February 9, 2015
රාජපක්ෂ පාලනයෙන් අසාධාරණයට ලක්වූවන් වෙනුවෙන් පිහිටුවන ලද ජවිපෙ කමිටුවට මේ වන විට පැමිණිලි විශාල සංඛ්‍යාවක් ගලාඑමින් තිබේ. උතුරු නැගෙනහිර පළාත් ඇතුළු රටේ සියලූම තැන්වලින් මේ පැමිණිලි ඉදිරිපත්වීම විශේෂත්වයකි. බොහෝ දෙනෙක් පෞද්ගලිකව පැමිණීමෙන්ද ලිපි මගින්ද ෆැක්ස් මගින්ද පැමිණිලි ඉදිරිපත් කරමින් සිටිති. බොහෝ පැමිණිලි සම්බන්ධයෙන් ගතහැකි පියවර මේ වන විට ආරම්භ කර ඇති අතර පැමිණි 500කට වැඩි ප්‍රමාණයකට අදාළ පියවර ගෙන තිබේ. මේ පැමිණිලි සම්බන්ධයෙන් වෙනම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු තත්ත්වයක් ඇතැයි ලක්ෂ්මන් නිපුණාරච්චි කියා තිබිණි.
මෙම කමිටුවට ලැබුණු පැමිණිලි අතර එකක් වූයේ පොළොන්නරුවේ වැලි ව්‍යාපාරිකයෙකු වන රාජු නැමැත්තාගෙන් තමන්ට සිදුවන අකටයුතුකම් ගැන තවත් ව්‍යාපාරිකයෙකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලය. විශේෂත්වය වූයේ මෙම රාජු නැමැත්තා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ සොහොයුරෙකු වීමය. මේ අතර පොළොන්නරුවේ වැලි ගොඩදැමීම් පෙබරවාරි 01වැනි දින නතරකර තිබියෙදී ඔහු තවදුරටත් නීතිවිරෝධී වැලි ජාවාරමේ නිරත වන බවට ජවිපෙට පැමිණිලි ලැබෙන්නට විය. පොළොන්නරුව ජවිපෙ දිස්ත්‍රික් සංවිධායක ටී.බී. සරත් තමන්ට ලැබුණු පැමිණිලි අනුව පොලීසියේ ඉහළ නිලධාරීන්ටද ඒ බව දැනුම්දෙනු ලැබුවද ජාවාරම නතරවන ආකාරයක් පෙනෙන්නට නොවීය. ඒ අනුව මේ පිළිබඳව ජනාධිපතිවරයාටම පැමිණිලි කිරීමට ඔහුට සිදුවිය. කෙසේ වුවද ඇති වූ දුරකථන සංවාදය අවසන් වූයේ පොළොන්නරුවේ වැලි ජාවාරම නතර කිරීමට ඉහළ පොලිස් නිලධාරීන්ට වහාම උපදෙස් නිකුත් වන බව ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ වීමෙනි.