Back to Top

ඉතිහාසයේ වීරවරියක වූ යකඩ උඩවැඩියාව මිලානවන හැඩද?

February 23, 2015  

බොහෝ දෙනෙකු ඇය හඳුනාගනු ලබන්නේ ´යකඩ උඩවැඩියා මල´යනුවෙනි. කුමන මානයෙන් සලකා බැලුවද මේවන විට ඇය එකිනෙකට පරස්පර විරෝධී ආස්ථානයක නිහඬ පිළිවෙතක ගිලී සිටින බව කිව හැකිය. ඇය අවුන්සාන් සුකිය. මියෙන්මාරයේ බලාපොරොත්තුවය.


 මියන්මාරයේ හමුදා පාලනය ඉවත් කොට ප්‍රජාතන්ත්‍රවාදී මඟකට පිවිසීම අරමුණු කර ගෙන 1988 දී අවුන්සාන් සුකීගේ නායකත්වයේ පිහිටුවා ගන්නා ලද ´ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ´ පක්ෂ සම්මේලනය පසුගියදා පැවැත්විණි.රටට ‍සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය දිනාදීම සඳහා ඇය කළ අනූපමේය සේවය වෙනුවෙන් ඇයට 1991දී නොබෙල් සාම ත්‍යාගයද හිමිවිය. මියෙන්මාරයේ මිලිටරි ජුන්ටාව විවේචනය කළ වරදට වසර 15 ක් නිවාස අඩස්සියේ කටුක දිවියක් ගෙවීමටද ඇයට සිදුවිය. කලාපයේ පමණක් නොව බටහිර ලෝකයේද ඉමහත් ජනාදරයට පාත්‍රව සිටි ‘යකඩ උඩවැඩියා මල’මේවන විට මැළවී ගොස් ඇති බව විචාරකයින්ගේ මතයයි. මීට පෙරාතුව මිලිටරි ජුන්ටාවේ යකඩ සපත්තුවට පෑගෙන ජනතාව වෙනුවෙන් හඬනැගීමට බිය නොවුණු ඇය මේවන විට එරට තාඩන පීඩනයට ලක්වන සුළුතර මුස්ලිම් ජනතාව වෙනුවෙන් කිසිදු හඬක් නොනැඟීම පිළිබඳ බොහෝ දෙනෙකු විස්සෝපයට පත්ව සිටියි.


බංග්ලාදේශ දේශසීමාව ආසන්නයේ රකිනේ හෙවත් බටහිර අරකන් ප්‍රාන්තයේ ජීවත්වන රොහින්යා ජාතික මුස්ලිම්වරුන් එරට බහුතරයක් වන බර්මසේ ජාතීන්ට වඩා සංස්කෘතිමය වශයෙන් බොහෝ වෙනස්කම් දක්වයි. අතිබහුතරයක් වන බර්මසේ ජාතීන් ගෙන් බහුතරය බෞද්ධයන්ය. ඔවුන්ගේ භාෂාව වන්නේ මැන්ඩරීන් භාෂා කුලකයට අයත් සිනෝ-ටිබෙටන් ප්‍රභවයකින් යුතු භාෂාවකි. රොහින්යා ජාතීන් ප්‍රාථමික මුස්ලිම් ජනවර්ගයකි. ඔවුන්ගේ භාෂාව වන්නේ හින්දු හා උර්දු සංකලනයකින් යුතු බෙංගාලි ඇසෑම් උප භාෂාවකි.


මිලියන 1.3ක් පමණ වන මෙම රොහින්යා මුස්ලිම් ජාතීන් ප්‍රධාන බර්මසේ ජාතීන්ගෙන් තවත් සංස්කෘතික හා වාර්ගික වෙනස් කම් ගණනාවකින් යුතු සේම කාලයක් තිස්සේ ඉතාමත් දරුණු ලෙස තාඩන පීඩනවලට ලක්ව සිටියි. 2012 මැදභාගය වන විට ජනවාර්ගික දෙපාර්ශවය අතර නොසන්සුන්තාව හිණිපෙත්තට නැඟ තිබුණු අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය පෙන්වාදෙන පරිදි සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා බොහෝය. 200ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව හා 1,40 000 ක පිරිසක් උන්හිටි තැන් නැතිව අවතැන්ව ඇති බව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය කියා සිටියි. මෙයින් අතිබහුතරයක් පිරිස රොහින්යා ජාතීන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. උපන් බිමේ සරණාගතභාවයට පත් මොවුන් එළිමහන් සිරගත ජීවිතයක් මෙන්ම අභ්‍යන්තර සුබසාධක කඳවුරුවල ජීවත්වෙති. සියවස් 14 ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන රොහින්යා ජාතීන් නීතිවිරෝධී ලෙස මියෙන්මාරයට සංක්‍රමණය වී ඇත්තේ බංග්ලාදේශයයෙන් හා බටහිර ඉන්දියාවෙනි.


