Back to Top

නැවතත් යාපනයට එන්නැයි අනුරට ආරාධනා

March 12, 2015  




ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පසුගිය සෙනසුරාදා යාපනය නගරයේදී මාධ්‍ය හමුවකට එක්විය. ඒ යාපනය ප‍්‍රදේශයේ දේශපාලන කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට එහි ගිය අවස්ථාවේදීය. යාපනය ප්‍රෙස් ක්ලබ් ආයතනයේදී පැවැති එම මාධ්‍ය හමුවට මාධ්‍යවේදීන් විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ගෙන් නැගුණු ප‍්‍රශ්න රැසකට පිළිතුරු ලබාදීමට ජවිපෙ නායකයාට සිදුවිය. මාධ්‍ය හමුවට පැමිණීමට පෙර ජවිපෙ නායකයා යාපනයේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ භෝජනාගාරයේදී හමුවිය.


“මන්ත‍්‍රීතුමා අපිට තිබෙන ප‍්‍රශ්න බලය බෙදීම ගැන සහ අපිට වෙනම පාලනයක්  ඕන කියන එක. ඒ වගේම අපි අහන ප‍්‍රශ්නවලට ආණ්ඩුවෙන් උත්තර ලැබෙන්නේ නැති එක ප‍්‍රශ්නයක් විදියට තමයි අපිට දැනේන්නේ.” ආචාර්යවරුන් බොහෝ පිරිසකගේ ප‍්‍රශ්නය එය විය.

“වෙන්වීමේ වුවමනාවෙන් යුතුව කරන යුදමය කි‍්‍රයාවලියක් පවතින තත්ත්වයක් තුළ හෝ ඊට සමාන අරගලයක් තියෙන විට මේ ප‍්‍රශ්නය මේ විදියට දැනෙන්න පුළුවන්. බෙදුම්වාදයට අපි විරුද්ධයි. ඒ නිසා තමයි අපි කියන්නේ සමාජ ආර්ථික දේශපාලනය ඒකාබද්ධ කරපු කි‍්‍රයාවලියක් තුළ එවැනි බෙදුම්වාදයකට තියෙන ඉඩ අහෝසි කරන්න  ඕනෑ. එවිට අපේ ප‍්‍රශ්න සාමූහිකව විසඳාගන්න පුළුවන්කම ලැබෙනවා. බෙදුම්වාදය පරාජය කළාට පස්සේ අපිට අනෙක් ප‍්‍රශ්න පිළිබඳව සාධාරණ සාකච්ඡාවකට එන්න පුළුවන්” අනුර දිසානායකගේ පැහැදිලි කිරීමෙන් ආචාර්යවරුන් සෑහීමකට පත්වුවත් ඔවුන් ඉල්ලා සිටියේ මෙවැනි සාකච්ඡා ඉදිරියටත් කරගෙන යෑමට නැවත යාපනයට එන ලෙසයි.


ඉන් අනතුරුව අනුර දිසානායක ධීවර සමිති කිහිපයක නිලධාරීන් පිරිසක් හමුවිය.

“අපිට තියෙන ලොකුම ප‍්‍රශ්නේ ඉන්දියානු ට්‍රෝලර් යාත‍්‍රා ඇවිත් අපේ මාළු අල්ලන් යනඑක. ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ ධීවරයෝ අපේ දැල් ආම්පන්න කපනවා. පහුගිය සතියේ කෝටි දෙකක විතර අලාභයක් වුණා.” ධීවර සමිතියක සභාපතිවරයෙක් කියා සිටියේය.

“ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ ධීවරයෝ අපිට ලොකු බලපෑමක් වෙලා. පෙට‍්‍රල් බෝම්බ පවා ගහනවා. ජනාධිපතිතුමා යාපනයට ආව වෙලාවේ මේ ගැන සාකච්ඡා කරයි කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් ධීවර සමිති සාකච්ඡාවට කැදෙව්වේ නැහැ. ඒ ගැන කනගාටුයි. අපිට අපේ පාඩුවේ මුහුදු රස්සාව කරගන්න අවස්ථාව හදලා දෙන්න. ටී.එන්.ඒ එකවත් මේ ගැන පියවර ගන්නේ නැහැ” තවත් ධීවර සමිති නායකයෙක් කීවේය.

