දිනාගත් ප්රජාතන්ත්රවාදය රැකගැනීමට නම්..
March 2, 2015
ලාංකීය දේශපාලනයේ අලජ්ජිභාවයට පත් රැළකගේ අනාගත අතරමං වීම වසා ගැනීම සඳහා පනස් අටෙන් එකෙක් තේමාව යටතේ පවත්වන ලද නුගේගොඩ රැස්වීම දේශපාලන කූඩැල්ලන් රංචුවකට දිය බිඳක් වෙමින් අවසාන වී තිබේ. විශේෂයෙන්ම එය අනාගත මැතිවරණයකදී සන්ධාන හරහා නාමයෝජනා නොලැබ දියවන්නාවෙන් එතෙර වීම සඳහා පහුර අහිමි වීමට ඉඩ ඇති වීරවංශ, වාසුදේව, දිනේශ් වැන්නවුන්ටද තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රය දේශපාලන න්‍යාය පත්‍ර හරහා අලෙවි කිරීමේ ඉතිහාසයක් සහිත දයාන් වැන්වුන්ට මෙන්ම ජාතිවාදය නොමැතිව නින්ද නොයන අමරසේකර වැන්නවුන්ටද නිරුවත වසා ගැනීම පිණිස ලැබුණ වැරහැලි කඩක් බව පැහැදිලිය.
එසේම එය දේශපාලනයේ සකලවිධ කූටෝපායන්,අත්තනෝමතිකකම්, සදාචාර විරෝධී ක්‍රමවේදයන් හී කෙල පැමීණි, ලාංකීය දේශපාලනය නරා වළක් බවට පත් කිරීමට හා ජාතිවාදය දරුණුම වසංගතය බවට පත් කිරීමට ඓතිහාසික වැඩ කොටසක් කළ, අවසානයේ ජනතාව වෙනුවට ග්‍රහ තාරකාවන්ගේ පරාක්‍රමය ගැන විශ්වාසය තබමින් කේන්දරකාර තක්කඩි රැළකගේ ගැටයට අසුව ජනතාවගේ දිවිය ඛේදවාචකයක් කරමින් තවත් දෙවසරක් බලය අභ්‍යාස කිරීමට තිබූ අවස්ථාව දෛවෝපගත ලෙස තමන් විසින්ම අහිමි කරගෙන දැන් කාල්ටන් බංගලාවේ හංස ගී ගයමින් තමන් බැහැ දැකීමට එන මිනිසුන් ගේ වැඳුම් පිළිගනිමින් බිඳවැටුණු රජ සිහිනයක වේදනාව පරාජිත මුහුණින් පළ කරනා අවලංගුවී ගිය මහරජාණන් හට ද සහනාලේපයක් සපයා ඇති බව පෙනෙන්නට තිබේ. එහෙත් එම රැුළිය ඒ අතරම දේශපාලනයේ තවත් කඩඉමක් සනිටුහන් කරයි. ඒ අන් කිසිවක් නොව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කැඞී යාමේ අවස්ථාවයි.
දේශපාලකයන් තැනීම වෙනුවට වාසිය වෙනුවෙන් දේශපාලනය ගණිකා වෘත්තියේ යෙදවීමේ කෙල පැමිණියවුන් ඉදිරියට ගැනීමේ වරදට වන්දියක් ලෙස පක්ෂය කැඞී යද්දී රාජපක්ෂ හිටපු ජනපතිවරයාට බලය අත් හැරීමට ඇති නොකැමැත්ත හේතුවෙන් පක්ෂය කඩ කිරීමේ කොටස්කරුවාගේ භූමිකාව ඉටු කර ඉතිහාසයට එක්වීමේ අවස්ථාව දැන් එළඹ තිබේ. ඔහු එය අත් නොහරින බව පැහැදිලිය. ඉදින් අපට ඉදිරියේ වැඩියෙන් දේශපාලන මගඩි නාටක
බැලීමේ අවස්ථාව ලැබීමට නියමිතය.
මේ දේශපාලන මගඩියේ හාස්‍යජනක එළිදරවුවක් පසුගියදා ජාතික සංවිධාන එකමුතුව නම් කණ්ඩායමක් විසින් කර තිබුණි. එය මේ පනස් අටෙන් එකෙක් ව්‍යාපෘතියේ නිරුවත කදිමට විදහන්නකි. ඔවුන් පවසා තිබූ ආකාරයට රාජපක්ෂ හිටපු ජනපති යනු කඩොල් ඇතෙකි. දැන් අපට අසන්නට පැණයක් තිබේ. ඒ කඩොල් ඇතා පිට නැඟ යාමට සූදානම් වන ගැමුණු කවුද යන්නයි. ලාංකික දේශපාලනය තුළ යහපත් පාලකයෙක් ලෙස ඉතිහාසයට එක්වෙමින් ගෞරවණීය විශ්‍රාම දිවියක් ගෙවීම තිබූ අවස්ථාව විහින් නැති කරගත් හිටපු ජනපති දැන් තම බල සිහිනය අත් හැරීමට ඇති අකමැත්ත හේතුවෙන් ඉදිරියේදී තමන් විසින්ම වයින් කරන ලද තක්කඩි රැළකගේ පහුර බවට පත්වෙමින් රඟන විකට ජවනිකාව කරනු ඇත්තේ ඔහු මෙන්ම ඔහුගේ ගෝල රැළගේද රෙදි ගැලවීම පමණි.
