Back to Top

ජාතිවාදීන්ට යළි හිස ඔසවනු දෙනු එපා

January 22, 2015  


පොදු අපේක්ෂක මෛත‍්‍රී ගේ ජයග‍්‍රහණය නිල වශයෙන් ප‍්‍රකාශ කරනු ලැබීමෙන් හෝරා කිහිපයක් ගෙවී ගිය අනතුරුව මා ඇමතූ එක් මිත‍්‍රයෙක් විස්සෝපී ස්වරයෙන් පවසා සිටියේ යාපනයේ කොටි සංවිධානයේ කොඩිය ඔසවා පිරිස් හමුදා කඳවුරුවලට ගල් ගසනා බවකි. ඉන් මද වේලාවකට පසුව බදුල්ලෙන් ලද මිතුරු ඇමතුමකින් පැවසුනේද එයමය. ඒ අතරේ පරාජිත තරගකරුවා සිය ගමෙහි සිට ජනතාව ඇමතු අවස්ථාව පිළිබඳ වීඩියෝ උපුටනයක් අන්තර්ජාලය හරහා නැරඹීමි. එහිද ඔහු පවසනු පෙනුනේ මෛත‍්‍රීගේ ජය ඊලාම්වාදීන්ගේ ජයක් බව ඇඟවෙන ප‍්‍රකාශයකි. ඔහු ඊට පෙර කළ එක් ප‍්‍රකාශයකින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ තමන් බේරා දුන් රට ආරක්ෂා කර ගන්නා ලෙසයි. මේ අතර  පසුගිය කාලය පුරා තමන් ගේ පුද්ගලික වරප‍්‍රසාද අහිමි වීම වැනි කාරණා නිසා රාජපක්ෂ පිල සමග නෝක්කාඩුවෙන් පසුවූ දයාන් පන්නයේ ඊනියා විශ්ලේෂකයන් ඇතුළු තවත් පිරිස් මේ වන විට ඉන්නේ මෛත‍්‍රිගේ ජය සුළු ජාතීන්ගේ ජයක් ලෙසට ජනමතයක් තහවුරු කිරීමේ ව්‍යාපෘතියකය. දැන් තත්ත්වය පැහැදිලි වෙමින් පවතී. තම අතින් ගිළිහුණු බලය යළි ඩැහැ ගැනීම සඳහා අප සිතනවාට වඩා ඉක්මනින් රාජපක්ෂ කඳවුර සැලසුම් සකසමින් සිටිති. හෙට අනිද්දා වන විට වීරවංශ, ඥානසාර හිමි ඇතුළු ජාතිවාදී කස කරුවන් අමරසේකර වැනි හොරණෑ හඬවමින් ඉදිරියට එන ආකාරය අපට දකින්නට ලැබෙනු නියතය. තිරශ්චීන ජාතිවාදය යළිත් වරක් බල ලෝභීන්ගේ අවිය වන බව මේ මොහොතේ වහා වටහා ගැනීම අත්‍යවශ්‍යය.




පූර්ව මැතිවරණ සමයේ වේදිකා මත ලෙල දුන් එක් ප‍්‍රබල සටන් පාඨයක් වූයේ රාජපක්ෂ පවුල් වනය සහ දැවැන්ත හොරකම් සහ දූෂණ හෙළිදරවු කිරීමයි. හෙවත් රාජපක්ෂවරුන්ගේ හැබෑ නිරුවත ජනතාවට තාර්කිකව වටහා දෙමින් ඔවුන් ගේ ප‍්‍රබලම අවිය වන ජාතිවාදය ස්ථිරසාර ලෙස පරාජය කිරීමයි. මේ අභියෝග ජය ගැනීමෙන් තොරව කරනා දේශපාලනය යනු ඉදිරියේදී රාජපක්ෂ හෝ ඔහුගේ අනුපිටපත් පාලනයක් හැර අන් කිසිවක් නොවේ. මෙතෙක් මෛත‍්‍රී වෙනුවෙන් සිය මුළු ශක්තියම යොදවා සටන් කල මෛත‍්‍රී පවා නොදන්නා බොහෝ කණ්ඩායම් සංවිධාන තවමත් දැඩිව ඉල්ලා සිටින්නේ එයයි. එහෙත් ඔවුන් සියල්ලගේම දැඩි කනස්සල්ලට හේතුවන කරුණ වී ඇත්තේ නව ආණ්ඩුව ඒ සඳහා අවශ්‍ය තරමේ වේගයකින් ක‍්‍රියාත්මක නොවීමයි. හෙවත් වේදිකාවේ කතාවලදී දැක්වූ තරම් වේගයක් සැබෑ ක‍්‍රියාවේදී නොදැක්වීමයි. පසුගිය කාලය පුරා අති දැවැන්ත හොරකම් සහ දූෂණ සිදුකළ පිරිසක් බලය අත හැර යාමේ දී එතෙක් ඔවුන් විසින් කරන ලද සෙල්ලම් වල සාක්ෂි ඉතිරි නොකිරීමට සියලූ උත්සාහ දැරීම ස්වාභාවිකය.



