Back to Top

නියං සායෙන් බැට කන දකුණු දිග මැඩගස්කරය

March 16, 2015  



  ඒ දකුණු මැඩගස්කරයේ බර්නෝ නම් ග්‍රාමයයි.එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනේ සේවා දිනයකි.කුඩා ධාන්‍ය බෑගයක් කිටි කිටියේ අල්ලාගෙන හය හැවිරිදි හාඔවා ටොබෝහා සෙස්සවුන් සමග පිට්ටනිය සූරමින් ඉබාගාතේ යමින් සිට බලාපොරොත්තු දල්වාගෙන හැරී බලයි.

"මං මේවා හොයාගත්තා.මගේ දෙමව්පියන්ට ධාන්‍ය ගිහින් දෙන්න මං එයාලට එකතුවෙනවා"එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනේ උදවිය‍ට ඇය කියා සිටියාය.

ලෝකයේ දකුණු දිග පෙදෙසට වන්නට පවත්නා මෙම දිවයින භූමියේ විශාලත්වයෙන් ලෝකයේ සිව්වන ස්ථානයේය.මසක පෑවිල්ල ගිය කන්නයේ අස්වැන්න සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කර දමන්නට හේතුවී තිබේ.

මිනිසුන් හාමතේ සිටින අතර දරුවන් අයාලේ යමින් සිටියි.

ඉකුත් ඔක්තෝම්බරයේ සිට පෙබරවාරි දක්වා වන කන්න තුළ අස්වැන්න විනාශවීමෙන් හෙම්බත්වුණු ජනතාවගෙන් 1,20 000 ක පමණ පිරිසක් එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන මගින් රැකබලා ගනිමින් සිටියි. දැඩි නියං තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන් අස්වැන්න විනාශවූවා පමණක් නොව තවදුරටත් වර්ෂාව නොමැතිවීම හේතුවෙන් අන්තරායකාර තත්ත්වය දැඩිවෙමින් පවතියි. එක්සත් ජාතීන් විසින් මේවන විටත් වියළි ආහාර තොග තවදුරටත් වර්ධනය කරගනු පිණිස සහය ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් සිටියි.

"දැන් අපට සහය අවශ්‍යයි"එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනේ ඉන්දීය මුහුදු දිවයින් කලාපය භාර නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ෆාතිමා සෝ සිඩිබේ පවසයි.

"මෙතනදී මිනිසුන්ගේ ගබඩාකරගත් ආහාර පිළිබඳ පමණක් නොව කායික ශක්තියද වැදගත් වෙනවා" ඇය සඳහන් කරයි.

අවාසනාවකට 1991 වසරේදීද ඇතිවූ මෙවන් සාගත තත්ත්වයක් ‍හේතුවෙන් මිනිසුන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්වූහ.විශේෂඥයින් පවසන්නේ එය හුදෙක් ´දුර්භික්ෂයක්´ලෙස හැඳින්විය නොහැකි බවයි.

"ඒ දවස්වල මිනිස්සු වතුර හොයාගෙන ගමෙන්පිටවෙලා ගිහින්. ඒ ගමනේදි බොහෝ පිරිසක් මරණයට පත්වුණා."බර්ට්‍රන්ඩ් රන්ද්‍රියානාරිවෝ පවසයි.හෙතෙම මැඩගස්කරයේ දකුණු දිග ප්‍රදේශයේ ඉපිද මෙම නියංසහගත ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිකයෙකු ලෙස 2011 දක්වා සේවය කළ අයෙකි.

"මේ නියඟය අවුරුදු පහකට හයකට සැරයක් එනවා."ඔහු පෙන්වාදෙයි. අගනගරයෙන් ඉතා දුරබැහැර ප්‍රදේශයකට වන්නට පිහිටා ඇති මෙම අවාසනාවන්ත ගම්මානයට වැසි ජලය එක්රැස් කර සුරක්ෂිත කිරීමේ දිගු කාලීන ව්‍යාපෘතියක අවශ්‍යතාවක් පවත්නා බව ඔහු පෙන්වාදෙයි.ඉක්බිතිව එය දිවයින පුරා විධිමත් ලෙස බෙදාහැරීමේ හා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නැංවිය යුතුව ඇති බව ඔහු කියා සිටියි.එවැනි ව්‍යාපෘතියක් සඳහා මුදල් පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලින් සිටියද පිළිවෙලට බලයට පත්වන එරට නායකයින් එවැන්නක් කෙරෙහි උකටලී ස්ථාවරයක සිටීමෙන් එවැනි පරිත්‍යාගශීලින්ද පසුබට වන බව හෙතෙම අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන පෙන්වාදෙන පරිදි මෙය දුර්භික්ෂයකට වඩා ආහාරවල අනාරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්නයකි.ගම්වැසියන් කියා සිටින අන්දමට ඔවුහු මේවන විට අයාලේ යමින් සිටිති.

