Back to Top

ලෝක දෙකක් යා කළ තාප්පයක ඉතිහාස කතාව

November 14, 2014  


‘‘බර්ලින් තාප්පයේ බිඳ වැටීම පෙන්වා දෙනු ලැබුවේ ලෝකයේ සිහින සැබෑවන බවයි. නැවත කවදාවත් එවැන්නක් ඉදිනොවේවි“ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ගෙලා මැකෙල් පවසා සිටියාය. ඇය එසේ කියා සිටියේ බර්ලින් තාප්පය බිඳ වැටීමේ 25 වන සංවත්සරය වෙනුවෙන් පැවති උළෙල ආමන්ත්‍රණය කරමිනි. එය අයිතිවාසිකම් තර්ජනයට ලක්ව පැවති රටවලට වඩා හොඳ කල දවසක් උදාවීම පිළිබඳ ඉඟිකරන්නක් බව මැකෙල් පෙන්වාදුන්නාය. ඇයද කලෙක නැගෙනහිර ජර්මන් රෙජිමයේ පීඩාවට පත්වූවෙකු ලෙස මෙම අවස්ථාව ආමන්ත්‍රණය කිරීම බොහෝ දෙනෙකුගේ අවධානය හේතුවිය.




                                                 බර්ලින් තාප්පය 1961දී ඉදිකරනු ලැබුවේ කොමියුනිස්ට්වාදී නැගෙනහිර ජර්මන් වැසියා ප්‍රජාතාන්ත්‍රික බටහිර ජර්මනියට පළායාම වළක්වනු පිණිසය. එය 1989 දී කඩා බිඳදැමීම යනු සෝවියට් දේශය හා බටහිර ලෝකය අතර පැවැති සීතල යුද්ධය නිමා කරනු ලැබීම අඟවනු ලැබූ ප්‍රබල සංකේතයක් විය. එකී ඉතිහාස කතාව අපූරුය.



                                                    බර්ලින්   තාප්පය ඉදිකිරීමට පසුබිමෙන් දිව ගිය කතාවක් විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියට එරෙහිව සිට ගත් මිත්‍ර පාර්ශ්වික රටවල එකමුතුවේ බලපෑමෙන් ජර්මනිය කලාප 4කට බෙදිණි. ඒ එක් එක් කලාප අයත් වූයේ අමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය , ප්‍රංශය හා එක්සත් සෝවියට් දේශයටය. මෙම කලාප බෙදාගැනීමට අදාළ නෛතික පසුබිම නිර්මාණය කරදෙනු ලැබුවේ ‘‘පෝස්ට්ඩෑම්“(postdam) සම්මුතියට අනුවය. 1949දී මිත්‍ර පාර්ශව රටවල ඒකමිතියකින් එනම්  එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය හා ප්‍රංශයේ එකමුතුවෙන් ඔවුන්ගේ කලාප තුනක එකමුතුව ‘‘බටහිර ජර්මනිය“ හෙවත් "ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුව (The Federal Republic of Germany) " බවට පත්විය. ඊට සමගාමීව එක්සත් රුසියාවට අයිති කලාපය ‘‘නැගෙනහිර ජර්මනිය“ හෙවත්  "ජර්මන් ප්‍රජාතාන්ත්‍රවාදී සමූහාණ්ඩුව (The German Democratic Republic)" බවට පත්විය.



                                                    මේ අනුව මහා බලවතුන්ගේ ගැටුමට මැදිව ජර්මනිය දෙකඩ වූවා පමණක් නොව ජර්මානුවන්ට බටහිර ප්‍රජාතන්ත්‍රවාදය සහ විවෘත ආර්ථිකයත්, සෝවියට් පාලන ක්‍රමය සහ සමාජවාදී ආර්ථිකයත් සංසන්දනය කිරීමේ අවස්ථාව ලැබිණ. එය එක්තරා ආකාරයක විපර්යාසයකට පාර කැපීය. බටහිර ජර්මනියට බටහිර ධනවාදී රටවල ආධාර උපකාර සහ පිළිගැනීම  නොඅඩුව ලැබිණි. එබැවින් මාර්ෂල් සැලසුමෙන් බටහිර ජර්මනියට ආධාර ලැබීම නැගෙනහිර ජර්මානුන්ගේ නොසතුටට හේතු විය. නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් රටවලට බටහිර ආධාර ලබාගැනීමට ආඥාදායක පාලක ස්ටාලින්ගේ අවසරය නොලැබුණි. නැගෙනහිර ජර්මනිය හෙවත් ‘ජර්මන් ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ‘ ප්‍රතිපත්ති තීරණය කෙරුණේ බර්ලින් නගරයේදී නොව මොස්කව් නගරයේදී බැව් මෙමගින් ලෝකයටම පැහැදිලි විය. මොස්කව් පාලක ස්ටාලින්ගේ තීරණ සෝවියට් දේශයේ වාසිය පිණිසම විය. නැගෙනහිර ජර්මනියේ පැවති  බොහෝ කර්මාන්තශාලාද, අමු ද්‍රව්‍ය , ඛනිජ සම්පත් සෝවියට් පාලකයින් විසින් එරටට  ගෙන යන ලදී.



