Back to Top

සිරිපාලටයි දිනේෂ්ටයි දෙන්නටම බැහැ

April 2, 2015  

19 කෙසේ හෝ සම්මත කළ යුතුයි

ජවිපෙ මධ්‍යමකාරක සභාව පසුගිය තිස්එක්වෙනිදා රැස්වුණේ පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදීය. එහිදී ජාතික විධායක සභාව 19 සංශෝධනය පිළිබඳ කතාබහට ලක්විය.

 ”ජාතික විධායක සභාව රැස්වෙන්නේ නැද්ද? දැන් 19 ගැන තියෙන තත්ත්වය මොකක්ද” සෝමවංශ අමරසිංහ අනුරගෙන් විමසීය.

”පහුගිය සතියේ රැස්වුණේ නැහැ. නමුත් අපේ‍්‍රල් දෙවැනිදා විධායක සභාව රැස්වෙන්න නියමිතයි. 19 සංශෝධනය සම්මත කර ගන්න ප‍්‍රශ්නයක් නැහැ. ඒත් සම්මත නොකර ඉන්න කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වෙනවා වගේ තේරෙනවා.” අනුර කීවේය.

”19 සංශෝධනයේ හොඳ දේවල් ටිකක් තියෙනවා. ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්න  ඕනෑ. ඒ වෙනුවෙන් ජනතා මතයක් හදන්න  ඕනෑ. ඒකට එරෙහිව කුමන්ත‍්‍රණයක් තියෙනවනම් ඒක පරාජය කරන්නත් උපරිම බලපෑම කරන්න  ඕනෑ. ඒ නිසා මේ ගැන අපි ජනතාව දැනුවත් කරන සම්මන්ත‍්‍රණ සාකච්ඡා හදන්න  ඕනෑ. 19 සම්මත කරගන්න සටනට අපි මූලික වෙන්න  ඕනෑ” ටිල්වින් සිල්වා යෝජනා කළේය.

”විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අදහස් දක්වන්න කතානායකවරයා පක්ෂවලට අවස්ථාව දීලා තියෙනවා. අපිට තියෙන්නේ උදේ 10.15ට. ඒකට යන්න  ඕනෑ” අනුර දිසානායක මධ්‍යමකාරක සභාවට දැන්වූ අතර ඔහුට කතානායකවරයා හමුවීමට අවස්ථාව ලබාදෙනු ලැබීණි.

සිරිපාලටයි දිනේෂ්ටයි දෙන්නටම බැහැ - ජවිපෙ

පසුගිය 31වෙනිදා පෙරවරුවේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විපක්ෂ නායක අර්බුදය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී පෙරවරු දහයේ සිට පැය තුනකට ආසන්න කාලයක් විපක්ෂයේ පක්ෂ සඳහා ඒ සම්බන්ධයෙන් වෙන වෙනම අදහස් දැක්වීමට අවස්ථාව ලබාදී තිබිණි.

ශ‍්‍රී.ල.නි.ප.ය, ජ.වි.පෙ, ටී.එන්.ඒ, ජා.නි.පෙ ඇතුළු පක්ෂවල නියෝජිතයින් මේ සම්බන්ධයෙන් කතානායකවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාගත්හ. ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කරමින් එහි ගියේ නායක අනුර දිසානායකය.

”ශ‍්‍රීලනිපය ආණ්ඩුවේ ඇමතිධූර දරනවා. ඒ නිසා නිමල් සිරිපාලට විපක්ෂ නායක ධූරය දැරීමට පුළුවන්කමක් නැහැ. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරයෙක්. එයාට සහාය දෙන්නේ ශ‍්‍රීලනිපය බහුතරයක් වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන්. ඒ නිසා නිමල් සිරිපාලට බැරිනම් විපක්ෂ නායක ධූරය දරන්න දිනේෂ් ගුණවර්ධනටත් බැහැ” අනුර දිසානායක කියා සිටියේය.
”දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායකයා කරන්න අත්සන් ලේඛනයක් ඔබතුමාට භාර දෙනවා කිව්වා ඒක ලැබිලද තියෙන්නේ” අනතුරුව අනුර කතානායකවරයාගෙන් විමසා සිටියේය.

”දෙනවා කිව්වට තාමනම් මට එහෙම ඉල්ලීමක් ලැබිලා නැහැ. ලැබුණොත් ඒ ගැන සලකා බලන්න පුළුවන්” චමල් රාජපක්ෂ අනුරට පිළිතුරක් දුන්නේය.

”අපි හිතන්නේ දැන් විපක්ෂය නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපියි දෙමළ ජාතික සන්ධානයයයි. විපක්ෂයේ පක්ෂවල මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්තෙන් විපක්ෂ නායකයා පත්කරගන්න අවස්ථාව හදලා දීම ඔබතුමාගේ වගකීමක්” අනුර කියා සිටියේය.

”ඒ විතරක් නෙවෙයි අපි ජාතික විධායක සභාවේ ඉන්න නිසා අපිත් ආණ්ඩුවේ පක්ෂයක් කියලා මත හදනවා. ඒක වැරදි මතයක්. ජාතික විධායක සභාව කියන්නේ නිල ව්‍යූහයක් නෙවෙයි. ඔබතුමා ඒකත් සැලකිල්ලට ගන්නවනම් හොඳයි” අනුර කීවේය. ”ඔව්, ඔව් එහෙම කතාවකුත් තියෙනවා නේද?” චමල් රාජපක්ෂද කියා සිටියේය.




MOST VIEWED VIDEO STORIES

MORE >>