“අවසන් වරට එකම එක සැරයක් මරණයට කලින් මට ඔහුව දැක ගන්න ඉඩදෙන්න“කීයුර්ස්ති මෙනාෂ් අලී තම පියා වෙනුවෙන් දෙසතියකට ඉහතදී බැගෑපත්ව ඉල්ලා සිටියාය.
බොක්සිං ක්ෂේත්රයේ සදාතනික පරමාදර්ශයද,තම පියාද වන මොහොමඩ් අලී මරණාසන්නව සිටින බවට තොරතුරු හෙළිදරව්වීමෙන් පසු ඇය සමීප ඥාතීන්ගෙන් එලෙස ඉල්ලා සිටි බව ‘මිරර්‘පුවත් සේවය උපුටා දක්වයි. දශක තුනකට වැඩි කාලයක් පාකින්සන් රෝගයෙන් පීඩා විඳ ජීවිතයේ අවසානතම හෝරා කිහිපය ගතකරමින් සිටින මොහොමඩ් අලී ළඟ සිටින්නේ ඔහුගේ සිව්වන බිරිඳ වන ලොනී විලියම්ස් අලී සහ ඇගේ ඥාතීන්ය.මෙහොමඩ් අලී මීට පෙරාතුව තෙවරක් විවාහවී තෙවරක් දික්කසාදවී සිටියි. සිව්වන විවාහයද ඇතුළත්ව දූවරුන් හත් දෙනෙකුට හා පුතුන් දෙදෙනෙකුට නිල වශයෙන් පියා ලෙස ගෞරවාදරයට පාත්‍ර වුවද කීයුර්ස්තිට එකී ගෞරවනීය ඉඩ ප්‍රස්ථාවක් ලැබී නොමැත.
ඇය තම මව හා පියා අතර පැවති විසි වසරක ආදර සම්බන්ධයක ප්රතිඵලයකි. එබැවින් තමාට ‘අලී‘යන පෙළපත් නාමය ලබාගැනීමට 1988 වසරේදී ඩී.එන්.ඒ පරීක්ෂාවක් මගින් පීතෘත්වය තහවුරු කර ගැනීමට ඇයට සිදුවිය. අවසන ඇය ජයග්‍රහණය කළාය. ඇයගේ උප්පැන්න සහතිකයට පියා ලෙස අත්සන තැබීමට හෙතෙම ඉදිරිපත් විය.ඉක්බිතිව ඇය මොහොමඩ් අලීගේ රහසිගත දියණිය හෙවත් ‘කීයුර්ස්ති මෙනාෂ් අලී‘වූවාය. එහෙත් මේවන විට 33 හැවිරිදි ඇයට කියන්නට කතාවක් තිබේ.
“මං පුංචි කාලේ මායි අම්මයි (බාබරා මෙනාෂ් )බලන්නට ඔහු අවස්ථා කීපයක්ම ආවා ගියා. තාත්තගෙ අනිත් දරුවන් නවදෙනා පුංචි කාලෙත් ඒ අයත් එක්කත් විටෙන් විට අපි මුණ ගැහුණා. 1986 අවුරුද්දේදී තාත්තා හතරවෙනි වතාවට ලොනී එක්ක විවාහවීමත් සමග ඒ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස්වුණා. ඊට අවුරුදු 3ට පස්සේ ඔහු පාකින්සන් රෝගයට ගොදුරු වුණා.ඔහු අපිව බලන්නට එන එක නතරවුණා. දිනෙන් දින අසනීපය වැඩිවුණා.ඊට පස්සෙ ටිකෙන් ටික මාත් එක්ක තිබුණු සම්බන්ධය මුළුමනින්ම බිඳ වැටුණා. එහෙත් ඔහුගේ අවසන් හුස්ම පියවෙන්නට කලින් මට ඔහුට සමුදෙන්න අවශ්‍යයි. මට ඒ අවස්ථාව විතරක් දෙන්න. මට ඔහුගෙ දේපළ හෝ සල්ලි ඕන නෑ.“කීයුර්ස්ති කියා සිටියි. එහෙත් ඇයට එකී අවස්ථාව හිමිවීද යන්න මෙම සටහන ලියැවෙන මොහොත වන විටත් අනාවරණය වී නොතිබිණි.
