Back to Top

හෘද සාක්ෂියක් ඇත්දැයි විමසිය යුතු කාලයයි

November 25, 2014  


ඇලෙක්සැන්ඩර් ෆැඞීව් සැලකෙනුයේ ජෝශප් ස්ටාලින්ගේ පාලන සමයේ සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ හුන් අසම සම බලවතා ලෙසිනි. එකල සාහිත්‍යකරුවන්ගේ ඉරණම ඔහු අත රැඳී පැවතියේය. ඔහු එක දිගට වසර දහතුනක් සෝවියට් ලේඛක සංගමයේ මුල් පුටුව හෙබවීය. අනා අක්මතෝවා යනු මෙකල ෆැඞීව් ගේ සාහිත්‍ය මන්නා පහරට ලක්වූ එක් චරිතයකි. මෙසේ අනභිභවනීය යයි සැලකූ ෆැඞීව් 1956 මැයි 13 වැනිදා පිස්තෝල වෙඩිල්ලකින් තම කෙරුම්කාරකම් හමාර කරගත්තේය. ඒ නිකම්ම නොවේ. එතෙක් තම දෙවොල ලෙස පැවති සෝවියට් පාලනාධිකාරියට බරපතළ ප‍්‍රහාරයක් එල්ල කළ ලිපියක් ඉතිරි කරමිනි. එකල එම ලිපිය සලකන ලද්දේ සෝවියට් දේශය තුළ ජීවතුන් අතර සිටිමින් කෙසේවත් පළ කළ නොහැක්කක් ලෙසිනි. මෙහි පහත පළවනුයේ එහි සිංහල පරිවර්තනයයි.

 සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව වෙත,

ස්වයංමානයෙන් හා අඥානකමින් යුත් පක්ෂ නායකත්වය විසින් මගේ ජීවිතය කැප කළ කලාව විනාශ කර ඇති හෙයින් සහ එය තවදුරටත් නිවැරදි කළ නොහැකි හෙයින් මට තවත් ජීවත් විය නොහැකිය. සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ විශිෂ්ට කාඩර්වරුන් -එය සාර් පාලන සමයට සිහිනෙනුදු සිතිය නොහැකි තරම් සංඛ්‍යාවෙන් විශාලය- පාලන බලය හොබවන්නන්ගේ නොසැලකිල්ල හේතුවෙන් ඝාතනය කර හෝ මිය ගොස් ඇත. විශිෂ්ට සාහිත්‍යධරයන් මෙසේ දිවියෙන් සමුගෙන ඇත්තේ අසාමාන්‍ය ලෙස යෞවන සමයේය. වටනා යමක් නිර්මාණය කිරීමට සමත් වූ ඉතිරි සියල්ලන්ම මිය ගියේ සිය දිවියේ- 40-50 වැනි අවධීන්හිය.



 පරම ශුද්ධ වස්තුවක් වූ සාහිත්‍යය ඝාතනය කිරීම උදෙසා නිලධාරින් හට භාරදී තිබේ. එසේම  මොස්කව් සම්මේලනය හා විසිවැනි පක්ෂ කොංග‍්‍රසය වැනි ඉහළම විනිශ්චය සභාවන්හි සිට ජනතාවගේ ඉතාම පසුගාමී අංශ වෙතින් අලූත් සටන් පාඨයක් පැමිණ තිබේ. ’’ පෙරටම’’ එහෙත් තත්ත්වය නිවැරදි කිරීමට ඔවුන් අදහස් කරන මාර්ගය උපදවන්නේ කෝපයයි. හිංසනයට ලක්වීම හේතුවෙන් සත්‍යය ප‍්‍රකාශ කිරීමට අසමත්ව ඉන්නා අවංක පුද්ගලයින් කිහිප දෙනකු හැරුණ විට ඔවුන් විසින් රැස්කර ගත් අඥාන රංචුවක් සිටින අතර ඔවුන්ගේ නිගමන උපරිමයෙන් ලෙනින් විරෝධීය. ඒ එම නිගමන පැන නගින්නේ ඔවුන් මුගුරේ තර්ජනය සමගින් එන නිලධරවාදී පුරුදු අතරින් හෙයිනි.