නව පාලකයන්ගෙන් අප අපේක්ෂා කරන එක් දෙයක් වූයේ එම තත්ත්වය අවබෝධ කරගෙන වහා ඊට එරෙහි පියවර ගැනීමයි. දූෂකයන්ට එරෙහි සාක්ෂි රැක ගැනීමට පියවර ගැනීමයි. එහෙත් දැන් ඒ වෙනුවට අපට සිදුව ඇත්තේ හොරුන් සිය හොරකම් වසා ගැනීමට යුහුසුළුවන ආකාරය බලා සිටීමටය. මෙය මෙසේ වන්නේ ඇයිදැයි ඇසූ විට මෛත‍්‍රී ගේ ජය වෙනුවෙන් ඉතා වෙහෙසව වැඩ කළ එක් දේශපාලන නායකයෙක් දුන් පිළිතුර වූයේ මෙයයි. ’ උන් මොන පිලේ උන්නත් හුඟ දෙනෙක් යාලූවො. නැත්නම් කොහෙන් හරි උන්ට නෑකමක් තියෙනව.  අන්න ඒ හන්ද උන් හොරුන්ට එරෙහිව පියවර ගන්න පස්ස ගහන හැඩක් තමයි තියෙන්නෙ. මං කියන දේ බොරු නං ඔය විපක්ෂෙ කියල ඉන්න අයගෙන් මොන තරමක් ගිය ආණ්ඩුවෙන් වැඩ කරගෙන තියෙනවද කියල හොයල බලන්න.’ මෙය කෙසේවත් බොරු යයි බැහැර කළ හැක්කක් නොවේ. පසුගිය ඉතිහාසය අපට පුන පුනා ඔප්පු කළ සත්‍යයකි. එය මෙවරද සිදු නොවෙමින් පවතින්නේ යයි සිතීමට අපට පදනමක් තවම ඇත්තේ නැත. එහෙයින් ජයග‍්‍රහණය  පුරවැසියාට හිමිවිය යුතු යයි අපේක්ෂා කළ පිරිස් වලට දැන් සිදුව ඇත්තේ පෙරටත් වඩා අසීරු අභියෝගයක් සමග ඔට්ටු වීමටය. එනම් එක් පසෙකින් ජාතිවාදය පරාජය කිරීම සඳහා දැවැන්ත අරගලයක නිරතවන අතර අවස්ථාවාදීන්  සවිමත්වන ක‍්‍රමය පරාජය කිරීම සඳහා අවශ්‍ය සංශෝධන වෙනුවෙන් සටන් වැදීමටය. සැබැවින්ම මේ වනාහී පුරවැසියා පෙරටද වඩා ඉදිරියට ආ යුතු මෙහොතයි.




මෙසේ ජාතිවාදයට එරෙහිව පුරවැසියාගේ කාර්යභාරය ගැන කල්පනා කරන විට එක් අත්දැකීමක් මගේ මතකයට හැඟෙයි. එය එක් අතකින් පාසලට මෙහිදී කල හැකි අගනා කාර්ය පිළිබඳ උදාහරණයක් වැනිය. මැතිවරණයට මද කලකට පෙර- මට මතක ඇති අයුරින් ඒ දෙසැම්බර් 04 වැනි දිනයයි- මා හට හොරණ විද්‍යාරත්න  පිරිවෙනෙහි එලිමහන් රංග පීඨයේ වි-රංගා නමින් පැවැත්වුන නාට්‍යයක් නැරඹීමට ලැබුණි. එය පාසලේ සිසු සිසුවියන් සහභාගි වන නාට්‍ය සංදර්ශනයකි. එකසිය පනහකට අධික පිරිසක් රංගනයෙන් හා අවශේෂ කාර්යයන්ට දායක වූ එය රංගනය මෙන්ම අවශ්‍ය තන්හී මල්ටි මීඩියා ප්‍රොජෙක්ටරය හරහා රූ ගත කළ දර්ශන විකාශය ද භාවිතා කරමින් ඉදිරිපත් කරන ලද්දකි. සමස්ත කාර්යය සඳහාම ඔවුන් විසින් දරන ලද වියදම රුපියල් ලක්ෂ දහයකට ආසන්න යයි දැන ගැනීමට ලැබුණි. ඒ සඳහා පාසලේ විදුහල්පති හිමියන්ගෙන්ද ඔවුනට  ලැබී තිබුණේ නොමඳ සහයකි.



