බය නැතුව කෝල් කරන්නෙ දැන් තමයි
January 15, 2015
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයත්
සමග බොහෝ දෙනාගේ අවධානය යොමු වුණේ ජනතා විමුක්ති පෙරමුණ දිසාවටය. සියලූ දෙනා කතාබහ
කළේ ”ජවිපෙ
ආණ්ඩුවට යයිද නොයයිද” කියාය.
මේ අතර මාධ්‍යවේදීන්ගෙන්,පක්ෂයේ හිතවතුන්ගෙන් ජනාධිපතිවරණයේදී
කළ මෙහෙය සම්බන්ධයෙන් ජවිපෙ නායකයින්ට ස්තූති ප්‍රසංශා සහිත දුරකතන ඇමතුම් නොකඩවා
ගලා ආවේය.
”මන්ත්‍රීතුමා අද තමයි කාලයකට පස්සේ බය නැතිව ඔබතුමාලත් එක්ක
අපි දුරකතනයෙන් කතාකරන්නේ” සුනිල් හඳුන්නෙත්තිට කතා කළ අමාත්‍යංශයක ඉහළ නිලධාරියෙක් කියා
සිටියේය.
“මන්ත්‍රීතුමා, ඔබතුමාලා තමයි මේ ජයග්‍රහණයට සෘජුවම මැදහත් වුණේ” ව්‍යාපාරිකයෙක්
විජිත හේරත්ට කීවේය.
“නායකතුමා, හැමෝම බයවෙලා ඉන්නකොට රාජපක්ෂලාගේ නම කියලා විවේචනය කළේ
ඔබතුමාලා විතරයි.” තවත්
මාධ්‍යවේදියෙක් අනුර දිසානායකට කීවේය.
“අපි 2010ත් කිව්වා මේ රාජපක්ෂ ගෙදර යවන්න ඕන කියලා. මේක මාසයක දෙකක අරගලයක ජයග්‍රහණයක්
නෙවෙයි” අනුර
දිසානායක පිළිතුරු දුන්නේය.
මේ අතර “ඒකාධිපති පාලනය පැරදවීමට ඡුන්දය ලබාදුන් සැමට ස්තූතියි” යනුවෙන්
ජවිපෙන් රට පුරා පෝස්ටරයක්ද ඇලවීමට කටයුතු කළේ බොහෝ දෙනාට පෙරය.
ජවිපෙ ජාතික විධායක සභාවක් යෝජනා
කරයි
මේ අතර පසුගිය 11වන දින ජවිපෙ මධ්‍යම
කාරක සභාව රැස්වුණේ ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ
සාකච්ඡා කිරීමට සහ තීන්දු තීරණ ගැනීම සඳහාය. ඒ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදීය.
“අපිට කෝල් කරන ගොඩක් අය කියනවා මෛත්‍රීගේ ආණ්ඩුවේ ඇමතිකම්
අරගෙන වැඩ කරන්න කියලා. මිනිස්සුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා සන්ධාන ආණ්ඩුවේ කරපු
වැඩ අපි කරයි කියලා.” හඳුන්නෙත්ති
කීවේය.
“ඇමතිකම් අරගෙන මාස තුනකින් කරන්න පුළුවන් දෙයක් නැහැ. අධ්‍යාපන
ඇමතිකම ගත්තොත් අඩුම තරමේ එක පාසල් වාරයක්වත් නැහැ. කෘෂිකර්ම ඇමතිකම ගත්තොත් එක
කන්නකට කලින් මාස තුන ඉවරයි. ඒ නිසා අපි ආණ්ඩුවට යන එක නොයන එක වැදගත් නැහැ. නමුත්
දින 100 වැඩපිළිවෙළට සහාය දෙන්න සභාවක් හදන්න ඕනෑ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඉන්න අනෙක් සියලූ පක්ෂවල නියෝජනයක් සහිතව
ඒක ගොඩනගන්න ඕනෑ” ටිල්වින්
සිල්වා යෝජනා කළේය. ඒ අනුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී ඒ පිළිබඳව සාකච්ඡා
කිරීම ලාල්කාන්තට සහ අනුර දිසානායකට භාර විය.
මේ අතර දූෂණ චෝදනාවලට පත්වූවන් රටින් පැනයෑම පිළිබඳවද ජවිපෙ මධ්‍යමකාරක
සභාවේ අවධානය යොමු වුණා.
“දැන් මහින්දගේ පරාජයෙන් පස්සේ හොරු ටික රටින් පනිනවා. ශ්‍රීලනිප
ජාතික සංවිධායක බැසිල් දවස් දෙකෙන් එයාගේ මව්බිමට ගියා. හෙට අනිද්දා ඉතිරි හොරු
ටිකත් පැනලා යයි. ඒ නිසා මේක නවත්වන්න මොකක් හරි කරන්න ඕනෑ” බිමල් රත්නායක කීවේය.
“ඔව්,ඒකට කරන්න තියෙන හොඳම දේ අල්ලස්
කොමිසමට පැමිණිල්ලක් කරන එකයි” විජිත කීවේය. ”හාල්මැස්සෝ අල්ලන්න යන්නේ නැතිව තෝරු මෝරු ටිකම අල්ලලා
පැමිණිල්ලක් කළොත් තමයි හොඳ. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය, බැසිල්, නාමල් ඇතුළු ළඟම හිටපු කල්ලියට විරුද්ධව මේ පැමිණිල්ල
දාන්න ඕනෑ” අනුර
යෝජනා කළේය.
ඒ අනුව විජිත හේරත්,සුනිල් හඳුන්නෙත්ති සහ සුනිල් වටගලට
එම පැමිණිල්ල සකස් කිරීමටත් එය අල්ලස් කොමිසමට භාරදීමටත් වගකීම පැවරිණි.