 ලෙනින් ගේ සමයේදී මගේ පරපුර සාහිත්‍ය ක්ෂේත‍්‍රයට පිවිසුනේ මොන තරම්  නිදහස සහ විවෘතභාවය පිළිබඳ හැඟීමකින්ද. අප ආත්මයන් තුළ පැවති අසීමිත ශක්තිය කෙතරම්ද? එසේම අප කෙතරම් මනරම් නර්මාණ බිහි කළේද? කෙතරම් නිර්මාණ බිහි කළ හැකිව තිබුණේද?


ලෙනින් ගේ මරණින් පසු ඔවුහු  අප ළමුන් බවට පත් කළෝය. ඔවුහු අප විනාශ කළෝය. අප වෙත දෘෂ්ටිවාදී තර්ජන එල්ල කළ ඔවුහු එය පක්ෂ ජීව ගුණය ලෙස හැඳින්වූවෝය. ඉදින් සියල්ල නිවරදි කළ යුතු අවස්ථාවේ නිවැරදි කිරීමේ වගකීම ඇති අය වෙතින් පළ වූයේ ස්වයං මානාධික බවේ මාත්තුව සමග ආ ප‍්‍රාථමික ගති සහ අඥානභාවයයි. එසේ සාහිත්‍යය අදක්ෂ, පහත්, වෛරී පුද්ගලයන් ගේ පාලනයට නතුව තිබේ. තම ආත්මයන් තුළ ශුද්ධ ගින්න රඳවාගෙන සිටින කිහිප දෙනා , පරයන් බවට පත් කර තිබේ. එසේම ඔවුන් පසුවන වයස අනුව ඔවුන් ඉක්මනින්ම මියෙනු ඇත. නිර්මාණ ශක්තිය ඇති කිසිවෙකුත් තවදුරටත් මෙහි ඉතිරිව නැත.



කොමියුනිස්ට්වාදයේ නාමයෙන් විශිෂ්ට නිර්මාණ බිහි කිරීමට උපත ලැබ, පුරා වසර හැටක් පක්ෂය හා බැඳී , ගැමියන් හා කම්කරුවන් සමග වැඩකර දෙවියන් වහන්සේ වෙතින් අසාමාන්‍ය ප‍්‍රතිභාවක් උරුම ලැබ මම උදාර සිතුවිලි සහ හැඟුමින් පිරී සිටියෙමි. ඒවාට උපත දිය හැක්කේ කොමියුනිස්ට්වාදයේ සුවිශිෂ්ට අදහස්වලින්  එක්සත් කරන ලද ජන ජීවිතයටම පමණි.



එහෙත් මම දැන් කඩාබිඳ දමන ලද කරත්තයක් ඇදගෙන යන අශ්වයකු බවට පත්කර සිටිමි. මගේ මුළු ජීවිත කාලය පුරාම මම අන් කවර සාමාන්‍ය පුද්ගලයකුට වුව කළ හැකි නිමක් නැති මූසල, අසාධාරණ,  නිලධරවාදී ක‍්‍රියාවල බරින් මිරිකී සිටියෙමි. ඉදින් දැන් ඔබ මගේ දිවියේ සමස්ථය දෙස බලන විට මගේ ගැඹුරු කොමියුනිස්ට්වාදී කුසලතාවන්හි නෛසර්ගික නිරහංකාරය සහ සාධිකාරීත්වයේ ආලෝකය තුළ අපේ ජනතාවට සාධාරණ ලෙස අභිමානයට පත්විය හැකිව තිබූ පුද්ගලයකු වන මා මත ඇද හැළුණු නිමක් නැති දෝෂාරෝපණ, ඇනුම් බැනුම්, දේශනා හා දෘෂ්ටිමය දබලතා පිළිබඳ දොස් සිහිවනු ඉවසා දරා සිටිය නොහැකිය.අලූත් සමාජයේ ඉහළම ඵලය වන සාහිත්‍යය පදනම් විරහිතකර, විනාශකරදමා තිබේ. ලෙනින් ගේ උතුම් ඉගැන්වීම් ඔවුන් ඒ ඉගැන්වීම් කෙරේ පක්ෂපාතී වන බවට දිවුරද්දී පවා මා යොමු කරනුයේ ඔවුන් ඉඳුරාම අවිශ්වාස කිරීමටය. ඔවුන් කෙරෙන් අපට අපේක්ෂා කළ හැක්කේ ස්ටාලින්ටත් වඩා අන්ත තත්ත්වයකි. අඩු ගණනේ ස්ටාලින් උගත්ය. මොවුහු අන්ත අඥාණයෝය.



