Back to Top

මොකද ඉතිං පවුලට හොඳ ෂොට් එකක් දීලනේ තියෙන්නේ

September 26, 2014  

මොකද ඉතිං පවුලට හොඳ ෂොට් එකක් දීලනේ තියෙන්නේ


පළාත් සභා මැතිවරණය අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ප‍්‍රථම වරට හමුවූයේ පසුගිය සතියේය. පාර්ලිමේන්තු ලොබියේදී ජවිපෙ, එජාපයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු පිරිසක් කතාබහක නියැලෙමින් සිටියෝය. අනුර, විජිත, රවී, අර්ජුන සහ ආණ්ඩුවේ පිරිසක්ද මේ කතා බහට එක්විය.

“ඔයාලා මොන කතා කිව්වත් ආණ්ඩුව දිනුම්නේ” ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් කීවේය.

“දිනපු බව ඇත්ත ඒත් ආණ්ඩුවට හොඳ සිග්නල් එකක් දීලා තියෙන්නේ. ශෂීන්ද්‍රලා ගහපු ගේමේ හැටියට ඡන්ද නෑනේ” විජිත හේරත් කීවේය.

“කොහොම වුණත් දැන් ආණ්ඩුවේ ජනාධිපතිවරණ හීනය නම් ටිකක් බොඳවීගෙන එන්නේ. හිතපු තරම් ලේසි නැහැ නේද?” අනුර දිසානායක විමසීය.

“මොනවා උනත් මේ ලැබුණු ප‍්‍රතිඵලයෙන් වැඩියෙන්ම සතුටු වෙන්නේ අපි. මොකද ඉතිං පවුලට හොඳ ෂොට් එකක් දීලනේ තියෙන්නේ.” ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙක් තම සතුට පළකරමින් කීවේය.


මන්ත‍්‍රීවරු පිරිස ඊළඟට හැරුණේ රවී දෙසටය. එක්සත් ජාතික පක්ෂයේ තනතුරු වෙනස්වීමෙන් පසු රවීට ලැබී තිබුණේ උප නායක තනතුරය.

“සුභ පතන්නත් අමතක වුණා. ඔන්න අපෙන් සුභ පැතුම්. ඔයත් දැන් නායකයෙක්නේ” විජිත හේරත්, රවී දෙසට හැරෙමින් කීවේය. රවී සිනාසුනේය.

“මොකක්ද ඇත්තටම නියෝජ්‍ය නායකකමෙයි උප නායකකමෙයි තියෙන වෙනස” විජිත හේරත් දැම්මේ, ‘අනවශ්‍ය’ ප‍්‍රශ්නයකි. රවීට පිළිතුරු දීමට ඉඩ නොතියාම අනුර දිසානායක ඊට පිළිතුරු දුන්නේය.

“මොකක්ද ඉතිං වෙනස. පුංචි බණ්ඩයි හීන්බණ්ඩයි වගේ තමයි.” අනුර එසේ පවසද්දී රවීගේ මුහුණ කළු විය.


මාධ්‍යවේදියා වෙනුවෙන් මානව හිමිකම් පැමිණිල්ලක්...


මැතිවරණයෙන් පසුවද ඌව පළාතේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් පිළිබඳව තවමත් වාර්තා වෙමින් තිබේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයින් දෙදෙනකුගේද නිවාසවලට මැර පිරිසක් විසින් පහරදෙනු ලැබීය. අනුර කුමාර වික‍්‍රමසිංහගේ මවගේ නිවසටත් පී.පී.ජී. විජේසිරිගේ නිවසටත් මෙලෙස ප‍්‍රහාර එල්ල විය. මැතිවරණය අතරතුරද විජේසිරිගේ නිවසට වෙඩි ප‍්‍රහාරයක්ද එල්ල වී තිබිණි.


මේ අතර හාළිඇළ පොලිස් මුරපොළ ඉදිරිපිටදී ඩිලාන් පෙරේරාගේ සහ හරීන් ප‍්‍රනාන්දුගේ පිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ ප‍්‍රාදේශීය මාධ්‍යවේදී කපිල චන්දන බැලීමට සමන්ත විද්‍යාරත්න බදුල්ල රෝහලට ගියේය.

“බලන්න මන්ත‍්‍රීතුමා ඇයි මට මේ අය ගැහුව්වේ. මම මොන වරදක් කළාටද? මගේ කැමරාව කැඩුවා. ලොකු ගලකින් මගේ මූණට දමලා ගැහුව්වා.” කපිල චන්දන හඬමින් සමන්ත විද්‍යාරත්න සිදුවීම විස්තර කළේය.

