Back to Top

මේ මනුස්සයා හිරේට දැම්මානම් රට ආගාධයට යන එක වළක්වන්න තිබුණා - හිටපු අගවිනිසුරු

October 25, 2014  


 

මහින්දට තුන්වරක් බැහැ, නීති විරෝධී ජනාධිපතිවරණ එපා! කියමින් ජවිපෙ ආරම්භ කළ සටන දිනෙන් දින සමාජගත වෙමින් තිබේ. සරත් සිල්වා විසින් ගෙනා නීති තර්කය සමාජගත කළේ ජවිපෙ විසින්ය. මේ දිනවල ජවිපෙ රටපුරා සම්මන්ත‍්‍රණයක් පවත්වමින් තිබේ. එමෙන්ම ජනතාව දැනුවත් කිරීමට පති‍්‍රකාවක් බෙදයි. මේ මස අගදී විශාල පිරිසක් කොළඹට කැඳවා විරෝධතා රැලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටියි. විද්වතුන්, වෘත්තීයවේදීන්, නීතිවේදීන් හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් 30වැනි දින නුගේගොඩදී එම විරෝධතා රැලිය පැවැත්වීමට නියමිතය.

 

මේ අතර සරත් එන්. සිල්වා නාරාහේන්පිට පොළට ගිය අවස්ථාවක පුද්ගලයෙක් ඔහුගේ පිටට තට්ටු කළේය. ඔහු ජවිපෙ සාමාජිකයෙකි. ඔබතුමා  ඕක ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. ඔබතුමාට තිබුණා එක වාක්‍යකින් මේ මනුස්සයව හිරේට දාන්න. ඇයි ඔබතුමා ඒක කළේ නැත්තේ මට ඒකට උත්තරයක් දෙන්න දැන් යැයි ඔහු පැවසීය.

 

සමාවෙන්න සහෝදරයා යැයි කියමින් සරත් සිල්වා යන්නට ගියේය. නමුත් ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කළ සම්මන්ත‍්‍රණය කොළඹදී පැවැත්වූ අවස්ථාවේ මේ කතාව රට හමුවේ ඉදිරිපත් කළේය. එමෙන්ම විවිධ මාධ්‍ය ඔස්සේද අදහස් පළ කළේය. ඒ වෙලාවේ චූදිතයා නිවැරදියි කියන ස්ථාවරයේ ඉඳලා තමයි තීන්දුව දුන්නේ. ඒ වෙලාවේ වැරදි ස්ථාවරයක සිටිය එක ගැන අද මම සමාව ඉල්ලනවා. නමුත් ඒ වෙලාවේ මේ මනුස්සයා හිරේට දැම්මනම් මේ රට ආගාධයට යන එක වළක්වන්න තිබුණා.

 

මහින්දට තුන්වරක් බැහැ යනුවෙන් සංවිධානය කළ කොළඹ සම්මන්ත‍්‍රණයට ජවිපෙ නායක අනුර දිසානායකද විශේෂ දේශනයක් පැවැත්වීමට සහභාගි විය. එහි නීති පිළිබඳ දීර්ඝ දේශනයක් පැවැත්වූයේ සරත් එන් සිල්වා විසින්ය. නීතිඥ සුනිල් වටගල විසින් කතාවට ආරාධනා කිරීමෙන් පසු සරත් සිල්වා මුලින්ම අවසර ගත්තේ අනුර දිසානායකගෙන්ය. වේදිකාවේ සිටින මා හිතමිත‍්‍ර අනුර දිසානායක ජනාධිපති... ජනාධිපතිතුමනි කියලයි මට කියැවුණේ.. සරත් එන් සිල්වා සිනාවෙමින් කීවේය. ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමනි,... ඇත්තෙන්ම ජනාධිපතිවරයෙක් වෙන්න  ඕන පුද්ගලයෙක් යැයි දෙවන වතාවට තම අදහස පළකරමින් සරත් සිල්වා කීවේය.

