Back to Top

රිෂාඩ් විජිතට තෝසේ කවයි

April 2, 2015  



ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලය පුරා උතුරේ ජනතාව සමග දේශපාලන කටයුතු ආරම්භ කිරීම සඳහා විශාල වුවමනාවකින් කටයුතු කළේය. මේ වනවිට එම උත්සහය සාර්ථක වෙමින් තිබේ. පසුගිය පසුගිය මස අවසන් සතියේ ජවිපෙ නායක අනුර දිසානායකද යාපනය නගරයේ දේශපාලන කටයුතු කිහිපයක් සඳහා සහභාගිවූ අතර උතුරට නැවත එන්නැයි ආරාධනා විශාල වශයෙන් ලැබිණි. උතුරේ ජනතාවගේ ඉල්ලීම් ඉටුකරමින් ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට ප‍්‍රධාන නගරවල මහජන සම්බන්ධීකරණ කාර්යාල විවෘත කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ලබන 08වෙනිදා වව්නියාව, තේක්කවත්තේදී මහජන සම්බන්ධීකරණ කාර්යාලයක් ටිල්වින් සිල්වාගේ ප‍්‍රධානත්වයෙන්ද  අපේ‍්‍රල් 09වෙනිදා යාපනය, පන්ඩියන්තාල්වු නගරයේ මහජන සම්බන්ධීකරණ කාර්යාලයක් බිමල් රත්නායක, රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ ප‍්‍රධානත්වයෙන්ද විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

මේ අතර පසුගිය සතියේ සෙනසුරාදා දිනයේ ජවිපෙ තරුණ සංගමය නන්දිකඩාල් කළපුවේ මෙහෙයුමක් දියත් කළේය. ඒ මීට මාසයකට පමණ පෙර ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මුලතිව් නගරයේදී පවත්වන ලද මහජන දිනයකදී ඉස්සන් වගාකරුවන් පිරිසක් විසින් කළ ඉල්ලීමක් ඉටුකරමිනි.

”මන්ත‍්‍රීතුමා නන්දිකඩාල් කලපුවේ ඉස්සන් අල්ලන අපිට ලොකු ගැටලූවක් වෙලා තියෙන්නේ රොන් මඩයි, පාසි අධික ලෙස වැවිලා තියෙන එකයි. අපි හැම පක්ෂවලම දේශපාලකයින්ට මේ ගැන කිව්වා. බැරිතැන තමයි ඔබතුමාලා හොයාගෙන ආවේ. අපිට කලපුව සුද්ද කරලා දෙනවනම් ලොකු දෙයක්” ඉස්සන් අල්ලන ධීවර පිරිසක් එදින සුනිල් හඳුන්නෙත්තිගෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව ජවිපෙ සමාජවාදී තරුණ සංගමය සමග ඒකාබද්ධව නන්දිකඩාල් කලපුවේ පාසි, රොන්මඩ ඉවත් කර ධීවරයින්ට සහනයක් සලසා දුන්නේය. එමෙන්ම පසුගිය පළමුවෙනිදා සහ දෙවැනිදා කිලිනොච්චි නගරයේ දේශපාලන කටයුතු සඳහා සහභාගි වූ සුනිල් හඳුන්නෙත්ති මුලතිව් ප‍්‍රදේශයේ ධීවරයින් පිරිසකගේ ඉල්ලීමකට අනුව ඔවුන් සමග දිස්ත‍්‍රික් ලේකම්වරයා හමුවී ධීවර ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡාවකට සහභාගි විය.
”මන්ත‍්‍රීතුමා ඔබතුමාලා අපිත් එක්ක දේශපාලනය කරන්න ආව එක ගොඩක් හොඳයි. දැන් තමයි අපිට ඇත්තටම යුද්දේ ඉවර වුණා කියලා දැනෙන්නේ. පහුගිය ආණ්ඩුව කාලෙත් අපි යුද්දෙ කාලෙට වඩා බයකින් හිටියේ” එක් ධීවරයෙක් හඳුන්නෙත්තිට කීවේය.

මේ අතර පසුගිය සතියේ විජිත හේරත්ද මන්නාරම ප‍්‍රදේශයේ දේශපාලන කටයුතු කිහිපයකට සම්බන්ධ විය. තෙලෙමන්නාරම ධීවරයින් පිරිසක් හමුවී ඔවුන්ගේ ගැටලූ සාකච්ඡා කිරීමට එහිදී විජිත හේරත්ට අවස්ථාව ලැබිණි. ඒ අතර රිෂාඩ් බදුයුදීන් විසින් ඉදිකරන ලද කාසල් ගම්මනයටද විජිත හේරත් ගිය අතර එහි තවමත් ජනතාව පදිංචි කර නැති බව තහවුරු විය. එහි ගොස් එන අතර රිෂාඩ් බදුයුදීන් විජිත හේරත් එන මාර්ගයේ බලා සිටියේ ඔහු ආ බව කියන ආරංචිය නිසාය. අනතුරුව විජිත හේරත් ? කෑමකට හොටලයකට කැඳවාගෙන යෑමට රිෂාඩ් බදුයුදීන් කටයුතු කළේය.

”ඔබතුමා හදපු කාසල් ගම්මානයට මම ගියා. ගෙවල් සියයක් එකසිය පනහක් තියෙනවා. තාම මිනිස්සු පදිංචි කරලා නැහැනේ” විජිත හේරත් තෝසේ කන ගමන් ඇසීය. ”ඔව් තාම පහසුකම් නැහැ මිනිස්සුන්ට. කොහොද මේ ආණ්ඩුව වැඩ කරන්න සල්ලි දෙන්නේ නැහැනේ” ඇමතිවරයා කීවේය. ”නෑ නෑ මිනිස්සු කියන්නේ ඔබතුමා යාළුවන්ට, ඥාතීන්ට ගෙවල් ටික දීලා කියලා” විජිත ඔහුට ප‍්‍රදේශවාසීන් කියූ දේ ඇමතිවරයාට කීවේය.
”මිනිස්සු මම වැඩ කරන නිසා එක එක කතා හදනවා. මම එක එක රටවල්වලින් ආධාර අරගෙන වැඩකරන නිසා මිනිස්සු එහෙම කියනවා” ඇමතිවරයා පැවසීය.


MOST VIEWED VIDEO STORIES

MORE >>