ලේඛකයකු ලෙස මගේ දිවියේ අර්ථය ගිළිහී ගොසිනි. එහෙයින්  තමන් මත තුච්ඡභාවය, බොරුව සහ අපහාසය පතිත කරවන මේ ව්‍යාජ පැවැත්මෙන් ගැලවීමක් සේ සලකමින් මම මහත් සතුටින් මේ දිවිය හැර යමි. මගේ අවසන් අපේක්ෂාව වූයේ රජයට නායකත්වය දෙන්නන්ට මේ සියල්ල පැවසීමයි. එහෙත් පසුගිය තෙවසර පුරාම මගේ ඉල්ලීම් කෙතරම් වුවද ඔවුන්ට මා පිළිගැනීමට හැකිවූයේ නැති.

මා මගේ මව අසලින් වල දමන්නැයි මම අවසන් වශයෙන් ඉල්ලා සිටිමි.
අ. ෆැඞීව්
1956 මැයි 13.


පසුගියදා අපේ සමහර ක(න)ලාකරුවෝ නුගේගොඩට රැස්ව රාජපක්ෂ රෙජීමය ආරක්ෂාකර ගන්නෙමුයි බෙරිහන් දුන්නෝය. කලා මාධ්‍ය තුළ මිනිසා ඥාණනය කිරීමට යැයි නිර්මාණ කරමින් සමස්ත කලාවටම කෙළවන රාජ්‍ය ප‍්‍රතිපත්ති ඉවසා බඩගෝස්තරවාදීන් කලා පොලිස්කාරයින් කරමින් එක් පවුලක ආත්මාර්ථකාමී අභිලාෂයන් හමුවේ රට විනාශය කරා යද්දී මේ කලාකරුවෝ නිර්ලජ්ජිත ලෙස සිය වගකීම් යළිත් පැහැර හරිමින් සිටිති. නිලි රැජිනක් පාර්ලිමේන්තුවේ උන්නද සිනමාව ඇත්තේ පණ අදිමිනි. සංගීත රජෙක් ජනපති උපදේශක වුවද සප්ත ස්වරයේ ගෙල මිරිකා හමාරය. නාට්‍ය ඔස්තාද් කෙනෙක් ඉතිහාසය රජ පවුලට තියා ජැක් ගසයි. තව බොහෝ අය ඉන්නේ මේ පසුපස වැටී ඔඩොක්කුව අල්ලමිනි.
ඉදින් මේ රාජ කපුරුහාමිලාට කීමට අපට ඇත්තේ මෙයයි. හෘද සාක්ෂිය බිඳක් හෝ ඉතිරිව තිබේ නම් එය අවදි කර බලන්න. ඉහත ලිපිය කියවන්න. ඒ පාපෝච්චාරණය ඔබට බොහෝ දේ පවසයි.





- නුවන් උදය වික‍්‍රමසිංහ




MOST VIEWED VIDEO STORIES

MORE >>