                                     රොහින්යා ජාතීන්ගේ ධවල කාඩ් හෙවත් තාවකාලික ලියාපදිංචි පත් 8,50 000 ක් පමණ ලබාදීම මේවන විට අත්හිටුවා තිබේ. ඉකුත් පෙබරවාරි මස 02 වන දින මියෙන්මාර පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එමින් ධවල කාඩ් හිමියන්ට ඡන්ද බලය ලබාදීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. එය මේ වසර අවසානයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි. එහෙත් බර්මසේ ජාතීන් මෙම යෝජනාවට එරෙහිව වීදි බසින ලදී.  වර්ධනය වුණු විරෝධතා හමුවේ  අරකන් ප්‍රාන්ත රජය විසින් ධවල කාඩ් හිමියන්ට ජනමත විචාරණයේදී ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව නොලැබෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරිණි. මියෙන්මාරයේ ජනාධිපති කාර්යාලය විසින්ද මෙම තාවකාලික පුරවැසි ලියාපදිංචි කාඩ්පත් මේ මස මාර්තු වන විට කාලය ඉකුත්ව අවලංගු වන බැවින් ඒවා වහාම බාරදිය යුතු බව නිවේදනය කර ඇත. එය මුළුමනින්ම ඔවුන්ගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

´මගේ ධවල කාඩ්පත ගැනීමට ආණ්ඩුවට වුවමනා නම් මං මොනවා කරන්නද? මං ඒක මේ මොහොතේම ඔවුන්ට බාරදෙනවා´තායෙ චුන්ග් නැවත පදිංචි කිරීමේ කඳවුරේ වෙසෙන 23 හැවිරිදි මවක පවසයි.


රොයිටර් පුවත් සේවය විසින් විමසන ලද පැනයකට ප්‍රතිචාර දක්වමින් යැන්ගොන් හි දේශපාලන විචාරකයෙකු වන රිචඩ් හොසෙයි මෙසේ කියා සිටියි.

´නොකැමැත්තෙන් වුණත් අවතැන් කඳවුරුවල සිටින ධවල කාඩ්පත් හිමියන් ස්වෙච්ඡාවෙන්ම ඒවා බාරදේවි. ඒත් නීතිය මගින් ඒවා බාරදිය යුතු බවට ඕනෑම බලපෑමක් කරනු ලැබුවහොත් ප්‍රචණ්ඩ ක්‍රියා  ඇවිළේවි´හෙතෙම අවධාරණය කරයි. කෙතරම් මානව හිමිකම් කඩවීම් සිදුවුණද, ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිළී ගියද අවුන් සාන් සුකී දැවැන්ත නින්ද්‍රවක ගිලී සිටියි.


 2013 වසරේ පැවති පක්ෂ සම්මේලනය විශේෂයෙන් වැදගත් වූයේ  2015 දී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය සඳහා සුදුසු වැඩපිළිවෙළක් මෙන්ම නායකත්වයක් පත් කර ගැනීම නිසාය. මියන්මාරයේ විවිධ ප්‍රදේශ නියෝජනය වන ආකාරයට තෝරා පත් කර ගත්නියෝජිතයන් 894කගේ සහභාගිත්වයෙන් පැවති මෙම සමුළුවේදී පක්ෂ නායකත්වයට අවුන්සාන් සුකී තෝරාගන්නා ලද්දේ අභියෝගයකින් තොරවය. එහෙත් නව නායකත්වයට ඉඩ සැලසීම සඳහා පක්ෂයේ වැදගත්ම ආයතනයක් වූ මධ්‍යම විධායක කමිටුවේ සාමාජිකත්වය 7 සිට 15 දක්වා වැඩි කෙරිණි. ඊට අමතරව සාමාජිකයන් 120කින් යුත් මධ්‍යම කාරක සභාවක් තෝරා පත් කර ගන්නා ලද අතර ඊට නව මුහුණු කීපයක් එක් කරන ලදී.