‘ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය‘ බිහිවූ පසුද එහි වැසියන්ට සිදු වූයේ සෝවියට් ආර්ථික ක්‍රමය පිළිපැදීමටය.. නැගෙනහිර ජර්මනියේ බොහෝ බැර කර්මාන්ත ආරම්භ කරන ලද්දේ ඒවායේ අදාළත්වය හෝ ප්‍රතිලාභය හෝ පිළිබඳ එතරම් තැකීමකින් තොරවය. කුඩා ප්‍රමාණයේ කර්මාන්ත හෝ පාරිභෝගික භාණ්ඩ නිපදවීම හෝ කෙරෙහි අඩු සැලකිල්ලක් දක්වන ලදී. බර්ලින් නගරය ආශ්‍රිත ප්‍රදේශය හැරුණු විට, නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනියට වඩා කෘෂිකාර්මික රටක් වූයෙන් මෙම වෙනස්කම් එරටට නුසුදුසු විය. බටහිර ජර්මනියෙහි එදිනෙදා පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව පැවතුණු නමුත් නැගෙනහිර ජර්මනියට හිඟ විය. කල් යත්ම, නැගෙනහිර ජර්මානුවනටද බටහිර ජර්මනිය වඩා ආකර්ශනීය වන්නට විය. ප්‍රතිඵලය වූයේ ක්‍රම ක්‍රමයෙන් වඩාත් දරුණු වන්නට විය. අවසන් ප්‍රතිඵලය වූයේ නැගෙනහිර ජර්මන් වැසියා සිය දහස් ගණනින් බටහිර ජර්මනියට සංක්‍රමණය වීමය.



                                                              බර්ලින් නගරය පිහිටා තිබුනේ නැගෙනහිර ජර්මනියේ වුවද, එහි බටහිර ප්‍රදේශය පාලනය වූයේ බටහිර ජර්මනියේ ඒකකයක්  ලෙසය. නැගෙනහිර සහ බටහිර ජර්මනිය අතර දේශ සීමාව 1952 දී කටු කම්බි වැටකින් වෙන් කරන ලද නමුත් බර්ලින් නගරය එසේ වෙන් නොකෙරිණ. දේශපාලනික,ආර්ථික හා සමාජීය වශයෙන් බෙදී තිබුණද බර්ලිනයේ භූගෝලීය වශයෙන් එකී බෙදීම සටහන් වී නොතිබුණි. මේ නිසාම දෙපස අතර පොදු ප්‍රවාහන පද්ධතියක් පවා ක්‍රියාත්මක විය.මේ හේතුවෙන් පොදු ප්‍රවාහන ක්‍රමයකින් හෝ නැතහොත් දෙපයින් වුවද නැගෙනහිර ජර්මන් වැසියාට දේශසීමාව තරණය කළ හැකිවිය.1949 සිට 1961 දක්වා ගතවූ දොළොස් වසරක කාලය තුළ මිලියන 3.5 ක පිරිසක් හෙවත් නැගෙනහිර ජර්මනියේ ජනගහනයෙන් 20% ක පමණ ප්‍රමාණයක් මෙලෙස බටහිර ජර්මනියට සංක්‍රමණය වූහ.එහිදී ප්‍රජාතන්ත්‍රවාදය අගයන සාමාන්‍ය වැසියා මෙන්ම  වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, තාක්ෂණ ශිල්පීන්,කලාකරුවන් ,ගුරුවරුන් ආදී වෘත්තිකයන්ද ඇදීයාම අහම්බයක් නොවිණි. ඒ නිසාම දැවැන්ත  බුද්ධි ගලනයක් සිදුවිය. ඒ වන විටත් ආර්ථික හා සාමාජීය වශයෙන් දුර්මුඛව සිටි නැගෙනහිර ජර්මනියට  මෙම මානව සම්පත් සෝදාපාළුව තීරණාත්මක ලෙස දැනෙන්නට විය. බැලූ බැල්මට මෙම ගැටළුවට විසඳුමක් නොතිබුණද 1961 අගෝස්තුවේ ලෝක ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් විය. එනම් සෝවියට් දේශයේ උපදෙස් මත  නැගෙනහිර ජර්මන් පාලකයින් විසින් ගැටළුවට විසඳීමට තීන්දුවක් ගන්නා ලදී.