බිය උපදවන කෙසඟකමින් යුතු 25 හැවිරිදි රහරිසෝවා පිට්ටනිය මැද සිටගෙන සිටියි. ඇගේ දෙහැවිරිදි දැරිය ඉකුත් දෙසැම්බරයේදි හාමතේ මියැදී තිබේ.

"අපේ දරුවා රැකබලා ගන්න අපට හැකිවුණේ නෑ."ඇය සුසුම් ලමින් කියා සිටියි.

"මොකද කියනවානම් දුර්භික්ෂය වැඩිහිටින් ගොඩාක් දුර්වල කරනවා. එයාලට තමන්ගේ පුංචි එවුන් රැකබලාගන්න බැරි තරමට"

"ඒ දෙසැම්බරයේ අපේ ගමේ විතරක් පුංචි එවුන් හතරදෙනෙක් මැරුණා. ඒ දුර්භික්ෂය හින්දයි"බෙරානෝහි සෞඛ්‍ය සේවා නිලධාරියෙකු වන මැසි පවසයි.

ප්‍රදේශයේ සෞඛ්‍ය සේවකයින් විසින් එක් රැස් කරන ලද තොරතුරුවලට අනුව ඉකුත් දෙසැම්බරයේ ආහාර නොමැතිකමින් ජීවිතක්ෂයට පත්වූ දරුවන් සංඛ්‍යාව 12කි.අසල්වැසි ඉමොග්නි ගම්මානයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ මාර්ක් අන්ද්‍රියාකොටොනිදාරිනා ඒ බැව් තහවුරු කර ඇත.

"මේ දරුවන් අසනීප තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නෑ.සාමාන්‍යයෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්වනතුරු ඔවුන්ගේ බර ටික ටික අඩුවෙනවා"හෙතෙම සිහිපත් කරයි.

මෙම දැඩි පෑවිල්ල විසින් දකුණු දිග මැඩගස්කරයේ භවබෝග ක්‍රමයෙන් අඩුකොට සියල්ල විනාශ කර දමයි.අවසන යළි රෝපණය කිරීමට හෝ බීජයක් සොයාගත නොහැකි පරිදි අවසන් ධාන්‍ය ඇටද සුන්නද්දුලි කර දමයි.පෙබරවාරියේ අග භාගය වන විට වැස්ස පැමිණියද ඒ වන විට එය හොඳටම ප්‍රමාදය.

මිලියන 22 ක් ජීවත්වන මැඩගස්කරයේ  රජය පෙන්වාදෙන පරිදි ලක්ෂ දෙකකට හා තුන් ලක්ෂ පනස් දහසක් අතර පිරිසක් කුසගින්නෙන් පීඩා විඳිති.එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මානව තත්ත්ව දර්ශකයට අනුව රටවල් 187 ක් අතුරින් මැඩගස්කරයට හිමිවන්නේ 155 වන ස්ථානයයි.ජනගහණයෙන් 70% ක් දරිද්‍රතා රේඛාවට පහලින් සිටින බව එම දර්ශකය වැඩිදුරටත් පෙන්වාදෙයි.

ඉකුත් සතිය එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන 1,20 000 ක පිරිසකට දෛනික ආහාර සැපයීමේ කටයුත්ත ආරම්භ කරන ලදී.එසේම එරට කෘෂි කර්ම අමාත්‍ය රෝලන්ඩ් රවටොමන්ගා විශේෂ ඉල්ලීමක් කරමින් ආහාර හා ප්‍රථමාධාර දුර්භික්ෂ්යට පත් ඈත පිටිසර ගම්මාන සඳහාද බෙදාහරින ලෙස ආයාචනයක් කළේය.මෙම අවස්ථාව රජයට එරට ජනතාවගේ ආහාර අර්බුදයට මැදිහත්වීමට කදිම අවස්ථාවක් බවද ‍අමතක නොකළ යුතුය.

මෙම තතු මෙසේ තිබියදී ඉකුත් මාසයේ මැඩගස්ක‍රයේ අගනගරය වන ඇන්ටනානාරිවෝවට ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවෙන් අනතුරුවලට ලක්වූ මිනිසුන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. මුළු නගරයම ජලයෙන් යටවූ අතර මඩ සහිතව දින කිහිපයක් පැවතිණි.63000 ට අධික නිවාස ප්‍රමාණයක් ජලයෙන් යටවිය.සිදුවීම්වල නොගැලපීම් එපරිදිය.



AFP ඇසුරිණි.


MOST VIEWED VIDEO STORIES

MORE >>