Back to Top

මාධ්‍ය සංදර්ශන විතරක් අපට හිමිවෙයිද?

February 12, 2015  

එක්තරා බිම් කඩක් තිබුණේය. එය දැව වටිනාකමින් අනූන ගස් වර්ග වලින්ද, අධිවේගී මාර්ග දෙක තුනකට සෑහෙන තරමේ කළු ගල් පර්වතයකින්ද , වන සතුන් ගැවසෙන වන රොදවලින් ද යුක්ත වූවේය. ඒ අතරම එහි මැණික් ඉල්ලම්ද බහුල යැයි රාවයක්ද පැවතියේය. පළාතේ බලය අහිමි දේශපාලකයෝ ඇස ගසා සිටියෝ මේ  බිම් කඩේ අධිපතිකම ඉසිලූ පාලක පිරිස පලවා හැර එහි බලය ලබා ගැනීමටය. ඒ අතර පළාතේ ජනතාව සිටියේ ඒ බිම් කඩෙහි ඇති ජල මූලාශ‍්‍ර වලින් තම දැවෙන ජල ප‍්‍රශ්නය විසඳා ගැනීමටය. ඔවුහු අපේක්ෂා කළෝ එහි පිං ළිඳක් කැණ සිය අරමුණු ඉටු කර ගැනීමටය.


ජනතාවගේ වුවමනා වටහා ගත් විපක්ෂ දේශපාලකයෝ පිං ළිඳ කැණීමේ අරමුණ පෙරට ගත්තෝය. ඒ අනුව යමින් ජනතාවද ඉදිරියට ආවෙන් ජනතා සුබ සෙත උදෙසා පිං ළිඳ කැණීමේ වැඩ ආරම්භ කරන ලද්දේය. එහි පළමු පියවර යැයි කියමින් දේශපාලකයෝ ඉඩම එළි කිරීමේ මුවාවෙන් ගස් සියල්ල මොරටු පැටෙව්වෝය. ඉන්පසු එළඹියේ වන සතුන් දඩ මසට ගැනීමේ වාරයයි. ඊටත් පසුව කළු ගල් කැඞීමේ ව්‍යාපෘතිය ඉදිරියට ගනු ලැබිණි. අවසන් පියවර ලෙස ආවේ මැණික් ඉල්ලම් ගොඩ දැමීමයි. ළිඳ කැපීම සඳහා ඉඩම එළි පෙහෙළි කළ යුතුය යන දේශපාලක තර්කය පිළිගත් ජනයා දහඩිය හළමින් වැඩ කරද්දී දේශපාලකයෝ කාසි ගනිමින් සිටියෝය. සියල්ල අවසන බලන විට ඉඩම එහෙම පිටින්ම මුඩු බිමක් බවට පත්ව හමාරය. එහෙත් කැපුණු පිං ළිඳක් නම් නැත්තේය. දේශපාලක අරමුණු ඉහළින්ම ඉටුකරගෙන තිබෙද්දී ජනතාව නම් තවමත් පසුවන්නේ දැඩි පිපාසයෙනි.



ජනපතිවරණයෙන් පසු එළඹි යහපාලන ලංකාව වටහා ගැනීමට ඉහත ප‍්‍රබන්ධය හොඳින්ම සෑහෙයි. කතාවේ ජනතාව හා සමාන වෙමින් සැබෑ ජනතාව ඉන්නේ සිය අපේක්ෂා ඉටු නොවුණේය යන විස්සෝපයෙනි. ඔවුන්ගේ දේශපාලන අරමුණු ජය ගෙන දීම වෙනුවට අද කෙරෙන්නේ දේශපාලකයා හා පුරවැසියා අතර පරතරය තව තවත් වැඩි කිරීම පමණි. ජනතාවගේ කුදු මහත්  ඕනෑ එපාකම් විසඳා දීමට ඉදිරියට ආ දේශපාලකයා යළි සුරංගනා කතාකරුවකු බවට පත්ව ඉන්නා බව බැලූ බැල්මට වුව පැහැදිලිය. පෞද්ගලික න්‍යාය පත‍්‍ර අතැතිව හුන් පිරිසක් බල ගන්වා පොදු න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීමට තැත් දැරූ ජනතාව දැන් ඉන්නේ සහනශීලි පරිසරයක නොවේ.