                                                  1961 අගෝස්තු 12 දා රාත්‍රීයේ, නැගෙනහිර ජර්මන් නායක වෝල්ටර් උල්බ්‍රිෂ්ට් බර්ලින් තාප්පය සෑදීමට අවසර දෙන නියෝගයට අත්සන් කළේය. ඒත් සමගම මධ්‍යම රාත්‍රීය ඉක්ම යත්ම බොහෝ බර්ලින්වාසීන් නිදාසිටියදී  නැගෙනහිර ජර්මානු සොල්දාදුවන් හා කම්කරුවන් රැසකින් යුත් ට්‍රක් රථ පෙළක් පැමිණ බර්ලින් තාප්පය සෑදීම ආරම්භ කරන ලදී. ප්‍රථමයෙන්ම  බටහිර බර්ලිනය වට කොට කටුකම්බි වැටක් ඉදි කරන ලද අතර පසුව ක්‍රමයෙන් සැතපුම් දහස් ගණනක් දිගින් යුතුව හා අඩි 12ට ආසන්න උසකින් යුතු බර්ලින් තාප්පය ගොඩනැංවිණි.එසේ වුවද මිනිස් අභිප්‍රායන් තාප්පයකින් වළකාලන්නට නොහැකිය.ඇතැමුන් තාප්පයේ සිදුරු තනා ඒවායින් රිංගා යාමටද, විටෙක මුර සෙබළුන් නිදිකිරා වැටෙන වේලාවන්හි තාප්පයෙන් පැනයාමටද උත්සාහ කළහ.ඇතැමුන්ගේ එකී උත්සාහයන් සාර්ථක වුවද තවත් පිරිසකට ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවිය.වසර 28 ට පසුව 1989 නොවැම්බර් මස 09 වන දින බර්ලින් තාප්පය කඩාබිඳ දමන ලදී. ඉකුත් සතියට බර්ලින් තාප්පය බිඳ වැටී වසර 25කි.මේ හේතුවෙන් ඉකුත් සතියේ ජර්මන් වැසියන් බර්ලින් තාප්පය කඩාබිඳවැටීම සමරනු ලැබුවේ සුදු පැහැති බැලුන් අහසට මුදාහරිමින්,හොරණෑ වාදන හා ඔළුබක්කන් නැටුම් ආදියෙන් යුතු ප්‍රාසාංගික වැඩසටහන් වලින් යුතු පාදයාත්‍රා පවත්වමිනි.



                                 වත්මන්හි ජර්මනියේ නායකත්වය දරන ඇන්ගෙලා මැකෙල් චාන්සල්වරිය නැගෙනහිර ජර්මනියේ කොමියුනිස්ට් පාලන තන්ත්‍රය තුළ පීඩාවට පත්වූවෙකි. ඇයද මෙම අවස්ථාවේදී බර්ලින් තාප්ප සමරුවේ රෝස මලක් තබමින් තම අතීතය ආවර්ජනය කළාය. එසේම මෙවර මෙම සමරුවට සමගාමීව බර්ලින් තාප්පයට අදාළ තොරතුරු,ඡායාරූප,සැමරුම් ආදියෙන් සමන්විත ‘තොරතුරු මධ්‍යස්ථානයක්‘ක්ද චාන්සල්වරිය විසින් විවෘත කරනු ලැබිණි. එම සිදුවීම අමතක කිරීම වඩා පහසු වුවද ඒවා සිහිපත් කරලීම වඩා වැදගත් බව ඇය එහිදී සඳහන් කළාය.