කෙසේ වෙතත් මේ සියල්ල මැද අප්‍රමාණවූ වෙහෙස විඳ අත්තනෝමතික පාලනයක් පෙරළා දැමූ ප්රගතිශීලී බහුතරය ලෙස ජාතිවාදය ඇතුළු සියළු අවභාවිතාවන් පිළිකෙව් කරනා කොටස වෙනසක් අපේක්ෂාවෙන් තමන් විසින් බලයට පත් කරන ලද පාලකයන්ගෙන් දිනපතා උස්ව නැගෙන හඬින් අසනා පැනයක් තිබේ. ඒ අන් කිසිවක් නොව ප්රජාතන්ත්රවාදය කා හටද යන ප්රශ්නයයි. දින සියයයේ සටන් පාඨය තුළ ගෙවෙන දවස් අතරේ
ජනතාවට තවමත් දැනෙන්නේ ප්රජාතන්ත්රවාදය යනු හොරුනගේ ආරක්ෂාව පිණිස වන මෙවලමක් බවම පමණි. තවමත් බලවත්ව ඇසෙන්නේ හොරුන් ගේ හඬ මිස ජනතාවගේ හඬ නොවේ. කනගාටුවෙන් වුවද කිවයුතු කතන්දරය එයයි. ජනපතිවරණයට පෙර ප්‍රතිවාදීන් හට රැස්වීමක් පැවැත්වීමට පවා ඉඩක් නොදුන් සියලූ පිට්ටනි තම බූදලය කරගත් පිරිසකට පවා තම මතය පළකිරීමට ඉඩ දීම හොඳය. එහෙත් අපට ඇති ගැටළුව වන්නේ බැටළු සම පොරවා ගත් වෘකයා හෙළිදරවු කිරීමේලා පාලකයන් දක්වන උදාසීන පිළිවෙතයි.
රාජපක්ෂ දේශපාලන භූමිකාව අවසන් කිරීම යනු අනිවාර්ය අවශ්‍යතාවකි. ඒ එය හුදෙක් පුද්ගලයෙකු ගේ භූමිකාවක් අහෝසි කිරීමටත් වඩා රටට අතිශය හානිකර දේශපාලනයක් අහෝසි කිරීමකි. රාජපක්ෂලා විසින් ඇති කරන ලද නග්න වියරු පාලන ක්‍රමය අවසන් කිරීම ලංකාවේ පැළ කරන ලද ජාතිවාදය හා ආගමික අන්තවාදය ඇතුළු බොහෝ හානිකර ප්රවණතා අහෝසි කිරීමට අනිවාර්ය කොන්දේසියකි. එහෙයින් ජනතාවට ප්රජාතන්ත්රවාදය
දීමට නම් පළමු කොටම කළ යුත්තේ රටේ ප්රජාතන්ත්රවාදය වළලා දැමීමට කටයුතු කළ ප්රජාතන්ත්රවාදයේ ගහලයන්ට කළ අපරාධය සඳහා දඬුවම් කිරීමට පියවර ගැනීමයි. එය කෙසේවත් ප්රජාතන්ත්ර විරෝධී පියවරක් නොවේ.
ප්රජාතන්ත්රවාදය පිළිනොගන්නා අයට දිගටම තම කුමන්ත්‍රණ කිරීමට ඉඩ හැරීම යනු යහ පාලනය නොව දේශපාලන අමනෝඥකමකි. ප්රජාතන්ත්ර විරෝධින් හට ඉඩ සැලසීම යනු ජනතාවගේ ප්රජාතාන්ත්රීය අයිතින් පාගා දැමීමකි. ප්රජාතාන්ත්රීය පාලන නමින් අමාත්‍යංශයක් පවා වෙන්ව ඇති කලක ජනතාවට තවමත් සිදුව ඇත්තේ හොරුන් ගේ පොර ටෝක් අසා සිටීමට නම් එය හැඳින්විය යුත්තේ ජාතන්ත්රවාදයේ විකෘතියක් ලෙසිනි.
පවත්නා විකෘති සහගත තත්වය වටහා ගැනීමට කදිම උදාහරණයක් පසුගිය රාවයේ මුල් පිටුවේ පුවතක් විසින් සපයා තිබුණි. ඉන් කියවුණේ පුවත් පත් ආයතනයේ හිමිකරුගේ බලපෑම් හේතුවෙන් ලීඩර් කතුවරිය ඉල්ලා අස්වූ බවයි. පසුගිය මැතිවරණ සමයේ මෛත්‍රී දේශපාලන ව්‍යාපාරය තුළ ප්‍රධාන සටන් පාඨයක් බවට පත්ව තිබුණේ මාධ්‍ය නිදහස යන මාතෘකාවයි. ලංකාවේ මාධ්‍ය ආයතන සාජුව හෝ වක්‍රව රාජපක්ෂවරුන්ගේ දඬු අඬුවේ සිරව පැවති තත්ත්වය තුළ මේ වනාහී අත්‍යවශ්‍ය පියවරකි. සැබැවින්ම මැතිවරණ ජයග්රහණයෙන් පසු නව පාලනය මාධ්‍ය ආයතන යටපත් කිරීමට උත්සාහ දරනා බවට තවමත් චෝදනා එල්ලවී නැති අතර ඔවුන් එම ගෞරවය දිගටම පවත්වා ගනු ඇත යන්න අපේද අපේක්ෂාවයි.