“අපි මේ ගැන ආණ්ඩුවේ අවධානය යොමුකරවන්නම්. ඔබලාගේ ගැටලූ මේ විදියට සජීවීව කතා කරන්න අවස්ථාව ලැබීම ගැන සතුටුයි.” රාමලිංගම් චන්ද්‍රසේකර් අනුර දිසානායක පැවසූ අදහස් දෙමළ භාෂාවට පරිවර්තනය කළේය. එම සාකච්ඡාවට වඩමාරච්චි ධීවර සමිතිය, වැල්වැටිතුරෙයි ධීවර සමිතිය, ධීවර සම්මේලනය නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වූහ.


අනතුරුව ජවිපෙ නායකයා යාපනය කොටුව නැරඹීමට ගිය අතර යාපනය දිස්ති‍්‍රක්කයේ සංවිධායක ගනේෂ් විසින් පසුගිය එල්.ටී.ටී.ඊ සමයේ යාපනය කොටුවට සිදුවූ හානි විස්තර කළේය. යාපනය නැරඹීමට දකුණෙන් ගොස් සිටි පිරිසක්ද ජවිපෙ නායකයා සමග ඡායාරූප ගැනීමට අවස්ථාවක් සලසා ගත්තෝය. අනතුරුව ජවිපෙ නායකයින් පිරිස චුන්නාකම් ප‍්‍රදේශයට ගියේ පොද්ගලික විදුලි බලාගාරය නිසා එම ප‍්‍රදේශයේ ජනතාව මුහුණ දී තිබෙන ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීමටය. ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සියලූ විස්තර ලබාදීමට එම පිරිස් එකඟ විය. අනතුරුව යාපනයේ විද්වත් සමාජය විසින් සංවිධානය කළ විශේෂ රැස්වීමක් යාපනය, කල්වියන්කාඩු ප‍්‍රදේශයේ යුරෝවිල් සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. එයට යාපනයයේ විද්වතුන් විශාල පිරිසක් පැමිණ සිටි අතර උතුරු පළාත් සභාවේ සභාපතිවරයාද පැමිණ සිටියේය. ජවිපෙ නායකයාගේ දේශපාලන තත්ත්වය පැහැදිලි කිරීමේ කතාවෙන් අනතුරුව විද්වතුන් පිරිස සංවාදයකට එක්විය. එම සංවාදය පැය තුනකට අධික කාලයක් පැවැත්විණි. අනතුරුව යුරෝවිල් ශාලාවේ හිමිකරු විසින් ස්තූති කතාව කළේය.

“මේ සම්මන්ත‍්‍රණ ශාලාවේ මීට කලින් මේ වගේ දේශපාලකයෙක් ඇවිත් කතා කරලා නැහැ. ජවිපෙ නායකතුමා ඇවිත් අපිත් එක්ක පැය ගණනාවක් මේ විදියට දේශපාලනය කතා කළා. අපි ගොඩක් ඒ ගැන සතුටු වෙනවා. මොකද අපිට තිබුණා ගැටලූ ගොඩක් පැහැදිලි කරගත්තා. අපි ජවිපෙට ආරාධනා කරනවා මින් ඉදිරියටත් මේ වගේ සාකච්ඡා සංවිධානය කරන්න යාපනයට එන්න කියලා.” හිමිකරු ස්තූති කරමින් කීවේය.


මේ අතර පසුගියදා ව්‍යවස්ථා අනුකමිටුවට පැමිණි ඩග්ලස් දේවානන්දා මේ පිළිබඳව විජිතගෙන් විමසීය.

”ඔබතුමාලගේ නායකතුමා යාපනයට ගියා නේද? මමත් එදා යාපනේ හිටියේ. මම දැනගෙන හිටියේ නෑ. එතුමා එක්ක සාකච්ඡාවකට සහභාගි වුණ පිරිසක් මට කිව්වා, වැඩේ හොඳට කෙරුණා කියලා. මේ වටපිටාව නිසා එතුමාගේ ගමන එහෙ අයට ටිකක් හොඳ විදියට දැනිලා තියෙනවා” ඩග්ලස් දේවානන්දා මන්ත‍්‍රීවරයා කියා සිටියේය.


MOST VIEWED VIDEO STORIES

MORE >>