණය කරගැනීමට බවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු රනිල් වික‍්‍රමසිංහ බලය උදුරා ගැනීමට දරනා තැතකි යන නිර්ලජ්ජිත තර්කයේ සිට අන් බොහෝ ප‍්‍රකාශ සේවය කරන්නේ මේ ජඩ අරමුණට බව දැන් ඉතා පැහැදිලිය. තමන් සියළු දෙනා වේදිකා මත සිට එක හඬින් කළ ප‍්‍රකාශ පාගා දමමින් හුදු රනිල් විරෝධයක් ඉස්මතු කර දේශපාලන ප‍්‍රතිසංස්කරණ පරාජය කරදමා පැරණි ක‍්‍රමයම පවත්වා ගැනීමට තැත් දරනා සියළු දේශපාලතයන්ට උත්තර දීම සඳහා ජනතාව සංවිධානය කල යුතු මොහොත දැන් අප හමුවේ උදාව තිබේ.


    ජනතාව පසුගිය මැතිවරණයේදී එකහෙලා ඉල්ලා සිටියේ විධායක ජනපති ක‍්‍රමයේ මළගමයි. ඔවුන් ඊට මෙහා කිසිම විකල්පයක් ඉල්ලා සිටියේ නැති. එහෙත් පවතින පාර්ලිමේන්තුව තුළ පවත්නා තත්ත්වය ගැන ඔවුන්ට හොඳ අවබෝධයක් තිබූ අතරම තමන්ගේ ඉල්ලීම් කෙතරම් ප‍්‍රබල වුවද පවත්නා තත්ත්වයන් යටතේ ඒවා මදක් එහා මෙහා කිරීමට වුව ජනයා සූදානම්ව සිටියෝය. විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ නොහැකි නම් අඩු ගණනේ එහි තටුවත් කැපිය යුතුය යන විකල්පය ඉදිරියට එන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. එහෙත් දහ අට අහෝසි කිරීම, කොමිෂන් සභා පත් කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය වැනි කාරණා සම්බන්ධයෙන් කිසිදු හෙට්ටු කිරීමට ඉඩක් ජනමතය තුළ තිබුණේ නැති. දැන් පෙනෙන ආකාරයට දහනම වැනි ව්‍යවස්ථා සංශොධනය යළි යළි සංශෝධනය කරමින් උත්සාහ දැරෙන්නේ කෝඳුරු තෙල් හත් පට්ටයේ කාර්යයටය.



    පසුගිය ජනපතිවරණයේදී පොදු අපේක්ෂකයාට එරෙහිව ඡන්දය දුන් ජනතාව මෙගා මහින්දවාදය මෙන්ම එහි
කවරාකාරයේ වුව වෙනස් රූපාකාරයන්ද ප‍්‍රතික්ෂේප කළ බව දැන් බලයේ ඉන්නා පිරිස වටහා ගත යුතුය. එහෙයින් පොදු අපේක්ෂාවෙන් පිට පැනීමට ඔවුන්ට කිසිදු අයිතියක් නැති. ඔවුන කොන්දේසි විරහිතව බැඳී ඉන්නේ ජනතාව තමන් ඉදිරියට ගනිමින් ඉල්ලා සිටි ව්‍යුහාත්මක වෙනස ජයග‍්‍රහණය කරවීමටය. එයින් පිට පැනීමට දරනා කවර තැතක් වුව නිසැක ලෙසම ජනතා ද්‍රෝහී ක‍්‍රියාවකි. ඔවුන් එය වටහා ගත යුතුය. එසේම තමන් නිදා ඉන්නා විටද අවදියෙන් සිටි ජනතාවක් මහින්ද රාජපක්ෂ නම් අසීමිත බලයක් කේන්ද්‍ර‍්‍ර කරගත් පාලකයකු ගෙදර යැවීම සඳහා පෙරට ආ බවද ඔවුන් වටහා ගත යුතුය.


පොදු අපේක්ෂකයා පිළිබඳ සංවාදය ඇරඹෙන්නේද පාර්ලිමේන්තුව තුළ නොව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය,  පුරවැසි බලය වැනි සංවිධාන තුළ බව ඔවුන් කෙසේවත් අමතක නොකළ යුතුය. එපමණක් නොවේ මාධ්‍ය කැමරාව ඉදිරියේ සිටි පොදු අපේක්ෂකයා ඇතුළු පිරිස පළමුවෙන්ම වේදිකාවට ගොඩ වූවේද හයිඞ් පිටියේ පුරවැසිබලයේ රැස්වීමෙන් බවද මෙහිලා සිහිපත් කළ යුතුය. අප මේ අතීතය සිහිපත් කරන්නේ ගමේ ගොඬේ කියන්නාක් මෙන් ‘කුල කියවීමක්’ හැටියට නොවේ. ජනතා බලය යනුවෙන් දෙයක් ඇති බව අපේ දේශපාලකයන්ට සිහිපත් කිරීමටය. සදා නොවෙනස් පාක්ෂික ඡන්ද ඉතා විශාල ලෙස ඇතැයි සිතා දේශපාලනය කරන්නේ නම් එය ඔවුන් කරනා වරදකි. අද වන විට ලංකාවේ දේශපාලනය තුළ පාවෙන ඡන්ද ප‍්‍රමාණය ඇත්තේ වැඩි වෙමිනි. මහින්ද ගේ පරාජයට මේ ඡන්ද විසින් කෙරුණ බලපෑම විශාලය. ඉදින් අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී නොසිටිමින් ජනතා මතය පික්පොකට් ගැසීමට දේශපාලකයන්
සැරසෙන්නේ නම් ඔවුන් මේ තත්ත්වය සැලකිල්ලට ගත යුතුය.



 ජනතාව යනු කෙතරම් බලවත් අවියක් දැයි මහින්ද හිටපු ජනපතිට පෙන්වා වැඩි කලක් ගතව නැත. ඇවැසි නම් ඒ
ජනතාවට යළි ලිප්ටන් වටරවුමෙන් හයිඞ් පිටියෙන් අරගලය ඇරඹිය හැකි බව අමතක කිරීම බරපතළ දේශපාලන වරදක් වනු ඇත්තේය. මහින්ද මෙන්ම වෙන්ඩ මහින්දලාද මෙය වටහා ගැනීම යහපත්ය.




- නුවන් උදය වික‍්‍රමසිංහ



MOST VIEWED VIDEO STORIES

MORE >>