කෙසේ වෙතත් මේ මාධ්‍ය නිදහස යන මාතෘකාව තුළ සැබැවින්ම සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගැනීමට ලීඩර් පුවත් පතේ උදාහරණය අපට ඉඩ සලසයි. මාධ්‍ය නිදහස තුළ අනිවාර්ය අංගය විය යුත්තේ මාධ්‍ය ආයතන තුළ වැඩ කරනා මාධ්‍යකරුවන්ට සිය රැකියා අහිමි වීමේ බියෙන් තොරව එසේම එහි හිමිකරුවන්ගේ බලපෑම් වලින් තොරව සිය භාවිතාව සඳහා ඉඩ ලැබීමයි. සිය භාවිතාව ආචාරධාර්මික ලෙස පවත්වා ගැනීමේ වගකීම තිබිය යුත්තේ මාධ්‍යකරුවා අතය. එසේම ඔහු අවසන වග කිව යුත්තේද සමාජ යහපත පිළිබඳවය. මාධ්‍ය නිදහස ලබාදීම යන්න සැබෑ ලෙසම අර්ථවත් වන්නේ තර්ජන බලපෑම් වලින් තොරව මාධ්‍යකරුවාට සිය භූමිකාව ඉටු කිරීමට ඉඩ සැලසෙන්නේ නම් පමණි. මාධ්‍ය ආයතන හිමිකරුවාගේ පුද්ගලික න්‍යාය පත්‍රය අනුව කටයුතු කිරීමට මාධ්‍යවේදියාට බල කෙරෙන තත්වයක් දිගටම පවතින්නේ නම් එවිට ඇත්තේ මාධ්‍ය නිදහස නොව විකෘතියක් පමණි. ලීඩර් උදාහරණය අපට පවසන්නේ එයයි.
පසුගිය කාලය පුරා ලංකාවේ මාධ්‍ය ආයතන රාජපක්ෂවාදීන් අත පැවති ආකාරය මාධ්‍ය ගැන අවදියෙන් ඉන්නා
කිසිවකුට හෝ රහසක් නොවේ. දැන් මාධ්‍ය නිදහස යටතේ යළි නිදහස ලබන්නේ ජරපත් ක්‍රමයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම අරමුණු කරගත් ලාභය වෙනුවෙන් පෙනී ඉන්නා කූට ව්‍යාපාරිකයා නම් අප වහා පියවර ගත යුත්තේ මේ විකෘතිය නැති කර සැබෑ නිදහස ස්ථාපිත කිරීමටය. එය පාලකයාගේ මෙන්ම පුරවැසියාගේද අනිවාර්ය
වගකීමකි.
කෙසේ වෙතත් සියලු අන්ධකාරයන් මැද රටේ යහපත වෙනුවෙන් අපට ඉතිරිව ඇති එක් වාසිදායක තත්ත්වයක් වන්නේ මෙවර නිහඬවීමට පුරවැසියා තුළ ඇති අකමැත්තයි. ඔවුහු සිදුවන සෑම වෙනසක් කෙරේම අවදියෙන් පසුවෙති. පසු ගිය රාවයේ හයවෙනි මහල ලිපියෙහි අලි අල්ලන ඇමති ගැන සඳහන කියවූ එක් පාඨකයෙක් ඇසූ
ප්රශ්නය වූයේ දේශපාලකයා සිය වගකීම ඉටුනොකරන්නේ නම් අපට එවැන්නකුට එරෙහිව නීතිය ඉදිරියට යා නොහැකිද යන්නයි. ඔහු දරන මතය වනුයේ රටේ පුරවැසියන් එසේ සිය අයිතිය භාවිතා කිරීම යහපාලනය සඳහා අත්‍යවශ්‍ය බවයි. මේ වනාහී යහපත් හෙටක් වෙනුවෙන් අපට දැල්වෙන කොළ එලියයි. එහෙයින් පනස් අටෙන් එකෙක් යන ප්රතිගමී දේශපාලන ප්‍රවණතාව ඇතුළු සියලූ දේශපාලන අවභාවිතාවන්ට එරෙහිව තනි තනිව තවමත් හඬ නගනා පුරවැසියන්ට ඉදිරියටද නායකත්වය දීම මැතිවරණයට පෙර ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් මැදිහත්වුණ සියළු පුරවැසි සංවිධානවල වගකීම වී තිබේ.
නුවන් උදය වික්‍රමසිංහ