මොහොමඩ් අලි ‘කැෂියස් මාසරස් ක්ලේ ‘ලෙස 1942 ජනවාරි මස 17 වන දින උපත ලැබීය. ඒ අමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටුකී පළාතේ ලුවිස්විලේ නම් ප්‍රදේශයේදීය. ක්ලේ සර් නම් වූ ඔහුගේ පියා වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකි. මව ඔඩෙස්සා ග්රැඩි ක්ලේය. ඇය රැකියාවක් නොකළාය. ක්ලේ සර් වැස්ලියන් සභිකයකු ද විය.අප්‍රිකානු-අමෙරිකානු මධ්‍යම පාන්තික පවුල් පසුබිම කැෂියස් මාසරස් ක්ලේ හෙවත් පසුව තමා විසින්ම නම වෙනස් කරගනු ලදුව‘මොහොමඩ් අලී‘ලෙස ප්‍රකටවූ ඔහුට ස්වකීය අනන්‍යතාවය තැබීමට බෙහෙවින් ඉවහල්වූ බව පෙනේ.ඔහුගේ සහෝදර සහෝදරියන් ගණන පිළිබඳ වාර්තාවන තොරතුරු අතර සාම්‍යත්වයක් නැතද සහෝදරයින් සිව්දෙනෙකු හා නැතැනියල් ක්ලේ නම් සහෝදරියක ගැනද සමහර තන්හි තොරතුරු දැක්වෙයි. එහෙත් ඔහුට රූබි ක්ලේ නමින් එක් බාල සොහොයුරෙකු සිටි බවත් පසුව ඔහු රහමාන් අලි ලෙස නම වෙනස්කරගත් බවටත් තවත් තැනක දැක්වෙයි.
1954 දී සිදුවුන එක් අහඹු සිදුවීමක් නොවන්නට මොහොමඩ් අලී බොක්සිං ලෝකයේ තරුවක් නොවන්නට ඉඩක් තිබුණේදැයි සැක සහිතය. එවක 12 වියැති වු අලී සහ ඔහු ගේ මිතුරෙකු කෙන්ටුකී හි ශ්‍රවණාගාරයක සිටියදී ඔහුගේ බයිසිකලය නැති විය. ඔහුට ඒවන විට එහි ක්‍රීඩාගාරයේ රාජකාරියක යෙදී සිටි ලුවිස්විලේ පොලීසියේ සේවය කළ ජෝ මාටින් නම් පොලිස් නිලධාරියා මුණගැසිණි. ඔහු තම බයිසිකලය අහිමිවීමේ අවනඩුව පොලිස් නිලධාරියා හමුවේ දිගහැරියේය.පොලිස් නිලධාරියා ඒ පිළිබඳ එතරම් තැකීමක් කරන බවක් නොපෙනිණි.
“මගේ බයිසිකලය ගත්තේ මොකා වුණත් ඒකා මගෙන් හොඳට ගුටි කනවා“ අලී කේන්තියෙන් කියා සිටියේය.
“ඔහුට ගුටි දෙන්නනම් ඊට කලින් ඔබ ගුටි දෙන ක්‍රීඩාවක් වන බොක්සිං හැදෑරිය යුතුයි“
ජෝ මාටින් නම් පොලිස් නිලධාරියා බොක්සිං පුහුණුකරුවෙකුද වන වග අලී ඒ මොහොත් දැන ගත්තේය.