මේ නාට්‍යය අතිශය වැදගත් වන්නේ ඒ සඳහා තෝරා ගන්නා ලද තේමාව හේතුවෙනි. එහි තේමාව අන් කිසිවක් නොව ජාතිවාදයේ විෂකුරු බවයි. නාට්‍යය දිගහැරෙන්නේ දරුවන් දෙදෙනෙකුගේ අවලෝකනයක් පරිද්දෙනි. එසේම ඒ අතර සිය පුතු පාසලෙන් අස් කර ගැනීමට විදුහල්පති හමුවීමට පැමිණි මුස්ලිම් පියෙකු හා පාසලේ විදුහල්පති අතර වන සංවාදයක් අතරිනි. මේ සංවාදය අපට ඉදිරිපත් වන්නේ රූ ගත කරන ලද දර්ශන  මගිනි. සිංහල මුස්ලිම් ගැටුම,  දෙමල සිංහල ගැටුම, එකිනෙක ජාතීන් හි  සංස්කෘතික  අනන්‍යතා පිළිබඳ අනවබෝධය, ජාතිවාදයට මැදිවන දරුවන් මෙන්ම වැඩිහිටියන්ගේ මනෝභාවයන්, ආදී විවිධ කෝණයන්ගෙන් අප ආමන්ත‍්‍රණය කෙරුන එම පැය දෙකකට ආසන්න කාලය නරඹන්නන්ගේ හෘද සාක්ෂිය අවදි කරනා කාලයක් බවට පරිවර්තනය කිරීමට සමස්ත නාට්‍ය කණ්ඩායමම ඉහලින් සමත් වූවේය. අසූ තුනේ ජූලි විනාශය, ආගමික  අන්තවාදය හරහා මුස්ලිම්වරුනට එරෙහිව නිර්මාණය කෙරුණු ගැටුම මෙහි ඉතා අගනා ලෙස නිරූපණය කෙරුණේ ඒ අතර දරුවන් ගේ සංවාද හරහා ජාතිවාදය යන්න කෙතරම් පිළිකුල් කටයුතු දෙයක්ද යන්න නාට්‍යානුසාරීව මතු කරමිනි.



මේ නාට්‍යය ඔවුන් විසින් ප‍්‍රදර්ශනය කරන ලද ආකාරයද ඉතා වැදගත් බව සටහන් කළ යුතුය. ප‍්‍රදේශයේ සිංහල මුස්ලිම් හා දෙමල ප‍්‍රජාවන්ට මෙන්ම සෑම ආගමකම පූජක පාර්ශවයන්ටද ආරාධනා කිරීමට ඔවුන් කටයුතු කර තිබුණි. අන්තවාදය පැතිරවීම සඳහා කසාවත නිර්ලජ්ජිත අයුරින් භාවිතා කරන භික්ෂූන් පිරිසක් ඉතා බලවත්ව රාජ්‍ය අනුග‍්‍රහයෙන් වීදි බැස සිටි එම අවධියේ පිරිවෙනක් හරහා මෙවන් සද් ක‍්‍රියාවකට එළඹීමම විප්ලවීය කටයුත්තකි. මේ නාට්‍යය නරඹන අතර මගේ සිහියට නැගුණේ මීට වසර ගණනාවකට පෙර කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ දැරියන් විසින් රඟ දක්වන ලද දූතිකාවෝ නම් යුධ විරෝධී නාට්‍යයයි. එදා එහි මංගල දර්ශනයට සහභාගීවූ ප‍්‍රවීණ කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක එය හැඳින්වූයේ වසරේ නැරඹු හොඳම නාට්‍යය වශයෙනි. එහෙත් එකල එල්ලවූ විවිධ බාධා තර්ජන හේතුවෙන් පාසලේ විදුහල්පති පැවිදි සොහොයුරියට එය තව දුරටත් වේදිකාගත කිරීමට නොහැකිවූ බව අපට පසුව දැන ගන්නට ලැබුණි.



