December 12, 2014
පසුගිය සඳුදා එජාපයේ මහලේකම් ධුරයෙන් ඉවත්ව ජනාධිපතිවරයාට සහාය දීම සඳහා තිස්ස අත්තනායක එජාපයෙන් ඉවත්ව ගිය පසු වැඩිපුරම දුරකථන ඇමතුම් ලැබී තිබුණේ ජවිපෙ නායකයින්ටය. බොහෝ දෙනා මවිතය පළකරමින් දුරකතන ඇමතුම් ලබාදුන්නෝය.
මන්ත්‍රීතුමා මේ මොකද්ද වෙන්නේ. අපි නම් හිතුවේ නැහැ තිස්ස ආණ්ඩුවට යයි කියලා. මේක පුදුම වැඩක්නේ මාධ්‍යවේදියෙක් අනුර දිසානායකට දුරකථන ඇමතුමක් දුන්නේය.
අපිට නම් මේක පුදුම වැඩක් නෙවෙයි. මොකද අපි කලින් ඉඳලම කිව්වා මේ වගේ දේවල් වෙන්න පුළුවන්. අපිට පිට අය ගැන චරිත සහතික දෙන්න බැහැ කියලා. අනුර දිසානායක පිළිතුරු දුන්නේය.
අනුර මන්ත්‍රීතුමා ඔබතුමාලා ගත්ත තීරණය හරි කියලා අපිට දැන් තේරෙනවා. මොකද මේ වගේ කට්ටියක් එක්ක වැඩ කරන්න වුණානම් ඔබතුමාලටත් මේවට උත්තර බඳින්න වෙනවනේ.
තවත් මාධ්‍යවේදියෙක් අනුර දිසානායකට කීවේය. අපි පක්ෂයක් විදියට ලොකු සාකච්ඡාවකින් පස්සේ තමයි මේ තීරණය ගත්තේ. අපේ පක්ෂය තරම් දේශපාලන අනාවැකි කියන්න දක්ෂ පක්ෂයක් ලංකාවේ නැතිව ඇති. ආයෙත් අපෙන් කාටද ඡන්දේ දෙන්නේ කියලා අහන එකක් නැතිවෙයි නේද? අනුර දිසානායක පිළිතුරු ලෙස කීවේය.
මේක ගෙම්බන්ගෙ කාලයක් නේද?
මේ අතර ගම්පහ, නිට්ටඹුවේ පැවැති ජන රැලියට සහභාගිවූ විජිත හේරත් අසලට පැමිණි එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකුද මේ ගැන කතාබහ කළේය.
මන්ත්‍රීතුමා මේක දේශපාලන ගෙම්බන්ගෙ කාලේ වගේ නේද? අපි හිතුවේ මේ කාලේ මහින්ද රාජපක්ෂ අතහරින කාලයක් කියලා. තාමත් දෑත් ශක්තිමත් කරන්නද මේ අය යන්නේ?.ඔහු විජිත හේරත්ගෙන් වීමසීය.
මේ වෙලාවේ සල්ලි ප්‍රශ්න විසඳගන්න කට්ටියත් ඉන්නවනේ. සමහරුන්ට ඊළඟ ඡන්දෙදි පාර්ලිමේන්තු එන්න බැහැ. සමහරුන්ට දේශපාලනයේ හිටියා ඇති කියලා හිතෙනවා. ඒ අය ඉතින් කීයක් හරි හොයාගන්න ට්‍රයි කරනවා. විජිත හේරත් කීවේය.
ජවිපෙ නිට්ටඹුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණු රැස්වීමට ස්ථානයක් ලබාගැනීමේදීද විශාල බාධාවන්ට මුහුණ දුන්නේය. මේ පිළිබඳව විජිත හේරත් වේදිකාවේ සිට අත්තනගල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිට පිළිතුරක් දුන්නේය.
අපි රැස්වීම කරන්න තැනක් ඉල්ලනකොට සභාපති කියනවා නියෝජ්‍ය ඇමතිගෙන් අහලා කියන්නම් කියලා. කොන්ද පණ නැති සභාපතිලා. ඊට පස්සේ අපේ රැස්වීම පටන් ගන්න හදනකොට සභාපති මෙතනට ආවා. අපේ රැස්වීම අහන්න නම් නෙවෙයි. අපිට කියනවා මේ සැරේ විතරයි දෙන්නේ ආයේ දෙන්නේ නැහැ කියලා. මේවා සභාපතිගේ අම්මගේ අප්පගේ බූදලේද? මේවා ජනතාවගේ දේපොළ. ජනතා දේපොළ එක්ක මේ විදියට සෙල්ලම් කරන්න එපා කියලා සභාපතිට කියනවා. විජිත හේරත් කීවේය.