අවසන් ප්‍රතිඵලය වූයේ අලී තම පළමු බොක්සිං ගුරුවරයා ලෙස ජෝ මාටින් ළඟ පුහුණුවීම් ආරම්භ කිරීමය. සති ගණකට පසු මොහොමඩ් අලී විසින් සිය පළමු බොක්සිං ජයග්‍රහණය වාර්ථා කිරීම ආරම්භ කළේය. ඉන් වසර 5 කට පසු එනම් අලීගේ වයස 17 දී වෘත්තීය පුහුණුකරුවකු වූ කස්ටම් එන් බෝඩික් වෙතින් හෙතෙම වැඩිදුර බොක්සිං හැදැරුවේය. අලී සිය ජීවිත කාලය තුළ වෘත්තිය මට්ටමේ ජයග්‍රහණ 100 ක් පමණ ලබා ගන්නට සමත් විය. වසර 27ක් ම බොක්සිං වළල්ලේ රජු ලෙස කිරුළ පැළදීමට මෙම අනභිභවනීය ක්‍රීඩකයා සමත් විය. ඒ අනුව 1960 දී සැහැල්ලු බර පංති ඔලිම්පික් රන් පදක්කමද පසු කලෙක ලෝක අධි බර ශ්‍රේණියේ ශූරතාව තෙවරක්ද ජයග්‍රහණය කිරීමට ඔහුට හැකිවිය.
ඔහුගේ බොක්සිං ජීවිතයේදී Kentucky Golden gloves තිළිණ 6 වතාවකදීත්, National Golden gloves තිළිණ 2 වතාවකදීත්, Amateur Athletic Union National titele ලයිට් හෙවිවෙට් රන් පදක්කම සහ 1960 රෝමයේ පැවැති ගිම්හාන ඔලිම්පික් තරගාවලියේ බොක්සිං රන් පදක්කම දිනා තිබේ.1960 දශකයේ ඇරැඹි ක්‍රී ඩා දිවියේ දශක 2 ක් පුරාවට ඔහු ප්‍රධාන තරග 61 කට සහභාගි වෙමින් ඉන් තරග 56 ක් ජය ලබා ඇති අතර පරාජය වී ඇත්තේ තරග 5 ක් පමණකි. සිය වෘත්තිය බොක්සිං ජීවිතයේදී ලබාගත් මේ ජයග්‍රහණ 56 අතර 37 කදී ම ප්‍රතිවාදියා අලී ගේ පහරින් බිම වැටී ගිය තරමට ඔහුගේ පහර වඩා ජව සම්පන්න විය. ඔහු සිය පළමු වෘත්තීය ජයග්‍රහණය ලබන්නේ 1960. 10. 29 දින (වයස 18 දී) ටියුනි හන්ස්කර් 6 වැනි වටයේදී බිම හෙළමිනි. එයින් පසු දශක 2 ක් පුරා බොක්සිං ලෝකයේ දැවැන්තයින් වූ හර්බි සිලර්, ටෝනි එස්පරටි, ජිමි රොබින්සන්, ඩොනී ෆ්ලීමන්, ලැමා ක්ලාර්ක්, සොනී බෑන්ක්, හෙන්රි කූපර් සහ ජෙරී ක්වරි වැනි ක්‍රීඩකයින් බොහෝ ගණනක් අලී ගේ පහර කා ඇද වැටී පරාජයට පත්විය.
අලීට පළමු පරාජය අත්වූයේ ඔහුගේ 32 වැනි තරගයේදී ජෝ ෆෙරක් ෂර් වෙතිනි. 1971 මාර්තු 08 වැනිදා අලී ගේ වයස 29 දී පැවැති එම තරගයේදී 15 වැනි වටය තෙක්ම හොඳින් තරග වැදුණු අලීට විනිසුරු තීරණය තුළින් පරාජය අත්විණි. එය සියවසේ තරඟය ලෙස හඳුන්වන ලදී. යළිත් පිට පිට ජයගන්නා අලී 1973 දී කෙන් නෝර්ටන්ට පරාජය වන්නේ 12 වැනි වටයේ 12 වැනි මිනිත්තුවේදීය.එහිදී වුවද ප්‍රතිවාදියාට ඔහු බිම හෙළීමට නොහැකි වීම විශේෂත්වයකි.