අවුන්සාන් සුකී 2011 වසරේදී හමුදා රජයෙන් කෙටුම්පත් කොට සම්මත් කර ගත් ව්‍යවස්ථාව යටතේ නව රජයක් දිවුරුම් දීමෙන් පසුව සුකීට හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට නැවත වරක් දේශපාලන කටයුතුවල නිතරවීමට නිදහස ලැබෙන තෙක් පක්ෂයේ නායකත්වය ක්‍රියාත්මක වූයේ දැඩි මර්දනකාරී තත්ත්වයක් යටතේය. එම නිසා ඔවුන්ට තවදුරටත් පක්ෂයේ නායකත්වය මෙහෙය වීමට අවස්ථාවක් ලැබීම විශේෂ කරුණක් නොවන නමුත් නව තරුණ නායකත්වයකට ඉඩ සලසන්නේ කෙසේද යන්න මෙම පක්ෂය මුහුණ දී ඇති ගැටලූවකි. මන්දයත් නව නායකත්වයක් සඳහා දෙවන පෙළ නායකත්වයක් වර්ධනය වීමට පැවති මර්දනකාරී දීර්ඝ කාල පරාසය බෙහෙවින් බලපා ඇති බැවිනි.කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට දේශපාලන කටයුතුවල නිරතවීමට ඉඩ ලැබීමෙන් පසුව ආසන 44ක් සඳහා පැවති අතුරු මැතිවරණයෙන් 43ක්ම ඔවුන්ට දිනාගත හැකි වීමෙන් ඉදිරි ඡන්ද විමසීම ගැන බිය විය යුතු බවක් නොපෙනේ.


 එවැනි වාතාවරණයක් තුළ පවා සුකී ස්වකීය රටේම ජන කොට්ඨාසයකට එරෙහිව දියත්වන මර්දනය හමුවේ මුනිවත රැකීම කනගාටුදායකය. කුරිරු හමුදා පාලන සමයේ මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රබල සටන් පාඨයක් වූවද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අගමැති තනතුරට පත් හිටපු හමුදා නායක තීන් සින්ගේ සාමකාමී පරිවර්තනය යටතේ එහි අදාළත්වය පහත වැටෙමින් පවතී. මියන්මාර් හමුදා පලකයන් මානව අයිතිවාසිකම් කඩකරන්නේය යන චෝදනාව යටතේ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් පනවා තිබූ සම්බාධක දැන් එකින් එක ඉවත් කර ගනිමින් සිටී. දැන් උදා වී ඇත්තේ බටහිර ආයෝජකයන් මියන්මාරයේ ආයෝජන අවස්ථා ලබාගැනීමේ තරගයකි. එක්සත් ජනපදයෙන් හා යුරෝපා සංගමයෙන් මියන්මාරයට එන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත කණ්ඩායම්වලින් රැන්ගුන් නගරයේ ප්‍රධාන හෝටල් කාමර පිරී ගොසිනි.


එක්සත් ජනපදයට දැන් අවශ්‍ය වන්නේ මෙතෙක් චීනයට මියන්මාරයේ පැවති ආධිපත්‍යය  බිඳ දමා, තම ආර්ථික,දේශපාලන හා හමුදාමය ශක්තිය තහවුරු කර ගැනීමටය. නිවාස අඩස්සියට පත් කර සිටි අවුන්සාන් සුකී වෙනුවෙන් පෙනී සිටියේ ද මේ රටවල්ය. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම්, ඉදිරියේදී මියන්මාර් දේශපාලනයේ එතරම් උණුසුම් මාතෘකා නොවනු ඇති බව විචාකයින්ගේ මතයයි.


                     සංකේතාත්මක වශයෙන් අතිබහුතර ඡන්ද දායකයින් බර්මසේ ජාතීන්ය. බෞද්ධයන්ය. ඉකුත් කාලයේ රොහින්යා ජාතික මුස්ලිම්වරුන් ඝාතනය කිරීමට හා ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහළ පිරිස් වෙත නායකත්වය දුන් කණ්ඩායම්වලට ‍බෞද්ධ භික්ෂුන් වහන්සේලාද ඇතුළත් විය. එකී භික්ෂුන් වහන්සේලා මේවන විට අවුන්සාන් සුකී වටා ගොනුවෙමින් ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය දක්වමින් සිටියි. මෙවන් අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිමිකම් පිළිබඳ හඬ නැඟීම තමාගේ ජනාධිපති සිහිනය බොඳකර ගැනීමක් වනු ඇතැයි ඇය කල්පනා කරනු විය හැකිය. එබැවින් එක් පසෙකින් අනාගත ජනාධිපති පුටුව පිළිබඳ සිහිනයකි. අනෙක් පසින් තමාගේ ප්‍රතිරූපය ලෝකයට ඔසවා තැබූ  ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ දේශපාලන හෘද සාක්ෂියයි.´යකඩ උඩවැඩියා මල´විසින් තෝරාගෙන ඇත්තේ තමා සුපුෂ්පිත කළ මාවත අමතක කරදමා මිලානවීමේ අපේක්ෂාවද?




- qz.com ඇසුරිණි.
ප්‍රියාන්

MOST VIEWED VIDEO STORIES

MORE >>