“දේවල් වඩා හොඳ විදිහට වෙනස් කිරීමට අපට පුළුවන්. යුක්‍රේනයට ඉරාකයට මෙන්ම මේ මොහොතේ මානව හිමිකම් තර්ජනයට ලක්ව ඇති රටවලට මේක හොඳ පණිවිඩයක්.“ ඇය අවධාරණය කළාය. පෝලන්තයේ වෘත්තීය සමිති නායකයෙකු මෙන්ම ජනාධිපතිවරයා වන ලෙච් වලේෂා, හිටපු රුසියානු ජනාධිපති මිහායල් ගොර්බචෝප්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



                                    මෙම දිනය බර්ලින් වැසියන් බොහෝ දෙනෙකුට ප්‍රීතිමත් දිනයක් වුවද ,ඔවුන් එය ගී ගයමින් නර්තනයේ යෙදෙමින් සමරනු ලැබුවද සියලුදෙනාටම එය එසේ නොවන බවද කිව යුතුය. එක් පසෙක පුළුල් තිරයක බර්ලින් තාප්පයේ සැමරුම් දසුන් පෙළගැසෙන විට තවත් පසෙක දෑස් කඳුළින් තෙත් කරගත්තවුන් නොසිටියා නොවේ.එම අවස්ථාව ආවරණය කිරීමට ගිය බී.බී.සී ලෝක සේවයේ මාධ්‍යවේදිනි ජෙනී හිල්,   එලෙස දෑස කඳුළින් පුරවාගත් පුද්ගලයෙකුට ළංවූ පසු ඔහු මෙසේ කියා සිටියේය.



“මං ඉපදුනේ නැගෙනහිර බර්ලිනයේ. මේ තාප්පයෙන් නියොජනය වුණේ මොකක්ද කියන එක මිනිස්සු විසින් කිසිදාක අමතක කළ යුතු නෑ“ හෙතෙම පැවසුවේය.
                                               



     තාප්පය හේතුවෙන් ජීවිත අහිමිවූ ස්වකීය ඥාතීන්, හිතමිතුරන් පිළිබඳ නොමියෙන මතකයන් පෑරීම මෙලෙස තවත් පිරිසකගේ ඇස් රතු කිරීමට හේතුවයි. චාන්සල්වරිය පල්ලියෙන් මෑත්වී දුක් මුසු අත්දැකීම් සිහිපත් කරමින් සිටි පිරිස අතරට ගියාය.



‘‘වේදනාවට පත්වූ සියළුදෙනා වෙනුවෙන් බර්ලින් තාප්පයේ සිදුවීම් සිහිකිරීම වටිනවා. විශේෂයෙන්ම නැවත  එවැනි අවාසනාවන්ත දේ  සිදුනොවෙන්න. ඒක ජර්මනියට පමණක් නෙවෙයි සමස්ත නැගෙනහිර යුරෝපයටම අදාළයි“ ඇය අවධාරණය කළාය.
                                      



         ඇන්ගෙලා මැකෙල් චාන්සල්වරිය බර්ලින් නිදහසේ උත්කෘෂ්ඨ සංකේතයකි. ඇය ඉපදුණේද හැදුණේද වැඩුණේද නැගෙනහිර ජර්මනියේය. බර්ලින් තාප්පය කඩා බිඳවැටෙන විට ඇයට වයස අවුරුදු 30කි. ඒවන තෙක් ඇය නැගෙනහිර ජර්මනියේ භෞතික විද්‍යාඥවරියක ලෙස රැකියාව කළාය.



                                    පැවති බර්ලින් තාප්පයේ දිග කි.මී 155කි. එනම් සැතපුම් 96කි. එහෙත් අද දක්නට ලැබෙන්නේ කි.මී 3ක දිගින් යුතු තාප්පයක් පමණි. මේවන විට ලෝකයේ සතර දෙසින් සති අන්තවල මිලියනයක පමණ සංචාරකයින් බර්ලින් තාප්පය දැක බලා ගැනීමටත්, සමරු සටහන් අත්විඳීමටත් ජර්මනියට පැමිණෙති. ඉකුත් සතියේ ‘බර්ලින් තොරතුරු මධ්‍යස්ථානය‘ විවෘත කිරීමෙන් සංචාරකයින් වඩා කුළුගැන්වෙනු ඇති බව බලධාරීන්ගේ අදහසය. බර්ලින් තාප්පයේ බිඳවැටීමෙන් සීතළ යුද්ධයෙන් අවසානය සනිටුහන් වූ බව පොදු පිළිගැනීමක් වුවද සෝවියට් දේශයේ සමාජවාදී දේශපාලනය නිමා කළ බවට බොහෝ දෙනෙකුගේ විවේචනයට පාත්රීවන මේවන විට 83 වන වියේ පසුවන මිහයල් ගොර්බචොෆ්  කියා සිටියේ නවතම සීතළ යුද්ධයක පෙරනිමිති පහළවී ඇති බවයි. හෙතෙම පවසා සිටියේ කලෙක සෝවියට් සංගමයට අයත්ව පැවති යුක්ක්‍රේනයේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් බටහිර ලෝකය හා රුසියාව අතර නොසන්සුන්තාවක් වර්ධනය වෙමින් පවතින බවයි.