දේශපාලනයේදී පුරවැසියා පිළබඳව දේශපාලකයාගේ තක්සේරුව වටහා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් ලෙස කොළඹ වරාය නගරය ඉදිකිරීමේ ගිවිසුම සැලකිය හැකිය. වරාය නගර ව්‍යාපෘතිය යනු ලංකාවේ ජනයා තුළ විශාල කුකුසක් හා සැකයක් ඇති කළ සිද්ධියකි. විශේෂයෙන් රාජපක්ෂ රෙජීමය තුළ චීනයේ ආයෝජන භූමිකාව බොහෝ දෙනා විසින් දක්නා ලද්දේ කපටි වෙළෙන්දකුගේ ආගමනයක් ලෙසිනි. සිය උපාය මාර්ගික සැලසුම් මත පිහිටා ඔවුන් ලංකාවේ රාජපක්ෂ රෙජීමය හා ආර්ථිකය නැටවීමට ගත් පියවර විවිධ අවස්ථාවල එවක විපක්ෂයේ විවේචනයට ලක් වුණි. එසේම චීනය ලංකාව ඇතුළුව ලෝකය තුළ රඟන චරිතය වඩා ලංවන්නේ සමාජවාදියෙකුට වඩා අවස්ථාවාදියෙකුටය. විශේෂයෙන්ම ඔවුන්ගේ ණය යෝජනා ක‍්‍රමයන්හී පොලී අනුපාතය විවාදයන්ට බඳුන් වන්නකි. හම්බන්තොට වරාය හරහා ලංකාව අත් කරගෙන සිටින දැවැන්ත පාඩුව අපට කෙසේවත් අමතක කළ නොහැකිය.



චීනය රටක් තුළ ආයෝජනය කරන විට ඉන් රටට ලැබෙනා වාසි වලට වඩා සලකනුයේ තම උපාය මාර්ගික අවශ්‍යතා ගැන බව නොරහසකි. එහෙයින් සමාජවාදියෙකු බලනා ජනතාවාදී කෝනය වෙනුවට අපට චීනයෙන් දක්නට ලැබෙන්නේ බලය පවත්වා ගැනීම සඳහා පවත්නා රජයට අත දෙන ප‍්‍රතිපත්තියක් මිස තමන්ගේ ණය කාර්යක්ෂම ලෙස යෙදවෙන්නේද යන්න ගැන නොසලකන පටු ව්‍යාපාරිකයෙකි. මෙය කප්පම් වරදාන හා දූෂණයට අවස්ථා දෙමින් මිනිසුන් තම සාක්කුවට දමා ගන්නා රාජපක්ෂ ප‍්‍රතිපත්තියට තකට තක මෙන් ගැලපුණු බව පසුගිය ඉතිහාසය පුරා අපට දක්නට ලැබුණේ වරක් දෙවරක් නොවේ.


චීනය වරාය නගරය පිළිබඳ ව්‍යාපෘතියට අත ගසන විටම ඊට විපක්ෂයෙන් විවේචන එල්ලවීම ඉතා සහේතුකය. එසේම රාජපක්ෂවරුන් ඊට අත්සන් තැබුවේද විපක්ෂය මුළුමනින්ම නොතකා හරිමිනි. පරිසර වාර්තා ඇතුළුව විපක්ෂය ඉල්ලූ තොරතුරු දීමට රාජපක්ෂවරු කිසිදු උනන්දුවක් දැක්වූයේද නැති. ඒ අතර ධීවර හා සංචාරක කර්මාන්තයේ නිරත ප‍්‍රජාවන් ඇතුළුව ජනතාවගෙන්ද ඊට එල්ල වූයේ  දැඩි විරෝධයකි. මෙය පසුගිය ජනපතිවරණයේ කේන්ද්‍රීය ප‍්‍රශ්නයක් බවට පත් වන්නේ මෙලෙසිනි. එහිදී සංචාරක කර්මාන්තයේ නියුතු පිරිස් හා පැවති සාකච්ඡාවේ දී ඔබ බලයට පත් වුවහොත් මෙය නතර කරන්නේදැයි ජනතාව අසන ප‍්‍රශ්නයට රනිල් වික‍්‍රමසිංහ වෙතින් ලැබෙන සෘජු පිළිතුර වන්නේ අප එය නතර කරනවා යන්නයි. රනිල් වික‍්‍රමසිංහ නම් පරිණත දේශපාලකයා දෙන එම සහතිකය කෙසේවත් රටවල් දෙකක් අතර ඇතිවන ගිවිසුම් හා ඒවා කඩ කිරීම තුළ ඇතිවන ප‍්‍රතිපල නොදන්නකු ගේ ප‍්‍රකාශයක් ලෙස අපට සැලකිය නොහැකිය. කෙසේ වෙතත් දින සියය ඉක්මෙන්නටත් පෙර රාජිත ඇමති පවසන්නේ අමාත්‍ය මණ්ඩලය ව්‍යාපෘතිය අනුමත කළ බව හා එහි කිසිදු පරහක්ද නැති බවයි. රනිල් අගමැති ගේ ප‍්‍රතිචාරද එබඳුමය. එම ව්‍යාපෘතිය  අත්හිටුවන බවට පොරොන්දු වූවා නේදැයි අසන ප‍්‍රශ්නයට පිළිතුරු දෙන රාජිත ඇමති වෙතින් අපට දක්නට ලැබෙන්නේ මැතිවරණයට පෙර සිටි බරසාර දේශපාලකයාට වඩා සෝපහාසී ප‍්‍රතිචාර දක්වන්නකු ගේ ස්වරූපයයි.