කෙසේ වෙතත් එකම දිස්ත‍්‍රික්කයක් තුළ පිරිවෙනක හා කතෝලික බාලිකා පාසලක මේ ප‍්‍රයත්නයන් දෙක අපට කියාදෙන පාඩම ඉතා වැදගත්ය. හොරණ විද්‍යාරත්නයේ නාට්‍ය හා රංග කලාව පිළබඳ ආචාර්යවරයා වන සුභාෂණ කුරුගල ඉතාම අර්බුදකාරී සමයක මෙසේ අතිශය වැදගත් මාතෘකාවක් තෝරා ගැනීමත් ඒ සඳහා සිය දරුවන් මෙහෙයවීමත් මගින් කර ඇත්තේ ජාතික වශයෙන් අවධානය යොමු විය යුතු කටයුත්තකි. එහෙත් අපට දැන ගන්නට ලැබුණ ආකාරයට ඒ රංගය ඉන් පසු තව වරක් හෝ වේදිකාගත කෙරී නැත. දේශපාලනය තුළ ජාතිවාදය පරාජය කිරීම ඉතා වැදගත් කර්තව්‍යයක්ව පවතින එසේම පරාජිත රාජපක්ෂවාදය යළි ජාතිවාදය හරහා හිස එසවීමට උත්සාහ දරන මේ අවධියේ එයට එරෙහිව සටන් වැදීම යනු හෘද සාක්ෂියක් ඇති සැමගේ වගකීම වෙයි. ඒ සඳහා සාමූහිකව මෙන්ම පුද්ගලිකවද මැදිහත් විය හැකි ආකාරය ගැන විද්‍යාරත්නයේ දරු දැරියන්ගේ ප‍්‍රයත්නය අපට දෙන්නේ කදිම ආදර්ශයකි. කවරකුට හෝ එය නරඹා පුළුල් පේ‍්‍රක්ෂක සමූහයක් කරා එම නාට්‍යය ගෙන යා හැකිනම් මේ තීරණාත්මක අවස්ථාවේ එය ජාතිවාදයට එරෙහි ප‍්‍රබුද්ධ පියවරකි. විශේෂයෙන්ම අන්තවාදීන්ගේ ඊළඟ ගොදුරු බවට පත්වීමට නියමිත අපේ දරු පරපුරට මෙවන් දෑ සමීප කරවීම අද දවසේ අත්‍යවශ්‍ය කටයුත්තක් බව අප අමතක නොකළ යුතුය.



සදාකාලික යැයි සැලකුණ ඒකාධිපති පාලකයකු ගෙදර යවමින් අප රටේ ජනතාව ඉතිහාසය තුළ යළිත් වරක් ජනතා බලයේ තරම පෙන්වා තිබේ. දැන් අප ඉදිරියේ ඇත්තේ එම ජයග‍්‍රහණය වඩා අර්ථවත් සහ ස්ථිරසාර බවට හැරවීමේ අභියෝගයයි. ඒ සඳහා ජාතිවාදය පරාජය කිරීම යනු අනිවාර්ය කොන්දේසියකි. ඉදින් අප එම කටයුත්ත පැහැර හරින්නේ නම් අවසන අපට ඉතිරිවන්නේ විද්‍යාරත්නයේ දරුවන් සිය නාට්‍යය අවසාන ජවනිකාවේ දී ජාතිවාදී පීඩනය හමුවේ පාසලෙන් අස්ව යන මුස්ලිම් දරුවා දැක අපෙන් අසන ප‍්‍රශ්ණයටම උත්තර සෙවීමටය.
එහි අවසන් දෙබස් මෙසේය.


සිංහල දරුවා-‘හැමෝම බලාගෙන හිටිය. කවුරුත් නවතින්න  කිව්වෙ නෑ’ අනතුරුව ඔහු විදුහල්පතිගෙන් මෙසේ අසයි.’ ඇයි සර් අපිට මෙහෙම වෙන්නෙ?’


විදුහල්පති-’ ඒක තමයි පුතේ මටත් තියෙන ප‍්‍රශ්නෙ. ඇයි අපිට මෙහෙම වෙන්කෙ?’

සිංහල දරුවා-’ කරුණාකරල මට ඇහුම්කන් දෙන්න. සුරාජ්ටයි ෆාරුක්ටයි මටයි එකට ඉගෙන ගන්න පුළුවන් ඉස්කෝලයක්  ඕනෙ.’





- නුවන් උදය වික‍්‍රමසිංහ.


MOST VIEWED VIDEO STORIES

MORE >>