‘‘යුරෝපයේ ලේ වැගිරීම් සහ මහා බලවතුන්ගේ ගාම්භීර සංවේදනා සම්බන්ධයෙන් සංවාද බිඳවැටීමේ පසුතලයන් අතර ගැටීමක් ඇතිවී තියෙනවා. අලුත් සීතළ යුද්ධයක සලකුණු පහලවී තියෙනවා. සමහරුන් කියන්නේ දැනටමත් ඒක පටන්ගෙන කියලයි“ ගොර්බචොෆ් සඳහන් කළේය.


                                                        යුක්ක්‍රේන හමුදාවන් හා රුසියානු බෙදුම්වාදීන් අතර ඇතිවූ ගැටුම්වලින් 4000 කගේ පමණ ජීවිත අහිමිවී ඇති බවත්, ඉකුත් අප්‍රේල් මාසයේ නැගෙනහිර ඩොනෙට්ස් හා ලුහාන්ස්ක් පෙදෙස්වල දරුණු ලේ වැගිරීම් සිදුවූ බවත් ඔහු සිහිපත් කළේය. ‘‘බ්‍රෙන්බර්ග් ගේට්“නමින් හඳුන්වා තිබුණු බර්ලින් තාප්ප බිඳීමේ සමරු උළෙලට එක්වෙමින් හිටපු සෝවියට් නායකයා පවසන දෑ කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබුණි. එයට තවත් හේතුවක්ද තිබිණි. සෝවියට් දේශයට විවෘත ආර්ථිකයේද, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේද කවුළුව හැරදුන් ගොර්බචොෆ්  බර්ලින් තාප්පය බිඳ දැමීමටද නෑකම් කියයි.



                                                       1989 ඔක්තෝම්බර් 7 වන දිනට යෙදී තිබුණු ‘ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව‘වේ 40 වන ජාතික දිනය නැගෙනහිර ජර්මානු පාලකයින් විසින් සමරන ලදී. එම ජාතික දින සමරුවට පැමිණි එවක සෝවියට් දේශයේ පාලකයා වූ ගොර්බචොෆ්  නැගෙනහිර ජර්මානු නායකත්වයට අනතුරු ඇඟවීමක් කළේය. එනම් අතීතයේදී මෙන් නැගෙනහිර යුරෝපයේ ප්‍රශ්න විසඳීමට රතු හමුදාව මැදිහත් නොවනු ඇති බවත්,නැගෙනහිර ජර්මනිය සිය අභ්‍යන්තර කටයුතු පිළිබඳ වග බලාගතයුතු බවත් ඔහු එදින කියා සිටියේය. එයින් ඉක්බිතිය වහා ක්‍රියාත්මක වූ නැ. ජර්මානු පාලකයින් ආණ්ඩු ක්‍රමයේ යම් යම් ප්‍ර්‍ර්‍රතිසංස්කරණ ඇති කිරීමට කටයුතු කළහ. එරික් හොනෙකර් බලයෙන් ඉවත් කළ ඔවුහු ඊගොන් ක්‍රෙයන්ස්  නායකත්වයට පත් කළහ. නමුත් ඒ වනවිට රට තුළ මතුවෙමින් පැවති විරෝධය හුදු නායකත්ව වෙනසකින් පමණක් සමහන් වන තත්ත්වයක් නොවිණි.  ජනතා උද්ඝෝෂණයන්ගෙන් රට පුරා නගරවල ඇවිළී ගියේය. පාලක SED පක්ෂයෙන් රටේ පාලනය ගිළිහෙමින් පැවතිණ. අවසානයේදී ඔවුහු ලෝක දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් බඳුවූ එකී තීරණය ගනු ලැබූහ. එනම්  1989 නොවැම්බර් 9 වනදා ඔවුහු බර්ලින් තාප්පය විවෘත කිරීමට තීරණය කළහ.






-අන්තර්ජාලය ඇසුරිණි.
ප්‍රියාන්


MOST VIEWED VIDEO STORIES

MORE >>