 

මෙම සම්මන්ත‍්‍රණයට දේශපාලන පක්ෂවල මන්ත‍්‍රීවරු, වෘත්තීය සමිති නායකයෝ, නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ ඇතුළු  විශාල පිරිසක් පැමිණ සිටියහ. එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායකද පැමිණ සිටියේය. මේකට ආවේ ඔයාලගේ කට්ටිය විතරයිද? රවී, හඳුන්නෙත්තිගෙන් ඇසීය. එවිට එජාපයේ සාමාජිකයෙක් රවී කරුණානායක අසලට විත් කතා කළේය. ආ... මේ අපේ අයත් ඇවිත් ඉන්නේ රවීට කියැවිණි. මම යනවා, 20 කණ්ඩායමේ රැස්වීමට යන්න  ඕනෑ. රවී කීවේය. , ජී - 20 නේද? සුනිල් හඳුන්නෙත්ති කීවේය.

 

වාස්ගේ අත කනට වඩියි කියලා ජී.එල් බයවෙලා...

 

 

ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ විසින් ඉදිරිපත් මාධ්‍යයට ඉදිරිපත් කළ විගණන වාර්තාවක් නිසා ආණ්ඩුව පඹගාලක පැටලී තිබේ. විදේශ කටයුතු අමාත්‍යංශයේ වත්මන් ලේකම්වරිය එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ ගනුදෙනු කරපු බවට තොරතුරු ලැබී තියෙනවා. වසන්ත සමරසිංහ මීට සතියකට පමණ ඉහතදී හෙළිදරව් කළේය. මෙයින් ආණ්ඩුව කලබලයට පත්විය. අනතුරුව සචින් වාස්, විමල් වීරවංශ, ජී.එල්.පීරිස් යන සියල්ලෝම ක්‍ෂෙනුකා බේරාගැනීමේ මෙහෙයුම දියත් කළෝය. විමල් වීරවංශ ජී.එල්.පීරිස් උපුටා දක්වමින් අදහස් පළකිරීමට පටන් ගත්තේය.

 

නිල නිවස අලූත්වැඩියා කිරීමේ කොන්ත‍්‍රාත්තුව එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙකු වෙත ලබා දී ඇති බවට ඇතැම් පාර්ශව විසින් චෝදනා එල්ල කිරීම ගැන කණගාටු වෙනවා. ක්‍ෂෙණුකා සෙනවිරත්න ජීනිවාහි වැඩ භාරගත්තේ 2009 වසරේ නොවැම්බර් මස 15 වන දිනයි. කොන්ත‍්‍රාත්තුව ලබාගත් සමාගමේ හිමිකරු එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවට සඳහන් වුවද එවැනි කිසිදු තොරතුරක් තමන් සතුව නොමැති බවට මේ පිළිබඳ ස්විස් ෆෙඩරල් බුද්ධි සේවය විසින් මට දන්වා තිබෙනවා. ජී.එල්.පීරිස් නිවේදනයක් නිකුත් කළේය.

 

කොන්ත‍්‍රාත්කරු එල්.ටී.ටී.ඊ කි‍්‍රයාකාරිකයෙකු ලෙස අත්අඩංගුවට පත්වූ කෙනෙක්. ඒක විගණන වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා. ජී.එල්. පීරිස් මහතා මේ නිවේදනය දාන්න කලින් වාර්තාව කියවන්න තිබුණා. මේ වාර්තාව හදපු මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඇතුළු හතරදෙනා කියනවා ක්‍ෂෙනුකා වැඩ භාරගත්තට පස්සේ තමයි මේ ගනුදෙනුව සිදුවුණේ කියලා. එල්.ටී.ටී.ඊ සංවිධානයේ තුරෙයිරාජාත් නිදහස් කරන්න තමයි දැන් මේ ආණ්ඩුව හදන්නේ. සජින්වාස් කොන්ත‍්‍රාත්තුවක් දීලා නැහැ කිව්වට ජී.එල්.පීරිස් කියනවා කොන්ත‍්‍රාත්තුවක් දීලා කියලා. ඒ ගැන එතුමට ස්තූතිවන්ත වෙනවා. ඒ නිසා අපි අහනවා ඇමතිතුමා නිවේදනයට අත්සන් කළේ සජින් වාස්ගේගේ අත කනට වඩින්න කලින්ද? වසන්ත සමරසිංහ විමසා සිටියේය.