අලී තරඟ වැදුණු අවසන් තරග 4 දී ඔහුට ජය ගැනීමට හැකි වූයේ එක් තරඟයක් පමණි. 1978 පෙබරවාරි 15 වැනිදා ලියෝ ස්පිනික්ස් හට 15 වැනි වටයේදී පරාජය වූ අලී යළිත් 1978 සැප්තැම්බර් 15 වැනිදා ලියෝ ස්පිනික්ස් පරාජය කිරීම ලෝක බොක්සිං ඉතිහාසයේ කැපී පෙනෙන සිදුවීමක් වීම වළක්වනු නොහැකිය.1980 ඔක්. 2 වැනිදා ලැරී හෝම්ස් අතින් පරාජය වන අලී ඔහු සහභාගි වූ අවසන් තරගයේදී 1981 දෙසැ. 11 ට්‍රෙවර් බර්බික් වෙතින් 10 වැනි වටයේ 10 වැනි මිනිත්තුවේදී විනිසුරු තීරණයක් මත පරාජය වෙමින් වෘත්තිය බොක්සිං ජීවිතයට නැවතීමේ තිත තැබීය. ඔහු 1996 වසරේදී සියවසේ ක්‍රීඩකයා ලෙස විරුදාවලිය ලැබුවේය.
මෙතොදිස්ත කතෝලික නිකායට අයත් පවුලක උපත ලද මොහොමඩ් අලී පසු කලෙක එනම් 1964දී ඉස්ලාම් දහම වැළඳ ගනී. අලී වීරයෙකු බවටත්,පරමාදර්ශයක් බවටත් පත්වූයේ බොක්සිං වළල්ල තුළ පමණක් නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදය වියට්නාමය සමග යුධ වැදී සිටි සමයේදී අලීට යුධ සේවයට එක්වන ලෙස බලපෑම් එල්ල විය. නමුත් එය ශුද්ධ වූ කුරාණයට පටහැනි බව දැක්වූ අලී යුධ හමුදාවට බැඳීම ප්‍රතික්ෂේප කළේය. තවද ´´ඔවුහු.. (වියට්කොං වරුන්) තමාට කල්ලෙක් යැයි කිසි විටෙක අපහාස නොකළ“බවද ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේය. අලීගේ යුද විරෝධයද පාලකයින්ගේ යකා අවුස්සා තිබීම හේතුවෙන් මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය වූයේ අලීව සිරභාරයට ගැනීම ය.නිව්යෝර්ක් හි මලල ක්‍රීඩා කොමිටිය විසින් අලී ගේ බොක්සිං බලපත්‍රය තහනම් කරන ලදී. තවද ඔහුගේ සියලුම ගරු නාමයන්ද තනතුරුද අවලංගු කරන ලදී. එසේ වුවද කල් ගතවන විට යුද්ධයට එරෙහි මහජන මතයක් ඇමෙරිකාව තුළ ක්‍රමයෙන් ගොඩ නැගෙන්නට විය. ඒ සමඟම සිර ගත කල මේ ජනප්‍රිය ක්‍රීඩකයා වෙත මහජනතාවගේ සහයෝගය ලැබෙන්නට විය. අවසානයේදී 1971 වසරේදී එරට අධිකරණය මගින් අලීට එරෙහිව පනවාතිබූ දඬුවම අවලංගු කරන ලදී.