අදාළ ප‍්‍රශ්නයේදී සැබැවින්ම කළ යුතුව තිබුණේ පොරොන්දු දීම වෙනුවට රටවල් අතර ඇති කරගන්නා ගිවිසුම් හි යථා ස්වරූපය පැහැදිලි කරමින් විසඳුම් සඳහා වන ප‍්‍රවේශයක් වෙත යොමු වීමයි. විශේෂයෙන්ම රාජපක්ෂවරුන් සිය බල ලෝභය හේතුවෙන් රට හිරකර ඇති මර උගුල් හී බියකරු බව සැබෑ ලෙසම ජනතාවට වටහා දීමයි. එහෙත් ඒ වෙනුවට සිදුව ඇත්තේ යළිත් වරක් සරල පොරොන්දු පාරටම ඔවුන් ද ඇද වැටී ජනතා අපේක්ෂාවන්ට කොකා පෙන්වීමයි. මෙය කෙසේවත් ජනතාව මෙවර අපේක්ෂා කළ දෙයක් නොවන බව කිව යුතුය. මැතිවරණයට පෙර වේදිකවේදී අමාත්‍ය චම්පික කැට තබා පැවසුවේ දූෂිතයන්ට දඬුවම් දිම සඳහා ජනතා අධිකරණ හමුවට ගෙනෙන බවයි. මෙය චම්පික ඇමති හට විශාල ජන ප‍්‍රසාදයක් ලබා දීමට හේතු වූ ප‍්‍රකාශයකි. එහෙත් අද වන විටත් ජවිපෙද ඇතුළු බොහෝ අය අල්ලස් කොමිසම ආදී වශයෙන් විවධ ස්ථාන වලට යමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම හැරුණ විට දූෂිතයන්ට නම් දඬුවම් දුන් අවස්ථාවක් අපි දැක නැත්තෙමු.  මේ නම් ජනතාව අපේක්ෂා නොකළ ඛේදයකි. වත්මන් ආණ්ඩුවේ පතෝල ප‍්‍රතිපත්තිය හේතුවෙන් කලකිරීමට පත්ව ඉන්නා ජනතාව දැන් විශ්වාස කිරීමට පෙළඹී ඉන්නේ ආණ්ඩුව හොරුනට එරෙහිව කිසිදු සකී‍්‍රය පියවරක් නොගෙන හුදු සංදර්ශන පමණක් පවත්වනු ඇති බවයි. මෙසේ ජනතා විශ්වාසය ඉක්මනින්ම කඩ වීම යනු කෙසේවත් හොඳ දෙයක් නොවේ.



පසුගිය කාලය පුරාම රාජපක්ෂවරුන් ජනතා මනාපය කොල්ල කෑවේ කොටි බිල්ලා හා අධිරාජ්‍යවාදය පෙන්වමිනි. සමහර විට වත්මන් ආණ්ඩුවද අපට යළි රාජපක්ෂ ආගමනය පෙන්වා තමන් වෙත ඡන්ද දිනා ගැනීමට සිතා සිටිනවා විය හැකිය. බල කෑදර කමින් පරලව ඉන්නා රාජපක්ෂවරුන් යළි බලයට ඒම සඳහා පිඹුරුපත් සාදන බව මෙන්ම පැවති ජඩ ක‍්‍රමය සදහටම පරාජය කිරීමටද ජනතාව අදිටන් කර ඇති බව සත්‍යයකි. මෙතෙක් අසීරුවෙන් දිනාගත් ජයග‍්‍රහණය අත හැර යළි ප‍්‍රතිගාමීත්වයට පල්ලම් බැසීමට ජනතාව කෙසේවත් අපේක්ෂා නොකරති. මෙය නව පාලකයන් තේරුම් ගත යුතුය. බලය යන්න පාලනයකට අත්‍යවශ්‍ය බව අවිවාදිත කරුණකි. එහෙත් ඒ සඳහා හොරු සමග හෙළුවෙන් සිටිය නොහැක් බව ජනතාව විශවාස කරති. මෙය වත්මන් පාලනය වහා වටහා ගත යුතුය. එසේම ඔවුන් ජනතා අපේක්ෂා ඉටු කරන බවට පැහැදිලි උදාහරණ සැපයිය යුතුය. අප පවසන්නේ එය කෙසේවත් තව පමා නොකළ යුතු බව පමණි.


   
නුවන් උදය වික‍්‍රමසිංහ


MOST VIEWED VIDEO STORIES

MORE >>