January 23, 2015
“විධායක ජනාධිපති ධුරය පිළිබඳව ජාතික විධායක සභාවේ අදහස මොකක්ද?” විජිත හේරත් විමසීය. ”අපේ ස්ථාවරය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වුණත් දින සියයකින් විධායක ජනාධිපති ධුරය මුළුමනින් ඉවත් කිරීමට කාලය මදි. ඒ නිසා විධායක සභාවේ අදහස වුණේ ජනමත විචාරණයක් අවශ්‍ය සංශෝධන පස්සට දැමිය යුතු බවයි. ජනමත විචාරණයක් අවශ්‍ය නොමැති විධායක බලතල අඩුකිරීමේ සියලූ ප්‍රතිසංස්කරණ දින 100 ඇතුළත කරන්න විධායක සභාව එකඟවෙලා තිබෙනවා. ඒ වගේම උතුරු පළාතේ ජනතාවගේ වාහන, ඉඩම්, රත්තරන් පිළිබඳ සොයා බලා අයිතිකරුවන්ට නැවත ලබාදීමටත් පසුගිය සමයේ සිදුවූ පැහැරගැනීම්, ඝාතන, මාධ්‍යවේදීන්ට පහරදීම්, මාධ්‍ය ආයතන ගිනිතැබීම් පිළිබඳ සෙවීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමටත් විධායක සභාව එකඟ වුණා.”අනුර දිසානායක කීවේය.
“ඇමති මණ්ලයත් එන්න එන්නම වැඩිවෙනවා. යහපාලනය හදන්න මේ ඇමතිකම් නොදී බැරිද කියලා මිනිස්සු අපෙන් අහනවා. ඇමති මණ්ඩලයවත් එකවර පත්කරගන්න බැරිද මේ ආණ්ඩුවට” බිමල් රත්නායක කීවේය. ”ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව කරන පත්වීම්. අමාත්‍යංශ ලේකම්වරු පත්කරන්නේ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය සලකලා නෙවෙයි. ඒ නිසා ඇතැම් නිලධාරීන් අතර මේ ගැන ප්‍රශ්න මතුවෙලා තියෙන්නේ. මේකට පක්ෂය විදියට යම් මැදිහත්වීමක් කරන්න ඕනෑ” විජිත හේරත් කීවේය.
“කොහොම වුණත් මේ ආණ්ඩුවේ හැම අඩුපාඩුවක්ම අපිට හදන්න බැහැ. දින 100 ඇතුළත ප්‍රධාන වෙනස්කම් ටික කරගන්න බලපෑම් කරන්න ඕනෑ. මොකද ඉදිරි මැතිවරණය ඉතාම වැදගත් එකක්. ඇතිවෙච්ච බලපෙරළිය ජනතා ජයග්‍රහණයක් බවට පෙරළන්න ඕනෑ. ඒක ඇත්තටම අභියෝගයක්” ලාල්කාන්ත කීවේය.
“අපි මේ ගැන ජනතාව දැනුවත් කරන්න ඕනෑ. ඒකට ජනතාව දැනුවත් කරන රැස්වීම් කිහිපයක් කළොත් හොඳයි නේද?” ටිල්වින් සිල්වා යෝජනා කළේය. ”ඔව්. ජනතා රැලි, සම්මන්ත්රණ රට පුරාම කරලා ජනතාව දැනුවත් කරන්න ඕනෑ. මොකද අපි මැතිවරණයේදීත් කිව්වා ජනවාරි 08න් පස්සෙත් අරගලයක් තියෙනවා කියලා.”සෝමවංශ අමරසිංහ යෝජනාව ස්ථිර කළේය.
අනුර මාධ්‍ය සංවිධාන හමුවෙයි
මේ අතර තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව මාධ්‍ය සංවිධාන සමග සාකච්ඡා කිරීමට සහ දේශපාලඥයින්ට ආචාර ධර්ම පද්ධතියක් කෙටුම්පත් කිරීමට ජවිපෙ නායක අනුර දිසානායකට වගකීම පැවරීමට ජාතික විධායක සභාව තීරණය කළේය. ඒ අනුව පසුගිය විසිඑක්වෙනිදා පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය සංවිධාන කිහිපයක නියෝජිතයෝ අනුර දිසානායක හමුවූහ. එහිදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව සාකච්ඡාවක් සිදුවිය.
“දැනට ඉදිරිපත් කර ඇති පනතේ අඩුපාඩු තියෙනවා. ඒ නිසා ඒක සංශෝධනය කරලම ඉදිරිපත් කළොත් හොඳයි.”මාධ්‍යවේදියෙක් කීවේය.
“ඒ වගේම තමයි මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට මේක පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්නත් ඕනෑ.”තවත් මාධ්‍යවේදියෙක් යෝජනා කළේය.
“ඒක හරි මේ වගේ අවස්ථා නිතර එන්නේ නෑ. ඒ නිසා අපි පුළුවන් තරම් ඉක්මනට මේ පනත පාර්ලිමේන්තුවට දාන්න ඕනෑ. ඒකට ඔබතුමාලගේ පූර්ණ සහයෝගය අපිට ඕනෑ.”අනුර දිසානායක කීවේය.