Back to Top

ඥාතිකම ස්වභාවිකයි.. ගනුදෙනුව අස්වාභාවිකයි..

March 12, 2015  




දේශපාලන ලෝකය ආන්දෝලනයට ලක්වූ ඇවන් ගාඩ් සිද්ධිය අතරේ මූල්‍ය ක්ෂේත‍්‍රයේද ආන්දොලනයක් ඇති කළේ මහ බැංකු ගනුදෙනුවක්ය. පසුගිය මස 27වෙනිදා මහ බැංකුව විසින් නිකුත් කළ බැඳුම්කර ගනුදෙනුවෙන් මහබංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාගේ සමාගමකට වැඩි පොලියක් යටතේ බැදුම්කර ලබාදීමට කටයුතු කර තිබීම මේ ආන්දෝලනයට හේතුව වී තිබේ.

මේ පිළිබඳව පුවත්පත් වාර්තා කිරීමත් සමග එය දේශපාලන විවේචනයක් බවට පත්වෙන්නට ගියේ සුළු කාලයකි. මේ සම්බන්ධයෙන් මුල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ රැසක් සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලබාදුන්නෝය.

“මන්ත‍්‍රීතුමා අපි මේ වගේ ප‍්‍රශ්න එනකොට මීට කලින් කතා කළේ හර්ෂ ද සිල්වා වගේ මන්ත‍්‍රීවරුන්ට. ඒත් දැන් හර්ෂලා ඇමතිකම් කරන අමාත්‍යංශවල මේ වගේ දේවල් සිදුවෙනවා. අපි දැන් මොකද කරන්නේ” එක් ව්‍යාපාරිකයෙක් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාට කීවේය.

“මන්ත‍්‍රීතුමා හයිබි‍්‍රඩ් ප‍්‍රශ්නේ ආවාමත් ඔබතුමාලා තමයි ඒකට මැදිහත් වුණේ. වෙන කවුරුත් නෙවෙයි. මේ මහ බැංකුවේ ප‍්‍රශ්නෙත් විසඳගන්න ඔබතුමාලා තමයි මැදහත් වෙන්න  ඕනෑ” තවත් ව්‍යාපාරිකයෙක් මන්ත‍්‍රීවරයාගෙන් ඉල්ලා සිටියේ මේ ගැන කඩිනමින් මැදිහත් වෙන ලෙසයි.


ජවිපෙ නායකයින් අතරේද මේ පිළිබඳව කතා බහක් ඇතිවිය.

“මට මේ ගැන කතාකරන්න කියලා කෝල් ආවා. අපි මේ ගැන අපේ මතය රටට කියන්න  ඕනෑ” හඳුන්නෙත්ති විජිත හේරත්ට කීවේය.


“ඔව් මේ වගේ මූල්‍ය ගනුදෙනු ජනතාවට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් මේ ගැන එතරම් සංවේදි නැහැ. නමුත් මේක රටට බරපතළයි. අපි මේ ගැන මාධ්‍ය සාකච්ඡාවක් තියලා රටට පැහැදිලි කරන්න  ඕනෑ” විජිත පිළිතුරු දුන්නේය.

ඒ අනුව ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක්ද සංවිධානය කෙරණි.


“මහ බැංකු අධිපති බෑනා එක්ක තියෙන ඥාතිත්වය ස්වභාවිකයි. මේ ගනුදෙනුව අස්වාභාවිකයි. මහ බංකුව මිලියන 1000ක් බැඳුම්කර නිකුත් කරන්න ඉඳලා 10,000ක් නිකුත් කරපු එකයි ප‍්‍රශ්නේ. ඒ 10,000න් 5000ක් බෑනාගේ සමාගම ගන්නවා වැඩි පොලියට. සාමාන්‍ය පොලී අනුපාතය 9.5යි. නමුත් ඒ සමාගම බැඳුම්කර ලබාගන්න පොලී අනුපාතය සාමාන්‍ය අගය 12.3යි. මේ ගැන පූර්ණ පරීක්ෂණයක්  ඕනෑ. පරීක්ෂණය විනිවිද වෙන්න මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙන්න  ඕනෑ. වෙන රටවල්වල නම් විෂයභාර ඇමති ඉල්ලා අස්වෙනවා. නමුත් මේ ලංකාවනේ. ප‍්‍රතිපත්ති සම්පාදන අමාත්‍යංශය නිවේදනයක් දාලා කිව්වා පහුගිය රාජපක්ෂ ආණ්ඩුවේ කිහිප දෙනෙක් මූල්‍ය ගනුදෙනු වංචාසහගත ලෙස සිදුකළා කියලා. ඉතිං මේ ආණ්ඩුවත් කරන්නේ ඒ ටික තමයි. ” හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

”මන්ත‍්‍රීතුමා මේ ප‍්‍රශ්නේ ගැන අපිටත් හොඳටම තේරුණේ ඔබතුමාගේ පැහැදිලි කිරීමෙන් පස්සේ. සමහර මාධ්‍ය මේ ගැන හරියට වාර්තා කරලා තිබුණේ නැහැ. ඉතිං සාමාන්‍ය ජනතාවට මේ ගනුදෙනු තේරෙන්නේ නැහැ.” මාධ්‍යවේදියෙක් කීවේය.

“පහුගිය ආණ්ඩුවේත් වුණේ මේ වගේ දේවල්.. දැන් මේ ආණ්ඩුවෙත් සිද්ද වෙන්නේ ඒවම තමයි. ඔබතුමාලට තමයි ඉතිං මේ ගැන මොනවා හරි කරන්න පුළුවන්කම තියෙන්නේ..” තවත් මාධ්‍යවේදියෙක් කීවේය.



MOST VIEWED VIDEO STORIES

MORE >>