Back to Top

අපේ යුගයේ නන්නාදුනන අනේ පිඬුසිටාණෝ

October 1, 2014  


 

 

රුපියල් 35 ලක්ෂයක පමණ මුදලක් වැය කර රෝහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට දායකත්වය ලබාදෙන වියපත් යුවළක් ගැන තොරතුරු බලංගොඩින් වාර්තා වේ.

 

ඒ පිළිබඳව සබරගමු පළාත් සභාවේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක් හා ඡායා රූප විස්තරයක් වැඩිදුරටත් මෙසේය.

 

අද ඔක්තෝබර් (01) ලෝක වැඩිහිටි දිනයයි.


දිවයින පුරා මෙන්ම ලෝවාසී ජනතාව ගෞරවාන්විතව සමරන ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් (ඒ බව නොදැනම)ස්වකීය ධන පරිත්‍යාගයෙන් සිව්වන රෝහල් ගොඩනැගිල්ලත් මිනිස් ප්‍රජාවට දායාද කිරීමට මුලපිරූ අප්‍රකට වියපත් යුවළක් පිළිබඳව මේ පුවත බලංගොඩ බොහෝ දුර බැහැර හද්දා පිටිසර ගමකිනි.

 

බලංගොඩ, මැදබැද්ද ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ආයුර්වේද රෝහලක් බවට පත්කරමින් ඒ සඳහා අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයක ඉදිකිරීම් ඊයේ (30) ආරම්භ වූයේ සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙනි.


බලංගොඩ, මැදබැද්ද ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ දුර බැහැරක පිහිටි අතර ආසන්න ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාව මෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවද එම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවෙන් ප්‍රතිලාභ ලබති.

 

එම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවට නේවාසික පහසුකම් සහිත ආයුර්වේද රෝහලක් බවට පත්කරමින් ඊයේ(30) එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේ මැදබැද්ද ප්‍රදේශයේ දානපති යුවළක් වූ කේ.එම්. පියසේන සහ ඒ.එම්. පුංචි මැණිකේ යන වියපත් යුවළකගේ ධන පරිත්‍යාගයෙනි.(සැලසුමට අනුව මෙම ගොඩනැගිලිල සංකීර්ණයට රුපියල් තිස්පන් ලක්ෂයක් පමණ වැය වෙතැයි අපේක්ෂිතය.)


මෙම රෝහල් ගොඩනැගිල්ලේ නේවාසිකයින් දොළොස් දෙනෙකු සඳහා ඉඩපහසුකම් ලැබෙන අතර එම රෝහල් ගොඩනැගිල්ලේ අවසන් ඉදිකිරීම් දක්වා සීමාවකින් තොරව මුදල් වියදම් කිරීමට එම දානපති වියපත් යුවළ පෙරුම් පුරති.

 

මීට පෙරද එම දානපති යුවළ මැදබැද්ද ආසන්නයේ දුෂ්කර ගම්මානයක් වූ කල්තොට පිහිටි දිසා රෝහල සඳහාද රුපියල් හැත්තෑපන් ලක්ෂයක් පමණ වැය කර භික්ෂු වාට්ටුවක් පිරිමි හා ගැහැණු වාට්ටු වශයෙන් ගොඩනැගිලි 03ක් ඉදිකර බා‍රදී ඇතැයි මෙම කටයුතු අගය කරමින් මහ ඇමති මහීපාල හේරත් මහතා පැවසීය.

මෙහිදී මහ ඇමතිවරයා සඳහන් කළේ වැඩිහිටියන් වූ නිසාවෙන් නොව වැඩිහිටියන් ගෞරව ලැබෙන අයුරින් ස්වකීය ජීවිතය ආදර්ශමත්ව ගෙන යා යුතු බවය.

මෙම ගොඩනැඟිලි ඉදිකිරීම් ආරම්භ වන දිනට පසුදින එනම් ඔක්තෝම්බර් 01 ලෝක වැඩිහිටි දිනයයැයි මෙම දානපති යුවළ දැන නොසිටි බව කී මහ ඇමතිවරයා කීර්තිය ගෞරවය ,අභිමානය පිණීස නොව නිහඬව අනන්‍යන්ගේ අර්ථ හිත සුව පිණිස දුක් මහන්සියෙන් උපයාගත් මෙම ධනය වැය කරන  මෙම කේ. එම්. පියසේන ඒ. එම්. පුංචි මැණිකේ යන වැඩිහිටියන් දැයට සම්පතක් බව කීවේය.

කොහේදෝ සිට හමා එන සුළගක දැවටී ඇතැම් විටක වනමල් සුවඳක් අපට දැනේ. නන්නාදුනනා සුළඟ එසේ අපට රැගෙන එන ඒ සුව‍ඳේ දැවටී ඇත්තේ පියසේන මැතිතුමා පුංචි මැණිකේ මැතිණිය වැනි ගමේ පිපුණු මල් වන් සැබෑ ගැහැණුන් සහ මිනිසුන්ගේ මිනිසත් කමේ සුවඳයැයි ද මහ ඇමතිවරයා පැවසීය.


මෙම අවස්ථාවට පළාත් අමාත්‍ය භාණු මුණිප්‍රිය පළාත් සභා මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ප්‍රේමසිරි යන මහත්වරු සහභාගී වූහ.

                                                                                                                                        

MOST VIEWED VIDEO STORIES

MORE >>