අලී ඉතා දැඩි ලෙස වර්ණ බේද වාදයට විරුද්ධ විය. වරක් සුදු මිනිසුන්ට පමණක් වෙන්වූ අවන්හලකට ඇතුළුවීමට ඉඩ නොදීම නිසා ඇතිවූ කලකිරීමෙන් ඔහු සිය ඔලිම්පික් රන් පදක්කම ඔහියෝ ගඟට විසි කළේය. මෙම ක්‍රියාව ගැන දැනගත් එවකට ඇමෙරිකාවේ වර්ණ බේද වාදයට එරෙහි දැඩි අරගලයක් ගෙනගිය මැල්කම් X විසින් අලීව ´´ඉස්ලාම් ජාතිය´´ (Nation Of Islam) නම් සංවිධානයට බඳවා ගත්තේය. පසු කලෙක එනම් 1996 දී අට්ලන්ටා ඔලිම්පික් උලෙළේ පහන දැල්වීමේ සමාරම්භක උත්සවයේදී යළිත් ඔහුට ගඟට වීසි කළ පදක්කම වෙනුවට අලුත් රන් පදක්කමක් පිරි නැමුණේ සැමගේ ආදර ගෞරවය සමඟිනි. එසේම එම වසරේදීම ගල්ෆ් යුද්ධය හේතුවෙන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටි අමෙරිකානුවන් මුදාගැනීම සඳහා ඉරාකයේ ආඥාදායක පාලක සදාම් හුසේන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ඔහු කටයුතු කළේය. 2002 නොවැම්බර් මස 17 වන දින මොහොමඩ් අලී එක්සත් ජාතීන්ගේ ‘සාමයේ පණිවිඩය‘ රැගෙන ඇෆ්ගනිස්ථානයට ගියේය.මොහොමඩ් අලී දේශපාලන ලෝකයේ වඩාත් ජනප්‍රිය වූයේ කළු සුදු වර්ණ භේදවාදයට එරෙහිව නැගී සිටි දැවැන්තයකු ලෙසය.
1975 දී රිචඩ් ඩුරාම් සමඟ එක්ව ස්වයං චරිතාපදානය The greatest - my own story නමින් එළි දැක්වීය. 1977 දී WxThe greatest නමින් චිත්‍රපටයකට නැඟිණි. 1996 ඔහු පිළිබඳව තැනුණු Rumble in the Jungle වාර්තා චිත්‍රපටය ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබීය. 38 වන වියේ පසුවන අලීගේ දියණියක වන හැනාගේ ආශිර්වාදය සහිතව මෙම සතියේ ඔහු පිළිබඳ තැනුණු නවතම චිත්‍රපටය වන I Am Ali ප්‍රදර්ශනය ඇරඹිණි. එය ඉදිරි මාසයේදී බ්‍රිතාන්‍යයේදීද ප්‍රදර්ශනය කෙරෙන බව සඳහන්ය.
“ඉතිහාසය ගොඩාක් ලස්සනයි. අපි එහි ජීවත්වන මුත් අවබෝධ කරගන්නේ නෑ. අද්විතීය සටන්කරුවා මෙම චිත්‍රපටය තුළ ඒක පැහැදිලි කරමින් තමා මෙවන් වීඩියෝවක් නිර්මාණය කරන්නේ ඇයිද යන්න පෙන්වාදෙනවා“
බ්‍රිතාන්‍ය ජාතික බොක්සිං ප්‍රවර්ධකයෙකු වන ෆ්රෑටන්ක් වොරෙන් පවසයි.
සමනලයකු සේ පියඹා මීමැස්සකු සේ පහර දෙමින් ප්‍රතිවාදීන් බිම හෙළූ මුත් කිසිදාක ප්‍රතිවාදියකුගේ පහරකින් බිම නොවැටුණු මේ අසහාය ක්‍රීඩකයා ලොව ක්‍රීඩා ඉතිහාසයේ අමරණිය චරිතයක් බැව් අවිවාදිතය. අද දවසේ පියාගේ අඩි පාරේ යමින් බොක්සිං ක්‍රීඩාවේ නියැළෙන්නේ දියණියක වූ ලයිලා අලී පමණකි.
අන්තර්ජාලය ඇසුරිණි-
ප්‍රියාන්