පසුව එම මාධ්‍යවේදියා කොළඹ පෞද්ගලික රෝහලකට මාරු කරන ලදී. මේ අතර පසුගිය 24වෙනි දින රාත‍්‍රී සුනිල් වටගලට කපිල චන්දන දුරකථන ඇමතුමක් ලබාදී තිබුණි.

“බලන්න මහත්තයෝ මගේ මුහුණට බරපතළ විදියට තුවාල වෙලා. ලක්ෂ එකහමාරක කැමරාවත් කඩලා. හෙට උදේ 9ට මාව ඔපරේෂන් එකකට ගන්නවා. ඔපරේෂන් එකෙන් පස්සේ සති 07ක් විතර උඩු අතට ඉන්න වෙනවා. ඉන්නෙත් පෞද්ගලික රෝහලක. බැරිද මේකට මොකක් හරි කරන්න” කපිල චන්දන සුනිල් වටගලගෙන් විමසීය.


“අපි මේ ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරමු. මේ වෙලාවේ කරන්න තියෙන්නේ ඒකයි.” වටගල කීවේය. සමන්ත විද්‍යාරත්නටත් විජිත හේරත්ටත් දුරකථනයෙන් ඇමතු සුනිල් වටගල මේ පිළිබඳව දැනුවත් කළේය. ඒ අනුව කපිල චන්දන වෙනුවෙන් පැමිණිල්ල සූදානම් විය. එම පැමිණිල්ල නීතිඥ සුනිල් වටගලගේ උපදේශකත්වය යටතේ ශ‍්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතිය විසින් මානව හිමිකම් කොමිසමට භාර දුනි.


ICAPP සමුළුවට පැමිණි පක්ෂ සමග ජවිපෙ ද්විපාර්ශවික සාකච්ඡා


ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුව පසුගියදා ලංකාවේ පැවැත්විණි. එම සමුළුව සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් සහභාගි වූයේ සෝමවංශ අමරසිංහ, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායකය. ජනාධිපතිරයා පැමිණි උත්සව අවස්ථාවට පමණක් ආණ්ඩුවේ බොහෝ පිරිසක් සහභාගි වූ අතර සාකච්ඡා සභාවට ආණ්ඩුවේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ සහභාගිත්වය අඩුවිය. එහෙත් ජවිපෙ නියෝජිතයෝ දින දෙක පුරාම එම සමුළුවට සහභාගි වූහ. එහිදී සෝමවංශ අමරසිංහ සභාව ඇමතීය.

“අධිරාජ්‍යවාදයත් සියොන්වාදයත් පරාජයට පත්කිරීමකින් තොරව අපිට ආසියානු දේශපාලන පක්ෂවල සමුළුවක් ගැන කතා කිරීමෙන් ඵලක් නැහැ. මේ වනවිට මැදපෙරදිග රටවල් බොහොමයක් අධිරාජ්‍යවාදී සියොන්වාදී අශුද්ධ සන්ධානය විසින් ගිලගෙන තිබෙනවා. යුක්රේනයේ නීත්‍යානුකූලව පත්වුණු ජනාධිපතිවරයා එලවා දමලා අධිරාජ්‍යවාදීන් තමන්ට  ඕන රූකඩ ආණ්ඩුවක් හදාගත්තා. ඒ අධිරාජ්‍යවාදී සියොන්වාදී අත් අප දෙස දිගුවන විට අපිව බේරාගන්න ඉන්නේ කවුද?”


එම සමුළුවට පැමිණි දේශපාලන පක්ෂ සමග සාකච්ඡා පවත්වමින් පක්ෂ අතර මිත‍්‍රත්වය වැඩි දියුණු කර ගැනීමටත් ජවිපෙට හැකිවිය. ඉන් අනතුරුව වෙන් වෙන්ව ඇතැම් දේශපාලන පක්ෂ සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ජවිපෙ ජාත්‍යන්තර කටයුතු ලේකම් සෝමවංශ අමරසිංහ කටයුතු කළේය. ලා ඕසයේ විප්ලවවාදී ජනතා පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ උපසභාපතිවරයා ඇතුළු වියට්නාම් වාමාංශික පක්ෂයක් සහ රුසියන් වාමාංශික පක්ෂයක් සමග මේ ආකාරයෙන් සාකච්ඡා පැවැත්විණි.



MOST VIEWED VIDEO STORIES

MORE >>