 

ව්‍යවස්ථා විරෝධී වැඩ එපා... ජවිපෙ මැ.කො.ට කියයි

 

මේ අතර ජවිපෙ මැතිවරණ කොමසාරිස් හමුවුණේ පසුගිය බ‍්‍රහස්පතින්දාය. ඒ කැඳවීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳව තම ස්ථාවරය පැහැදිලි කිරීමටය. ජවිපෙ මැතිවරණ කාර්යාලයට යනවිට එජාපයද සාකච්ඡාවක් සඳහා පැමිණ සිටියේය. එජාපයේ සාකච්ඡාව අවසන් වන තුරු ජවිපෙ ලේකම් ඇතුළු පිරිස නැවතී බලාසිටියහ. සාකච්ඡාව අවසන් වී එජාපයේ තිස්ස, රවී, කරු ඇතුළු පිරිස එළියට ආවේය. ඔබතුමාලත් සාකච්ඡුාවකටද? මොකද මේ වෙන වෙනම යන්නේ. අපි ඒකාබද්ධ වෙලා මේ සාකච්ඡා ගෙනියමුකො. තිස්ස අත්තනායක කීවේය.එකම ලයින් එකට යනවා නම් ඒකාබද්ධ වෙලා යන්න පුළුවන්. විජිත හේරත් තිස්සට පිළිතුරු දුන්නේය. බලමු බලමු තිස්ස කීවේය.

 

මැතිවරණ කොමසාරිස් උණුසුම්ව ජවිපෙ ලේකම්වරයා ඇතුළු පිරිස පිළිගත්තේය. ටිල්වින් සිල්වා කරුණු සහිත ලිපියක් මැතිවරණ කොමසාරිස්වරයාට භාරදුන්නේය.ඔබතුමාලා විතරයි සාකච්ඡා කරන කරුණු සංක්‍ෂිප්තව, ලිඛිතව මට භාරදෙන්නේ. ඒ ගැන බොහොම ස්තූතියි. වෙන කවුරුත් මේ විදියට පිළිවෙළට වැඩක් කරන්නේ නැහැ. ඌව මැතිවරණයෙන් පස්සෙත් මම එවපු ලිපියට ප‍්‍රතිචාර දක්වලා ඔබතුමාලා විතරයි මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ගැන සාක්ෂි මට එවලා තිබුණේ. මැතිවරණ කොමසාරිස් ජවිපෙට ස්තූතිය පළකරමින් කීවේය.

 

අපේ ප‍්‍රධාන තර්කය තියෙන්නේ මේ ජනාධිපතිවරණය නීතිවිරෝධී කියන එකයි. ඒ නිසා ව්‍යවස්ථාවිරෝධී ජනාධිපතිවරණයක් කැඳවීමෙන් වැළකී ඉන්න කියලයි අපි ඔබතුමාට කියන්නේ. තම ස්ථාවරය පැහැදිලි කරමින් ටිල්වින් සිල්වා කීවේය. මේ අවස්ථාවට විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, නීතිඥ සුනිල් වටගල, නීතිඥ ජානක අධිකාරී යන අයද සහභාගි වූහ.

 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව වත්මන් ජනාධිපතිවරයාට තවත් ධුර කාලයක් (තුන්වන ධුර කාලයක්) සඳහා තරඟ වැදිය නොහැකි බව හා ඔහු එසේ තරඟ කිරීමට නුසුදුස්සෙක් බවත් ජනාධිපතිවරණයේ දෙවන ධුර කාලය වසර 06 ගතවීමට පෙර වසර 04කට පසු ජනාධිපතිවරණයක් කැඳවීමට නීතියෙන් ඉඩක් නැති බවත් ජවිපෙ ලේකම්වරයා මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදුන් ලිපියේ දීර්ඝ වශයෙන් සඳහන් කර ඇත.      

 

 

 

 

 

 

MOST VIEWED VIDEO STORIES

MORE >>